උපන් දිනෙයි අලුත් වෙනසයි

පවුලටම කියවිය හැකි කාන්තා පුවත්පතක  හිඩැස  දුටු විජය පුවත්පත් සමාගම ඒ කටයුත්ත බාරදුන්නේ  එවකට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කතුවරයකුව සිටි එස්.. සුබසිංහ මහතාටය.

‘‘පර් සි අපි කාන්තා පත්තරයක් පටන් ගමුද?’’
සුබසිංහ මහතාගේ පැනයට ප්‍රවීණ මාධ්‍යවේදියකු වන පර්සි ජයමාන්න මහතාගෙන් ලැබුණේ බොහොම සතුටුදායක පිළිතුරකි.
ඒ දිනය 1980 අප්‍රේල් මස 30 වැනිදාය.  
‘නිවෙසට සිරිකත කැන්දමින් මවට දුවට මුළු පවුලටම විජය නිවෙසින්  සිරිකත  මෙරට කාන්තා පරපුරට දායාද විණි. ඒ ප්‍රවීණ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාරගේ තෙවැනි ඇසට හසුවුණු ගීතා කුමාරසිංහගේ රුවෙන් හැඩවුණු පිටකවරයක් සහිතවය. ඉතින්, මේ සමරන සිරිකත උපන්දින ගැන කතා කරන්නට අද තරම් හොඳ දවසක් තවත් තියේවිද?

පළමුව සිරිකත දෙවුර මත තබා ගත්තේ චාන්දනී විජේතුංග මහත්මිය යි.. සිරිකත නම් බිලිඳියගේ  පළමු මව ඇයයි. ඉන්පසු අනුලා ද සිල්වා, ධර්මා සමරනායක යන ප්‍රවීණ කතුවරියන්ගේ සෙවණේ ඇය හොඳින්  හැදී වැඩුණාය.  ඒ වසර පහක් පමණ කාලයකි. ඉන්පසු සිරිකත බාරවූයේ සිරි රණසිංහ මහතාටය. ඒ 1985 වසරේ ය. පුවත්පත් කලාවේ පුරාවෘත්තියක් බඳු වූ රණසිංහ මහතා සිරිකත වෙනුවෙන් පෙරළිකාර තීන්දු තීරණ රැසක් ගත්තේය.

 ඉන් පළමුවැන්න මෙරට පුවත්පතක් විසින් කරන ලද පළමු කාන්තා වැඩමුළුව පැවැත්වීමය.  ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී මානෙල් කොටුවේගොඩ මහත්මිය සමග සිරිකත එය පැවැත්වූයේ  මීගමුව නගර ශාලාවේ ය. ඒ ‘රුචිරාණනී’ රූපලාවන්‍ය වැඩමුළුවයි. නගර ශාලාවෙන් පිටතද රැඳී සිටිමින් අපේ පාඨකයෝ එදා අපේ අත්හදා බැලීමට මහා වටිනාකමක් දුන්හ. එහි දෙවැන්න පැවැත්වුණේ මාතලේ නගර ශාලාවේදී ය. ‘‘පැහැසරණී’ ලෙස නම් ලද එම වැඩමුළුවට  අප හා එක්ව දැනුම බෙදා දුන්නේ  චාන්දනී බණ්ඩාර ය. එයද අති සාර්ථක වැඩමුළුවක් බවට පත්විණි. එතැන් පටන් දිස්ත්‍රික්කයක් පාසා පැහැසරණී’ රූපලාවන්‍ය වැඩමුළු මාලාවක් ම පැවැත්විණි.

සිරිකත හැමදාමත් ප්‍රාර්ථනා කළේ සතුටින් පිරි පවුලකි. දිරිමත් ගැහැනියකි. ගුණ නුවණින් පිරි දරුවන් බිහිවනු දැකීමය. ඒ වෙනුවෙන් පුවත්පතක් ලෙස කළ හැකි හැමදේම කරන්නට සිරිකත කිසිවිටෙකත් මැළි නොවීය.

සිරිකත නම රට පුරාම රැව් දුන් තවත් අංගයක් වූයේ සිරිකත රසමැදුරයි.’  එදා මෙදාතුර පුවත්පතක් විසින් කරන ලද වැඩමුළු මාලාවකට මහරගම තරුණසේවා සභාවට පැමිණි වැඩිම පිරිසක් සඳහන්ව ඇත්නම් ඒ වසර 19 ක් පුරා පැවති සිරිකත රසමැදුරයි. ඉවුම් පිහුම් කලාවේ රස තැන් සොයා  ගිය සිරිකත රසමැඳුර රස ගැන්වූයේ ප්‍රවීණ  සුප ශාස්ත්‍ර ශිල්පිනියක වූ ශාන්තා මායාදුන්නේ ය. ඇය ම්ලේච්ඡ පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්ව 2019 වසරේ දී මිය යනතෙක්ම සිරිකත ට ලබැඳි මිතුරියක් ව සිටියා ය.  ඇයට සිරිකතට ආලෝකයක් වූවා සේම ඇයටද සිරිකත නිසා  මහත්  ජනප්‍රියත්වයක් හිමිව තිබිණි. සිරිකත රස මැඳුර හා එක්වූ අනුග්‍රාහකයෝ සංඛ්‍යාවද අති විශාලය. මේ නිසාම අපේ පාඨකයින්ට ලක්ෂ ගණන් වටිනා තෑගි දහස් ගණනින් බෙදා දෙන්නට එම වසර 19 පුරාම අපට හැකිවිය.  එම වැඩමුළුවේ කෑම වට්ටෝරු අඩංගු පොත් පිංචටද පාඨකයින් අතර මහත් ඉල්ලුමක් පැවතිණි.

එමෙන්ම කාත්නා පුවත්පතක්, විසින් නොකඩවා අති සාර්ථකව වැඩිම වැඩමුළු මාලාවක් පැවැත්වීමේ ගෞරවයද හිමිව ඇත්තේ සිරිකතටය..
වසර 2012 දී සිරිකත පුවත්පතේ කර්තෘ ලෙස බන්දුල විදානපතිණ මහතා පත්වන අතර සිරිකත නව ජවයකින් ඉදිරියට ඇදෙන්නේ  ඔහුගේ නායකත්වය සහ සිරි රණසිංහයන්ගේ උපදේශකත්වයෙනි. එම කාලය තුළ සිරිකත ලද ජයග්‍රහණ අපමණය. කිහිප වතාවකදීම මෙරට ජාතික පුවත්පත්වල අලෙවිය සහ ජනප්‍රියත්වය අභිබවා  සම්මාන සඳහා නිර්දේශවීමටත් සිරිකතට එම කාලයේ  හැකිවිය.

එදා  සිට ම මෙරට වැඩියෙන්ම අලෙවි වන කාන්තා පුවත්පත සිරිකත පුවත්පතයි.
එපමණක්ද නොව, සිරිකත කර්තෘ මණ්ඩලය ලද සම්මානද එමටය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට පළමුවරට පවත්වන ලද සෞඛ්‍ය මාධ්‍යවේදීන් සඳහා වූ සම්මාන උලෙළේදී පළමු සම්මානය හිමි කර ගැනීමට සමත් වූයේ ජ්‍යෙෂ්‍ඨ මාධ්‍යවේදිනී ශිරානි ගල්ලැල්ල මහත්මියයි. ඇය දෙවරක්ම එම සම්මානය දිනා ගත්තාය. එමෙන්ම සිරිකත ජ්‍යෙෂ්‍ඨ මාධ්‍යවේදිනියන් වූ පුෂ්පා රණවීර සහ සුබෝධිනී පෙරේරා යන මහත්මීන්ද එම සම්මාන හිමි කර ගැනීමට සමත්වීම පුවත්පතක් ලෙස සිරිකත මෙරට  පාඨකයින්ට දෙන ලද දැනුමට ලැබුණු අගයන් ය. .
මේ  සියලු සාර්ථකවීම් පසුපස සිටියේ සිරිකත කර්තෘ මණ්ඩලය පමණක් නොවේ. බෙදාහැරිම්, දැන්වීම්, මානව සම්පත්, ප්‍රවාහන, ආරක්ෂක, මුල්‍ය, ප්‍රවර්ධන, පිටු සැකසුම්, නිෂ්පාදන ආදී සියලු අංශ එකා සේ ධෛර්යයෙන් සිරිකත වෙනුවෙන් කැපවූහ. අදටත් එසේමය.

සිරිකතට නායකත්වය දුන් නාමාවලියේ කර්තෘ ශිරානි ගල්ලෑල්ල මහත්මියද වේ. ඇය වසරකට අධික කාලයක් සිරිකත කර්තෘවරිය ලෙස කටයුකු කළ අතර අද වනවිට එහි නියමුවරිය වී සිටින්නේ  අශන්ති වර්ණසූරිය යි. ඇයත් සමග වෙනස් ගමනක යෙදෙන්නට උත්සාහ කරන සිරිකත හෙට දිනයේත් ඔබේ නිවෙසට සිරිකතක්ම වී පැමිණෙනු ඇත. 

 සෑම කාන්තාවක්ම සිරිකතකි. දැණුම වින්දනය රසාස්වාදය මෙන්ම පාඨක ඔබට තෑගි රැසක්ද ඉදිරියේදි අපි ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු. දශක හතරකට වැඩි ඉතා දිගු කාලයක් පුරා අප සමග සිටි  අපත් සමග ජීවිතය හදාගත්,  අපට වැරදුණු විට ළතෙත් සිතැතිව ඒවා පෙන්වා දුන් ආදරණීය පාඨක සහෘදයිනි, සිරිකත හැමදාමත් අපේ නොව ඔබේය. 
ඉතින් Real Woman. Real Stories. ගන්න කියවන්න දිනන්න සිරිකත.

 

රතු ලිප්ස්ටික්වලට වුණ දේ... Read Previous

රතු ලිප්ස්ටික්වලට වුණ දේ...

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Next

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

Realted Post

Leave a comment