දෙන්නා එකතුවෙලා කරන්න යන අලුත්ම වැඬේ

හොඳ යාළුවෝ කියන්නේ වචනයට විතරක් නෙවෙයිනෙ. ඒක හදවතින්ම බැඳිය යුතු බැඳීමක්. හොඳ යාළුවෝ වෙන්න හැමෝටම බැහැ. මේ කතාබහත් ඒ වගේ යාළුවෝ  දෙන්නෙක් සමග. මෙවර සිරිකත  කවරය හැඩ කරන ඩිලූෂි හංසිකා සහ රාම් දුලිප් තමයි ඒ දෙන්නා. හිනාවෙයි, කතාබහෙයි අඩුවක් නැති මේ දෙන්නගෙන් මුලින්ම කතාබහට අපි අල්ලා ගත්තෙ ඩිලූෂිව.

මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල හොඳටම හොඳයි. හොඳින් ඉන්නවා. සැලෙන නුවන් ඩ‍්‍රාමා එකේ ටීචර්ගෙ චරිතය කරගෙන යනවා.  නිවේදන කටයුතු කරනවා. නටනවා. ළඟදි ඉතාලි යන්න හිතන් ඉන්නවා වැඩකට.

ධරණි නිසාම සටන් ඉගෙන ගන්න වුණා නේද? 

ඔසද සමන් බණ්ඩාර මාස්ටර්ව මේ වෙලාවෙ මතක් කරන්න  ඕනෑ. සාමාන්‍ය ඩ‍්‍රාමාවලට වඩා ධරණි වෙනස් වෙන්නෙත් සටන් නිසා. ඒක මාරම අත්දැකීමක් වුණා. ඒක නිසා තමයි අදටත් ගොඩක් අය මාව අඳුනන්නෙ.

සටන් කරන්න ගිහින් අකරතැබ්බ වෙලාම නැද්ද?

වැටිලා තුවාල වෙලා තියෙනවා. අපි මිනිස්සුන්ට බොරුවට ගහනවා වගේ පෙන්නන්න බෑනේ. සමහර පාරවල් ගහන්න ගිහින් ඇත්තටම වැදිලත් තියෙනවා.

නර්තනයට එන්නෙ කොහොමද?

මම පාසල් කාලේදි නර්තනය හැදෑරුවා. ඒ කාලේ උඩරට, පහතරට සම්ප‍්‍රදායන් ගැන ඉගෙන ගත්තා. මම උසස් පෙළට නර්තනය තෝරගත්තෙ නැත්තෙ ලෝයර් කෙනෙක් වෙන්න ආසාවක් තිබුණු නිසා. මම නර්තනය තෝරාගත්තා නම් ලස්සන නැටුම්  ටීචර් කෙනෙක් වෙලා ඉන්න තිබ්බා.

රාම් - ඩිලූෂි යාළුවො වෙන්නෙ කොහොමද?

රන් ඔන්චිල්ලාවේ වීඩියෝ එකෙන් තමයි යාළුකම පටන් ගන්නෙ. ඒකට ගොඩක් චරිති අක්කට තැන්ක් කරන්න  ඕනෑ. මම හරියට තෝරනවා චරිති අක්කා ෆොටෝස් වගයක් එව්වා. ඒ විදියට තමයි මම රාම් අයියව තෝරාගත්තේ එතැනින් තමයි අපේ යාළුකම පටන් ගන්නේ.

ඇයි රාම්වම තෝරගත්තෙ?

ලස්සන අයියා කෙනෙක්නෙ අනේ පේන්නෙ නැද්ද? ඒක නිසා තමයි තෝරගත්තේ.

එක දවසින් නේද මල් ඔන්චිල්ලාවේ ෂූට් කරන්නෙ?

ඔව්. එක දවසින් පුරුදු වෙලා ඊටපස්සේ දවසේ ෂූට් කළා. ඒක මාරම  විදියට හිට් වුණා. ඒක අපි දෙන්නගෙම හොඳ සංකලනයක් වුණා. විශ්වාසය හැමදේම එක්ක තමයි ගලාගෙන ගියේ.

යාළුවො දෙන්නා රණ්ඩු වෙලාම නැද්ද?

නැහැ. ඇත්තටම එහෙම රණ්ඩු වෙන්න වෙලාවක් නැහැ. අපෙ අම්මා මට නිතරම කියනවා ජොබ් එකක් කරන්න කියලා. ඉතින් රාම් අයියා මට ජොබ් වගයක් හොයලා දීලා ඒවාට යන්න බැරිවෙලා තියෙනවා. එහෙම දෙයක් ඇරෙන්න රණ්ඩු වෙන්න හේතුවක් නැහැ. එයා ඉතින් ලොකු අයියා කෙනෙක්නෙ.

දෙන්නම ටිකක් එක වගේ නේද?

ඔව්. එයාගේ හිත හොඳයි. ගෑනු ළමයි ද පිරිමි ළමයිද වෙනසක් නැහැ හැමෝම එක්කම වැඩ කරන්න පුළුවන්. සමහරුන්ට එහෙම වැඩ කරන්න අමාරුයි.

ඩිලූෂි, රාම්ට සහයෝගය දක්වන්නේ කොහොමද?

මෙයාගේ වැඩවලට මගේ පැත්තෙන් වැරදි ප‍්‍රතිචාරයක්වත් යන්නෙ නැහැ. පාලනය කරන්න යන්නෙත් නැහැ. මම  කියලා තියෙන්නේ මොනවා හරි වැඩසටහන්වලට යනවා නම් මටත් කියන්න කියලයි. 

රාම්ගේ කැමතිම ගතිගුණය මොකක්ද?

ගොඩක් විවෘතයි. හැමෝටම එහෙම වෙන්න බැහැ. රාම් කියන්නේ කෙළින් තීරණ ගන්න කෙනෙක්. වෙනස් වෙන චරිතයක් වුණා නම් මේ වෙනකොට එයාට වුණු දේවල් එක්ක අද මේ තැන ඉන්නත් බැහැ.

ඩිලූෂි චාම් විදියට අඳින්න කැමති කෙනෙක් නේද?

ඔව්,  වෙනසක් විය යුතු තැන්වල ඒ විදිහට අඳිනවා. එහෙම කළා කියලා මම වරදක් දකින්නේ නැහැ. මම ඒ විදියට පාරේ ගියොත් තමයි ප‍්‍රශ්නයක් වෙන්නේ. අපේ හමේ පාට හොඳින් තියෙනකොට විතරයි අපිට ඒ විදියට අඳින්න පුළුවන්. මම ඒක වැරැද්දක් විදියට දකින්නෙ නැහැ.

ඊට අමතරව ඔබේ දක්ෂතා ගැන කිව්වොත්?

ඩාන්සින් වගේම මොඞ්ලිනුත් කරල තියෙනවා. පාසල් කාලයේ දී විවාද කරලා තියෙනවා. මම මගේ හැකියාවන්ගෙන් උපරිම ප‍්‍රයෝජන අරගෙන තියෙනවා කියලා මම හිතනවා.

රාම් අදින විදිය ගැන මොකද හිතෙන්නේ?

රාම් අයියා හරිම ස්ටයිලිෂ් කෙනෙක්. පොඩි දේ ගැනත් ගොඩක් හිතනවා. හරිම ඩීසන්ට්.

ඉදිරි වැඩකටයුතු මොනවගේ වෙයිද?

මාස්ටර් කරන්න යන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේම ව්‍යාපාරයක් කරගෙන යන්න හිතාගෙන, ඉන්නවා. ඒ අතරෙ මගේ නිවේදන කටයුතු වගේම වගේම ඩාන්සින් වැඩත් කරගෙන යනවා.

මීළඟට කතාබහ රාම් දුලිප් සමග

කොහොමද රාම් මේ දවස්වල?

හොඳයි. ඩාන්සින් එහෙම කරගෙන යනවා. අලූත් වැඩක් එන්න තියෙනවා. පොඞ්ඩකට නතර වෙලා ඉන්නෙ මේ දවස්වල. ටෙලි ඩ‍්‍රාමා එකකට සම්බන්ධ වෙලා ඉන්නවා.

එහි ඔබේ චරිතය ගැන කිව්වොත්?

දැනට ෂූටිං බාගයක් කරලා තියෙන්නේ. ටෙලි ඩ‍්‍රාමා එකක් කරද්දි විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට නවත්තන්න වෙනවා. ආපහු පටන් ගන්නවා. චරිතය මොකක්ද කියලා ඩ‍්‍රාමා එක ආවට පස්සෙම බලමු.

රාම් හොඳ මොටිවේටර් කෙනෙක්  නේද?

ඔව්. මම මිනිස්සුන්ව මෝටිවේට් කරනවා.

තව ඔබ කරන දේවල් කිව්වොත්? 

මම ප‍්‍රධාන වශයෙන් මගේ ජොබ් එක කරනවා. අයි.ටී. පැත්තෙන් තමයි ජොබ් එක කරන්නේ. ඊට අමතරව නටනවා, සිංදු කියනවා, රඟපානවා. තව ලිංගික සෞඛ්‍ය සහ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරනවා. කතා කරනවා. ඒ අතර  සමාජ සේවයත් කරනවා

රාම් කලා ක්ෂේත‍්‍රයට එන්නේ?

මම ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ නිරූපණය හැදෑරුවා. ඊට පස්සේ පොඩි පොඩි වැඩවලට සම්බන්ධ වුණා. ප‍්‍රසිද්ධ නාළිකාවක අවුරුදු කුමරා තරගයට සහභාගි වෙලා තියෙනවා. ඒකෙන් අවසන් දොළොස් දෙනා අතරට මම තේරුණා. දිනන්න බැරි වුණා. නමුත් ගොඩක් දෙනෙක් මාව අඳුනගත්තෙ එතැනින්. ඊට පස්සේ මම මගේ පළමුවැනි මියුසික් වීඩියෝ එක කළා ‘අසම්මත පෙම’ කියලා. ඒක ගොඩක් ජනප‍්‍රිය වුණා. නර්තන හැකියාවත් එතැනින් පස්සේ තමයි ගොඩක්ම ප‍්‍රසිද්ධ වුණේ. ඒ විදියට තමයි මම කලා ක්ෂේත‍්‍රයට එන්නේ.

එතකොට නර්තනයට යොමුවෙන්නෙ?

පොඩි කාලේ ඉඳන්ම මම නර්තනය හැදෑරුවා. ඒත් උසස් පෙළට තෝරා ගත්තේ වාණිජ්‍ය විෂයන්.  වැඩිදුරටත් නටන්න ඉගෙන ගත්තෙ ප‍්‍රසාදි රණසිංහ මිස්ගෙන්. මිස්ට ස්තුති කරනවා මේ වෙලාවේ.

ඉස්සරහට කරන්න හිතන් ඉන්න වැඩ මොනවද?

අපි දෙන්නගෙ අලූත් වැඩක් කරන්න කතා කරගත්තා. ඒක ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒක මොනවගේ වැඩක් වෙයි ද?

මියුසික් වීඩියෝ එකක්.

ජීවිතේට යාළුවො  ඕනමද?

ජීවිතයට යාළුවෝ ගොඩක්  ඕනෙ නැහැ. සාමාන්‍යයෙන් අපි අඳුනන අය හිටියට කමක් නැහැ. අඳුනන අය සහ යාළුවෝ කියන්නේ දෙවර්ගයක්. අඳුනන අය ගොඩක් ඉන්න පුළුවන්. හැබැයි යාළුවෝ ඉන්න පුළුවන් බොහොම ටිකදෙනයි. මගේ ජීවතේ යාළුවෝ ගොඩක් නැහැ. අඳුනන අය ගොඩක් ඉන්නවා.

රාම් - ඩිලූෂි හොඳ යාළුවො නේද?

ඩිලූෂි මේ මෑතකදි හමුවුණු යාළුවෙක්. අපි නිතරම කතා කළේ නැතත් කතා කරන වෙලාවට ගොඩක් සමීපයි. ඒක තව ටික කාලෙකින් හොඳම  යාළුකමක් වෙයි කියලා හිතනවා.

මල් ඔන්චිල්ලාවේ වීඩියෝ එක කරන්න ඩිලූෂි රාම්වමලූ තෝරගත්තෙ?

මට  කතා කරන්න ඉස්සෙල්ලා ඩිලූෂි තමයි චරිති අක්කට කතා කරලා තිබුණෙ. 

රාම් දකින විදියට ඩිලූෂිට ලස්සනම මොනවගේ විලාසිතා ද?

එයා හරිම චාම් විදියට අඳින්නෙ. සාරියට තමයි ගොඩක්ම ලස්සන.

ඩිලූෂිගේ ඔබ දකින හොඳම ගතිගුණය මොකද්ද?

හරිම විවෘතයි. දැන් හම්බවෙන කෙනෙක් එක්ක වුණත් ෆිට් වෙනවා.

ඩිලූෂි කොහොම කෙනෙක්ද?

ගොඩක් ගැහැනු ළමයි අනවශ්‍ය විදිහට හුරුබුහුටි වෙන්න උත්සාහ කරනවා. නමුත් ඩිලූෂි එහෙම කෙනෙක් නෙමෙයි.

 

සටහන - නෙත්මි තෂාරා
ඡායාරූප - ඊ. ප්‍රනාන්දු

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Previous

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

සිරිකත Fashion Read Next

සිරිකත Fashion

Realted Post

Leave a comment