නිල් අහස ජයගත් STF පැරෂුට් ශූරියෝ

 

තරුණියක් වුණාම ජීවිතේ ගැන 
හීන දකින්න ඕනෑ.... 
ඒ හීන පස්සේ හඹා යන්න ඕනෑ.... ගැහැනු ඉන්නේ ෆැන්ටසිවල 
විතරක්ම නෙමෙයි..
ගැහැනිය කියන්නේ නිල් අහසක්.. 
රළු මුහුදක්.. මහ පොළොවක් වගේ හිත හයිය ජාතියක්. පිරිමියාට සාපේක්ෂව ගැහැනිය අරමුණු කරා ළඟා වෙන්නේ බොහෝ බාධක කම්කටොලු මැදින්. 

අද සිරිකත කවරය වෙන්වන්නේ හිත් හයිය දැයේ එඩිතර දියණියන් දෙදෙනෙකු වෙනුවෙන්. 

 


එකම දවසේ ජම්ප් 5ක් දැම්මා M1 17 ගුවන් යානයෙන් පනිද්දි ඇතිවුණු බය තාම මතකයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ උ.පො. පරීක්ෂිකා නිරෝෂා දිලානි අබේසිංහ

 

අපේ කතාබහට එක් වූයේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා නිරෝෂා දිලානි අබේසිංහ මෙනෙවියයි. ඇයද නිල් අහස තරණය කරන පැරෂුට් ශූරියකි. ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය නියෝජනය කරන ප්‍රථම පැරෂුට් පැනීමේ සෙබළියන් හතරදෙනාගෙන් එක් අයෙකු වන දිලානිගේ කතාවයි මේ,
‘මගේ ගම මහනුවර අලවතුගොඩ. පවුලේ ඉන්නේ අම්මායි, තාත්තයි, මල්ලියි, නංගියි, අක්කයි, මමයි. තාත්තා විශ්‍රාමික ගුරුවරයෙක්. අම්මා ගෘහිණියක්. මම අධ්‍යාපනය හැදෑරුවේ අලවතුගොඩ ජාතික පාසලෙන්. අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා. උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. උසස් පෙළින් පස්සේ මාතලේ කාර්මික විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවා.


ඒ කාලේදිම මම රැකියා කීපයකටම අයදුම් කළා. අහම්බෙන් තමයි විශේෂ කාර්ය බලකායේ කාන්තා නිලධාරිනියන් ගන්නවා කියලා ගැසට් එකේ දැක්කේ. අවුරුදු විස්සකට පස්සේ තමයි අපිව මේ විදියට බඳවාගෙන තියෙන්නේ.


වසර 2015 දී ඉඳුරාම විශේෂ කාර්ය බලකා කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරට අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අතුරින් සුදුසුකම් ලැබුණා. එහිදී අවුරුදු එකහමාරක් පුහුණු පාඨමාලාව හදාරලා අවි පුහුණුව, අවි රහිත සටන් පුහුණුව, වන සටන් පුහුණුව, පුපුරන ද්‍රව්‍ය පුහුණුව වැනි අංශවලින් පුහුණුව ලැබුවා. මගේ මුල්ම පත්වීම ලැබුණේ විශේෂ කාර්ය බලකා අම්පාර කඳවුරට.
අම්මා, තාත්තා මගේ ගමනට මුල ඉඳලාම අවසර දුන්නා. මට මතකයි විශේෂ කාර්ය බලකා පුහුණුවට මාව භාර දීලා යන වෙලාවේ අම්මා මගේ අත්දෙක අල්ලන් හරියට ඇඬුවා. ඒ අම්මා අඬපු කඳුළුවලට සාධාරණයක් කළා කියලා මට හිතුනේ මගේ ප්‍රථම පැරෂුට් පැනීම වීඩියෝ කරලා අම්මාට යැව්වාම. ඒක බලලා අම්මා එදා අඬලා තිබුණේ දරන්න බැරි සතුටකින්.

 


පැරෂුට් පුහුණුවේ අත්දැකීම් කොහොමද?
“වසර 2018 තමයි පැරෂුට් පුහුණුවට අවස්ථාව ලැබුණේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ මූලික පුහුණුව හැදෑරුවා. පැරෂුට් භටයින්ට දීර්ඝකාලීන ඉතිහාසයක් තිබුණත් කාන්තාවන්ට පැරෂුට් පැනීම විවෘත වන්නේ මෑතකදී. 2018 දි තමයි පැරෂුට් පැනීම විශේෂ කාර්ය බලකායේ කාන්තා අපිට විවෘත වුණේ.


මේක ඇත්තටම දැඩි අභියෝගාත්මක අංගයක්. කාන්තාවන්ට ඉතාම දුෂ්කර පාඨමාලාවක්. දැඩි ආශාව නිසා තමයි යොමු වුණේ. මුලින්ම පැරෂුට් පැනීම සඳහා අපේ ශාරීරික යෝග්‍යතාව සුදුසුද කියලා පරීක්ෂා කරනවා. එය ඉතාම අසීරු පරීක්ෂණයක්. එය සමත් වීම විශාල අභියෝගයක්. පසුව අපිට බිම් මට්ටමේ පුහුණුව සහ කුළුණු පුහුණුව කියලා අංශ දෙකකින් පුහුණුව ලබා දුන්නා. අඩි 1000 පිම්ම මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. කිලෝ 15 ක විතර පැරෂුට් එකක් එල්ලගෙන බිමට පනිනවා කියන එක ලේසි පහසු නැහැ. හදිසි අවස්ථාවකදී භාවිතයට ගන්න අතිරේක පැරෂුටයකුත් ලබා දෙනවා. පැරෂුටය නිවැරැදිව හසුරුවා ගැනීම ඉතාම වැදගත්. මොකද පැරෂුටය විදුලි රැහැනක, ගසක, එහෙම වැදුණොත් මාරක අනතුරක් වෙන්න පුළුවන්. ඒවාගේම පැරෂුටය ගොඩ බෑම ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕනෑ. නිවැරැදි ක්‍රමවේදයකට ගොඩබෑම කරගන්න බැරි වුණොත් දෙපාවලට අනතුරු වෙන්න ඉඩ තියෙනවා.”


ඇය නිවැරැදි පුහුණුවේ වැදගත්කම පැහැදිලි කළේ එලෙසිනි.


“පුහුණුව අවසන් කරලා මාස එකහමාරකට පස්සේ තමයි අඩි 1000 ක ජම්ප් එක දාන්න තිබුණේ. 


ඵ 1 17 ගුවන් යානයකින් තමයි මම එදා පැන්නේ. එදා ගුවන් යානයේ දොර ගාවට යද්දි දැනුණු බය විස්තර කරන්න වචන නැහැ. පැන්නට පස්සේ ටික වේලාවක් යනවා පැරෂුටය දිග හැරෙන්න. ඒ වෙලාවේ නිදහස් කුරුල්ලෙක් පියාඹනවා වගේ හැඟීමක් තමයි දැනුනේ. ඒක හරි අපූරු අත්දැකීමක්.” 


ඇයට මේ වන විට මූලික පැරෂුට් පාඨමාලාව නිම කිරීම සඳහා අවශ්‍ය වන්නේ පැනීම් පහක් පමණක් වුවත් ඇය මේ වන විට පැනීම් වාර 15 ක් සාර්ථකව නිම කර ඇති දක්ෂ එඩිතර කාන්තාවකි. 
“රාත්‍රී කාලයේ පැනීම් පුහුණුව ඉතාම අභියෝගාත්මකයි. ආලෝක එළිවලට පැරෂුටය හසුරුවා ගැනීම ඉතාම අමාරුයි. ඒ අවදානමත් ඉතාම සූක්‍ෂමව ජය ගත්තා. සාමාන්‍ය පැනීමකට වඩා ඒක ත්‍රාසජනකයි. මේ වෙනකොට මම මැරෂුට් මූලික පුහුණුව අවසන් කරලා ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ අන්තර් ජාතික පැරෂුට් සංගමයේ සාමාජිකත්වය ලබාගෙන තියෙනවා. ලෝක මට්ටමේ පුහුණු අවස්ථාවකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. 

 

 


අද ජීවිතේ ගැන මොකද හිතෙන්නේ
මම විශේෂ කාර්ය බලකායේ ඉන්න කොට මට විද්‍යා පීඨයටත්, හෙද පුහුණුවටත් ලිපි ආවා. හැබැයි මගේ හිත ගියේ පොලිසියට. රටට සේවයක් කරන්න ලොකු අවශ්‍යතාවක් තිබුණා. මේ වෘත්තිය තෝරා ගැනීම ගැන අද මම ආඩම්බර වෙනවා. 
‘මට මේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි එකම දවසේ මම ජම්ප් 05 ක් දැම්මා. ඒක ගැහැනු කෙනෙකුට ඉතාම අමාරු කාර්යයක්. හැමදේම කළේ හිතේ ධෛර්යය එක්ක. මේ හැම දෙයක්ම සාර්ථකව කරගෙන යන්නට ශක්තිය ලබා දුන් සියලුම උසස් නිලධාරීන් සහ පුහුණු නිලධාරීන්ව ගෞරවයෙන් මතක් කරනවා. 


 

 

පනින්න ඉස්සෙල්ලා අම්මටයි තාත්තටයි කතා කරනවා

පොලිස් විශේෂ කාර්ය බලකායේ කාන්තා පොලිස් කොස්තාපල් නිර්මලා කුමුදුනී සේනානායක

 

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ කාන්තා පොලිස් කොස්තාපල් නිර්මලා කුමුදුනී සේනානායක පොලිස් විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ රන් අකුරින් තම නිම ලියාගත් දිරිය කාන්තාවක්. පැරෂුට් නිදහස් ආර ප්‍රථම කාන්තා කණ්ඩායමේ දෙදෙනාගෙන් ඇය එක් අයෙක්. මේ ඇයගේ හඬයි.


‘මගේ වයස අවුරුදු 32යි. මම උපන්නේ කුරුණෑගල දොඹගොල්ලෙ. මම අධ්‍යාපනය හැදෑරුවේ දොඹගොල්ල ගෝනිගොඩ මහා විද්‍යාලයේ. පවුලේ අම්මායි, අප්පච්චියි, අක්කලා දෙන්නයි, අයියයි, මමයි. මම පවුලේ බාලයා. මේ රැකියාව තෝරගත්තේ උසස් පෙළ අවධියේදිමයි. මම විවාහකයි.

 


උසස් පෙළ අවධියේදී ඇයි ඔබ මේ වගේ ආරක්ෂක අංශයේ රැකියාවක් තෝරගන්න හිතුවේ....
ඇත්තටම මුලින්ම මට උසස් පෙළ කරලා රැකියාවක් කිරීමේ ආසාව තමයි තිබුණේ. මගේ පියා සහ අයියා දෙන්නාම පොලිස් සේවයේ නිසා තමයි මටත් හිතුනේ පොලිස් සේවයට බැඳෙන්න. 
උසස් පෙළ විභාගය ලියන අතරතුර දවසක් ගැසට් කරලා තිබුණා වසර 13 කට පසුව පොලිස් විශේෂ කාර්ය බලකායට කාන්තා නිලධාරිනියන් බඳවා ගන්නවා කියලා. මම මුලින්ම බැලුවෙ ඒ දාලා තිබුණු සුදුසුකම් මම සපුරලාද කියලා. මම අයදුම්පත් යොමු කරන කොට උසස් පෙළ අවසන් කරලා හිටියෙත් නැහැ. ලොකුවට විශ්වාසයක් තියාගන්නේ නැතුව මේකට අයදුම්පත දැම්මා. අයදුම්පත දාලා ටික දවසකට පස්සේ සමුමුඛ පරීක්ෂණයට එන්න කියලා ලියුම ආවාම කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා.


උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එද්දිි මම හිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් මට විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණත් මම හිතා ගත්තා ඒ අරමුණටත් මම කොහොම හරි යනවා කියලා. විශ්ව විදයාලයට යන්න බැරි වුණත් රැකියාව කරන ගමන් කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදි උපාධිය ලබා ගත්තා.
මම පොලිස් විශේෂ කාර්ය බලකායට යොමුවීම ගැන වැඩිපුරම සතුටු වුණේ අප්පච්චි. මට මේ ගමන එන්න අවසර දීපු එක ගැන දෙමවුපියන්ට, පවුලේ අයට හදවතින්ම ස්තූති කරනවා. මොකද පොලිස් විශේෂ කාර්ය බලකායේ කාන්තා නිලධාරිනියන් ඒ කාලේ බඳවා ගැනුණේ හරිම අඩුවෙන්. ඒ ගමනේදී කාන්තා පැරෂුට් සෙබලියක් වෙන්න ලැබීමත් විරල අවස්ථාවක්. මේ හැමදේම මට ලැබුණේ ගෙදරින් ලැබුණු ශක්තිය නිසයි.

 


ඔබට පැරෂුට් ශූරියක් වීමේ අවස්ථාව හිමිවන්නේ කොහොමද?
වසර 2010 දී විශේෂ කාර්ය බලකායට බැඳිලා පළමු පත්වීම ලැබෙන්නේ මඩකලපුව කලවච්චිකුලම් කෑම්ප් එකට. එතැනදී මගේ මලල ක්‍රීඩා දක්ෂතා දැකලා මාව මලල ක්‍රීඩා කණ්ඩායමට තෝරා ගත්තා. එතැනින් මම ආවා කටුකුරුන්ද පුහුණු පාසලට. එතැන වසර 10ක් මලල ක්‍රීඩා සංචිත නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා.


ඔය අතරතු 2016 දී පොලිස් විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ පළමු වතාවට පැරෂුට් නිලධරිනියන් බඳවා ගත්තා. මමත් අයදුම් කරලා එහි විභාගයට මුහුණ දුන්නා. එහිදී තෝරා ගැනීමේ විභාගයෙන් මම පළමුවැනියා වුණා. ඊට පස්සේ 2017 දී අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලෙන් මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරුවා.


නනිර්මලා ඉන් නැවතුණේ නැත. ඉතාම දුෂ්කර හා අභියෝගාත්මක පුහුණුවක් වන මූලික පැරෂුට් පුහුණුවේ දිවා රාත්‍රී ඇය පුහුණු විය. අඩි දහස් ගණන් උස මට්ටම්වලින් පැනීමේ වාර කිහිපයක් සිදු  කිරීමෙන් අනතුරුව මෙහිදී සුදුස්සන් තෝරා ගැනෙන  අතර නිදහස් ආර සුවිශේෂී පුහුණුවට යොමු වෙන්නට අවස්ථාව ලැබෙන්නේද එයින් අතලොස්සකටය. එහි වැඩි අවස්ථා හිමි වන්නේ පිරිමි සෙබලුන්ටය. එහෙත් නිර්මලාද සිය කැපවීමේ උපරිම පල නෙළාගන්නේ පැරෂුට් නිදහස් ආර පාඨමාලාවට අවස්ථාව හිමි වූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙමිනි.
“පාඨමාලාවට අයදුම් කරලා මම මුලින්ම කිව්වේ අප්පච්චිට. ඔයාට මේක කරන්න පුළුවන්ද කියලා අප්පච්චි එකපාරටම ඇහැව්වා. අප්පච්චි කිව්වේ හිතේ විශ්වාසය තියෙනවා නම් යන්න කියලා. අම්මා පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. එයා බය වුණා.


පුහුණුව මාස 2 1/2 ක කාලයක් තමයි තිබුණේ. අම්පාරේ ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ. එතැනදී කොටස් දෙකකට පුහුණුව ලබා දුන්නා. දක්ෂ උපදේශක පිරිසක් එතැන ඉන්නවා. හොඳ පුහුණුවක් අපිට එතැනදි ලැබුණා. 


පළමු පැනීම අලුත් අත්දැකීමක්. ලයිව් ජම්ප් 5 ක් දෙනවා මූලික පැරෂුට් පාඨමාලාවේදී.


පළමු පැනීම නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ. පනින්න ලෑස්ති වෙන තැන ඉඳලාම හිතට බය චකිතය දැනුනා. ඒත් ඒ අභියෝගය මම ජය ගත්තා. මට මේ දේ කරන්න පුළුවන් කියන ශක්තිය හිතේ තිබුණා. මූලික පැරෂුට් පුහුණුවේදී කණ්ඩායමේ 40 දෙනාගෙන් කාන්තාවන් හිටියේ මාත් ඇතුළුව තව එක් කාන්තා නිලධාරිනියක් විතරයි. අනෙක් 38 දෙනාම පිරිමි නිලධාරීන්. ඒ අය එක්ක කරට කර හැප්පෙද්දි අපේ ශක්තිය තව තව වැඩි වුණා. පැනීමේ වාර 15 ක් සම්පූර්ණ කළාට පස්සේ නිදහස් ආර පැරෂුට් පාඨමාලාවට යන්න මට අවස්ථාව ලැබුණා. ඒ 2019 වසරෙදි. 
පළමු නිදහස් ආර පටන් ගන්නේ අඩි 6000න් විතර. ඊට පස්සේ අඩි 13000 ක් දක්වා උසක් යනවා. දැනට මම පැනලා තිබෙන වැඩිම උස අඩි 13000-13500 යි. අඩි 13000 පනිද්දි නම් හිතාගන්න බැරි බයක් දැනුණා. එදා නම් දෙවියන් සිහි වුණා. හැමදේටම බලපාන්නේ හිතේ ශක්තිය. පුරුද්දක් විදියට ජම්ප් එකක් දාන්න කලින් අම්මාටයි අප්පච්චිටයි කතා කරලා තමයි ගුවන් ගත වෙන්නේ. ඒ ආශිර්වාදය තමයි ලොකුම ශක්තිය. 

 


 ඔබේ  බලාපොරොත්තු මොනවාද?
වසර 2023 නිදහස් උත්සවයේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් පැරෂුට් සංදර්ශනයට මාව යෝජනා වෙලා තිබුණා. ඒත් ඒ අවස්ථාව සඳහා ගැනීමේ වාර ප්‍රමාණ 100 ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනෑ කියලා කිව්වා. මම නිදහස් ආර පැනීම් වාර සම්පූර්ණ කරලා තිබුණේ පැනීමේ වාර 65 යි. ඒ නිසා ඒ අවස්ථාව මට ගිලිහුණා. එක හීනයයි තියෙන්නේ. මගේ සුදුසුකම් හදාගෙන ඉදිරි නිදහස් උත්සවයක පැරෂුට් සංදර්ෂණයක දස්කම් පෙන්වන හීනෙක මම ඉන්නවා. ඒවාගේම පැරෂුට් ශූරියක් ලෙස විශේෂ කාර්ය බලකායට සහ පොලීසියට කීර්තියක් ගෙනැත්දීම තමයි එකම බලාපොරොත්තුව. 


විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිතුමා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, අධ්‍යක්ෂ, පුහුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක යන මහත්වරු ඇතුළු විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරිනියන් සියලුදෙනා ගෞරවයෙන් සිහිපත් කරනවා. නිවැරැදි පුහුණුව දුන් ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිලධාරීතුමා ඇතුළු සියලුමදෙනාත් මතක් කරන්නේ ගෞරවයෙන්.

නදීෂා අතුකෝරාළ
ඡායාරූප සජීව  ලක්ෂාන්


 

 

 

අම්මයි  බබයි දෙන්න ම අවදානමේ  වැදෑමහේ ගැටලු Read Previous

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

ලොව ළාබාලතම බිලියනපතිනිය Read Next

ලොව ළාබාලතම බිලියනපතිනිය

Realted Post

Leave a comment