නිහඬ බවට පෙම් බැඳී ගයාත්‍රී තරුණ වෙන්න බොන දේ

 

 

මේ දවස්වල වෙළඳ  දැන්වීම්වල  නිතරම දකින්න ලැබෙන කෙනෙක් "නදී ගයත්‍රි". අහම්බෙන් කලා ක්ෂේත්‍රයට විත්  ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඇය සමඟ සිරිකත Online කළ කතා බහකි මේ. 


මේ දවස් වල වැඩ කටයුතු කොහොමද ?
මේ දවස් වල වැඩ කටයුතු ගැන කිව්වොත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට සහ විෂුවල් කිහිපයකට දායක වෙලා ඉන්නවා. ඇත්තටම මේක මගේ වෘත්තිය නෙවෙයි. මං මේක කරන්නේ මගේ විනෝදාංශය විදිහට. ඒ වගේම තමයි මං ගොඩක් තෝරල බේරල තමයි නිර්මාණ භාරගන්නෙත්. ඒකනිසා ලොකු කාර්යබහුලත්වයක්  නම් නැහැ. මට ලැබෙන දේවල් සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ඊට අමතරව දහම් පාසල් ගුරුවරියක් විදියටත් සේවය කරනවා.

 

ඔබ 2010 දී රූපවාහිනී වෙබ් කුමරිය බවට පත්වෙනවා. ඒ පටන් ගත්තු ගමන මිස් වර්ල්ඩ් 2020 ටොප් 20 වෙනකම්ම ඔබ එනවා .ඒ ආපු ගමන් මඟ මතක් කළොත් ?
ඒ ගමන ගැන කිව්වොත් ගොඩක් හෙමින් බාධක මැද්දේ ආපු ගමනක්. හැබැයි තාම මං මගේ ටාගට් එකට ඇවිල්ලා නැහැ. කතාවක් තියෙනවනෙ ඉබ්බගෙ හාවගේ. මම ඒකේ ඉබ්බගෙ චරිතෙ ඉන්නේ. කවදහරි ජයග්‍රාහි කණුව ළඟට මට යන්න පුළුවන් කියල විශ්වාසයක් මට තියෙනවා. හෙමින් සීරුවේ මම මගේ ජයග්‍රහණයට යන ගමන්  ඉන්නේ.

 

පාසල් කාලේ ඉඳලම තිබුණ හීනයක් ද මේක ?
ඇත්තටම නැහැ. පාසල් යන කාලේ මට තිබ්බ එකම හීනේ වුණේ ක්‍රීඩාව පැත්තෙන් ඉස්සරහට යන එක. පාසල් කාලේ මම ගොඩක් ක්‍රීඩා වල නිරත වුණු කෙනෙක්. මගේ පාසල හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලය. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියට වගේම ක්‍රීඩා නායිකාව විදියටත් මම කැපී පෙනෙන චරිතයක් වෙලා හිටියෙ.  ක්‍රීඩාව පැත්තෙන් තමයි මට ගොඩක් ජයග්‍රහණ තිබුණෙ. මගේ අසනීප තත්වයක් නිසා නොහිතපු විදිහට මට ක්‍රීඩාවට  සමු දෙන්න සිද්ධ වුණා. ඒ  අතරේ මගේ අම්මා අහම්බෙන්  සිරස තරු මංසල වැඩසටහනට අයදුම්පතක් යවල තිබුණා. ඒ විදියට තමයි මම මේ දැන් ඉන්න හීනෙට එන්නේ.

 

නිහඬ බව කියන දේ ඔබගාව වගේම ඔබේ ගමනෙත් දකින දෙයක්. එහෙම වෙන්න  විශේෂ හේතුවක් තියෙනවාද?
ඇත්තටම එහෙම විශේෂ හේතුවක් නම් නැහැ. හැමෝම එක වගේ නැහැ නේ. නිහඬ බවට මම කැමතියි වගේම ආසයි. අහම්බෙන් තමයි  මම මේ ක්ෂේත්‍රයට එන්නෙ. සෑහෙන්න දුරක් මේ වෙනකොට  ඇවිල්ලත් තියෙනවා. තව ගොඩක් දුර යන්නත් තියෙනවා. මම තාම  හිතපු තැනට ඇවිත් නැහැ. ඒත් කවදහරි  එතැනට එනවා කියන බලාපොරොත්තුව මම ගාව තියෙනවා. මට තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ හැම දෙයක්ම සම්පූර්ණ කරගෙන පවුලටත් මූල්තැන දෙන ගමන් නිහඬව මේ ගමන යන්න හිතන් ඉන්නවා.

 

දවසින් දවස වැඩිවෙන ඔබේ තරුණ බවට විශේෂ රහසක් තියෙනව ද?
මම ගොඩක් වෙලාවට  මුහුණට කරන  සත්කාර වලට ස්වභාවික දේවල් තමයි යොදාගන්නේ. අභ්‍යන්තර සත්කාරය කියන දේත් ලස්සන වෙන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා මම නිතර කොළ කැඳ  වගේම වතු‍රත් බොනවා. එළවළු, පලතුරු වගේ දේවල්  කෑමට එකතු කරගන්න අමතක කරන්නේ නැහැ. ටිකක් කෑම පාලනය කරනවා. ගොඩක් අය ආසයි ලස්සනට ඉන්න. ඒ විදියට තව කෙනෙක්ට ප්‍රිය මනාපව පිරිසිදුව  ලස්සනට ඉන්න එක තමන්ට ගොඩක් වැදගත් දෙයක් විදියටයි මම දකින්නෙ.


ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකාවක අවුරුදු කුමරිය වෙන එක හොඳ ගමනක් යන්න ප්‍රමාණවත් ද ?
ඒ දේ විතරක් ප්‍රමාණවත් නැහැ. ගොඩක් අය ට්‍ර්‍රෙන්ඩ් එකට වගේ ඒ දේවල පස්සේ  යන්නෙ. රඳා පැවැත්මක් එක්ක ක්ෂේත්‍රය තුළ ඉන්නනම් අපිම මහන්සියෙන්, උත්සාහයෙන් දේවල් ගොඩනඟා ගැනීම අවශ්‍යයි. ඒ දේ නරකයි මේකට යන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. මේ හරහා අපිට දෙයක් ලැබෙනවා. හැබැයි හැමදේම රඳා පවතින්නේ අපේ උත්සාහය, කැපවීම මතයි.

 

ඔබේ ආදරණීය කැදැල්ල වගේම ඔබට උදව් කළ පිරිස ගැනත් කිව්වොත්?
මගේ සැමියා නිශාන්ත සිරිවර්ධන. මේ වෙනකොට ස්වර්ණවාහිනියේ වැඩ කරනවා.  අපි විවාහ වෙලා මේ වෙනකොට අවුරුදු හතක්. මට අවුරුදු තුනහමාරක පුංචි පුතෙක් ඉන්නවා. එයාගේ නම ඔනාල්. මට මේ ගමන එන්න ගොඩක්ම උදව් කළේ  මගේ අම්මා. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. තාත්තාගේ රැකවරණය මට දුන්නේ මගේ සැමියා නිශාන්ත සිරිවර්ධන. ඒ විතරක් නෙමෙයි මට මේ ගමන එන්න ගොඩක් අය උදව් කරල තියෙනවා, නම්  වශයෙන් කියල ඉවර කරන්න බැරි තරම් පිරිසක් ඉන්නවා. එක්කෙනෙක්ගෙ හරි නමක් කියාගන්න බැරි වුණොත් ඒක ඒ කෙනාට කරන්න ලොකු අගෞරවයක් වෙනවා. ඒක නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා මට වචනෙකින් හරි උදව් කරපු සහ මාව දිරි ගන්වපු හැමෝටම ස්තූති කරන්න.

 

ඔබේ ඉදිරි සැලසුම් මොනවාද?
එහෙම විශේෂ සැළසුමක් කියල නම් නැහැ. ලැබෙන වැඩත් එක්ක ඒ දේවල් තෝරා බේරාගෙන හෙමින් ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව.

 

ඔබ වගේ ගමනක් එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට ඔබට කියන්න තියෙන්නෙ මොනවගේ දෙයක්ද?
මං හිතනවා අනිවාර්යෙන්ම නිහතමානීකම කියන දේ තිබිය යුතුම දෙයක් කියලා. තමන්ගෙ ක්ෂේත්‍රයේ ඉන්න අනෙක්  හැමෝටම  ගරු කරන්න  ඕන. ක්ෂේත්‍රය ඇතුළේ ඉද්දී  අපිට කවුරුහරි වචනෙකින් හරි උදව් කරනවා නම් අපි ඒ කෙනාට නිහතමානිව ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ වගේම ඒ උදව්ව මතක තියාගන්න, කෘතඥ වෙන්න  අපි හැම වෙලාවෙම  පුරුදු වෙන්න ඕන.

 

ආපහු හැරිලා බලද්දි  නදී ගයාත්‍රි  ගැන ඔබට මොකද හිතෙන්නේ?
ආපහු හැරිලා බලද්දි මං ගැන ආඩම්බරයක් සහ නිහතමානී සතුටක් තියෙනවා. මේ වෙද්දී මම ළඟා කරගෙන තියෙන දේවල් එක්ක බලද්දි මට මං ගැන දැනෙන්නේ ආඩම්බරයක්. මොකද මං  මෙතැනට ඇවිල්ලා තියෙන්නේ  ගොඩක් මහන්සියෙන්, ලොකු කාලයක් කැප කරලා.ඒක නිසා මට මං ගැන ආඩම්බරයි වගේම සතුටුයි.

සටහන - නෙත්මි තෂාරා


 

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත  ඉන්දිකා ජයසේන Read Next

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත ඉන්දිකා ජයසේන

Realted Post

Leave a comment