මම හින්දු වුණාට බුදු දහමට හුඟක් ගරු කරනවා

 

ශ්‍රී ලංකා ඉන්දියානු හවුල් සිනමා නිෂ්පාදනයක් වන “සෙකන්ඩ් ෂෝ (Second Show) චිත්‍රපටයේ මංගල දැක්ම සඳහා එහි ප්‍රධාන චරිතයකින් සිනමාගාරයට ගොඩවන කොලිවුඩ් නිළි අක්ෂතා සොනාවන් (Akshata Sonawane) පසුගියදා ලංකාවට පැමිණියා. චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා ලංකාවට පැමිණි අක්ෂතා මෙවර සිරිකත හැඩකාරිය ලෙස එකතු කරගන්නට අපට හැකියාව ලැබුණා.

 

 අක්ෂතා ලංකාවට නුහුරු නුපුරුදු කෙනෙක් නෙමෙයි. මේ කීවෙනි වතාවටද ලංකාවට ආවේ? 
මම මීට අවුරුදු හතරකට කලින් එක වතාවක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ අමතක නොවන සුන්දර මතක ගොඩක් මට එකතු වුණා. මෙවර චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මම ලංකාවට ආවෙත් හුඟක් ආසාවෙන්.

 

සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයට අක්ෂතාට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
කොලිවුඩ් චිත්‍රපටවලට සම්බන්ධ වුණාට පස්සේ මට අජ්මල්ව හඳුනගන්න ලැබුණා. ඔහු තමයි සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමාට සහ නිෂ්පාදන සමාගමට මාව හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ තමයි ඔවුන් මගේ ඡායාරූප බලලා මාව සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ රෝෂනී කියන චරිතයට තෝර ගත්තේ.

 

ඔබ මේ වෙනකොටත් ඉන්දීය තෙලිඟු සිනමාවේ නැගී එන නිළියක්?
ඔව්, මම නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා. Kheera Sagara Madhanam චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් සහ Zee Music'', ''T Series'', ''Ashish Chanchlani' සංගීත ලේබල යටතේ නිර්මාණය වුණු ගීත වීඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. තව අලුත් නිර්මාණ දෙකකට මේ වෙනකොට ආරාධනා ලැබිලා තියෙනවා. මේ නිර්මාණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වුණාට පස්සේ ඒ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට “ප්‍රත්‍යාදි” කියලා තෙලිඟු චිත්‍රපයක් එන්න තියෙනවා හැබැයි කවදා තිරගත වේවිද දන්නේ නැහැ.

 

ශ්‍රී ලංකා ඉන්දියා සම නිෂ්පාදනයක් සඳහා දායකත්වය දෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ලොකු සතුටක් දැනෙනවා. මම මීට පෙර තෙලිඟු චිත්‍රපට 3කට රංගනයෙන් දායක වෙලා තියනවා. මගේ හතරවැනි තෙලිඟු චිත්‍රපටයටත් මම ලංකාවට එන්න කලින් ගිවිසුම් අත්සන් කළා. සෙකන්ඩ් ෂෝ චිත්‍රපටය ශ්‍රී ලංකා ඉන්දීය හවුල් චිත්‍රපටයක් කියලා දැනගත්තම මේ චිත්‍රපටයේ රඟපාන්න ලොකු ආසාවක් ඇතිවුණා. ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් නිසා “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටයට දායක වෙන්න මම දෙවරක් හිතුවේ නෑ. අද ඒ චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක කියාග න්න බැරි තරම් ලොකු සතුටක් මට තියෙනවා.

 

ශ්‍රී ලාංකික නළුවෙකු සමග රඟපාන්නේ පළමු වතාවටද?
ඔව්, මට හුඟක්ම රඟපාන්න ලැබුණේ අජ්මල් අමීර් එක්ක. හේමාල් එක්ක රඟපාන්න තිබුණේ පල්ලවී සුභාෂ්ට. ස්ක්‍රීන් එකේ වැඩිය රඟපාන්න ලැබුණේ නැති වුණාට කණ්ඩායම ඉන්න රූප රාමුවල හේමාල් සහ මම හිටියා.

 

හේමාල් රණසිංහ ගැන මොකද හිතෙන්නෙ?
හේමාල් කියන්නේ වැඩිය කතා නැති, කරන වැඩේට උපරිමයටම කැපවීමෙන් වැඩ කරන නළුවෙක්. හේමාල් කියන්නේ හොඳ අවංක හරිම නිහතමානී කෙනෙක්. ඒ වගේම මම දැකපු හොඳ වෘත්තිමය නළුවෙක්. ගොඩක් වෙලාවට අපි කතා කළේ දර්ශව තලවලින් පිටතදි. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕන. අපි කවුරුත් සිංහල භාෂාව කතා කරන්න දැනගෙන හිටියේ නැහැ. සිංහලෙන් රූපගත කිරීම් කරද්දි සිංහල භාෂාව නිවැරදිව හසුරවන්න හේමාල් ගොඩක් උදව් කළා.

 

ලංකාව ගැන මොකද හිතෙන්නේ?
මම මුලින්ම ලංකාවට අවේ සංචාරයක් සඳහා ඒ වෙලාවෙත් ලංකාවේ ගොඩක් තැන්වල සංචාරය කරන්න ලැබුණා. මේ පාර ලංකාවට ආවේ චිත්‍රපටයේ මංගල දර්ශනයට වගේම ප්‍රවර්ධන කටයුතුවලට හේමාල් එක්ක දායක වෙන්න. ලංකාව කියන්නේ හරිම සෞන්දර්යාත්මක රටක් ලංකාවට බුදු දහමට මම හුඟක් ගරු කරනවා සහ ආදරෙයි. ලංකාව වටේම ඇවිදින්න මට ගොඩක් ආසයි. ලංකාව කියන්නේ හරිම සුන්දර මානුෂීය හදවත් තියෙන මිනිසුන් ඉන්න රටක්. හරිම සුහදශීලියි. මම හුඟක්ම කැමති ලංකාවේ මුහුදු වෙරළට.

 

ජාත්‍යන්තර සිනමාවට ඔබව හඳුන්වා දෙන්නේ කෞෂල්‍යා වික්‍රමසිංහ ඇය ගැනත් මතක් කරමු?
ඇත්තටම විශේෂ ස්තුතිය මුලින්ම පිරිනමන්නේ කෞෂල්‍යා මහත්මියට ඇය තමයි මාව ජාත්‍යන්තර සිනමාවට ගේන්නේ. මාව මෙවැනි නිර්මාණයකට දායක කර ගත්තා වගේම ලංකාවට ඇවිල්ලා ඒ ප්‍රේක්ෂකයෝ එක්ක ආදරය බෙදාගන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි.

 

ආදරය ගැන අක්ෂතාට තියෙන්නේ මොනවගේ අදහසක්ද?
මම තාම පෙම්වතියක් නෙමෙයි. ආදරය ගැන මම දැන්ම හිතන්නේ නෑ. මේ වෙලාවේ ආදරය, ප්‍රේමය ගැන හිතන්න ගියොත් මගේ ඉලක්ක සපුරාගන්න බැරි වෙනවා.

 

අක්ෂතාගේ පවුලේ තොරතුරු දැනගන්න කැමතියි?
මම මහාරාෂ්ටයේ හින්දු භක්තික තැනැත්තියක්. මගේ අම්මා ගෘහිණියක්, තාත්තා මුම්බායිවල නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙක්. මට ඉන්නේ මල්ලි කෙනෙක් විතරයි. ඔහු තාම ඉගෙන ගන්නවා. අපි හින්දු භක්තිකයින් වුණාට බුදු දහමට ලොකු ගෞරවයක් ලැදියාවක් තියෙනවා.

 

 

අක්ෂතා කලාවට එන්නේ කොහොමද?
පාසල් අධ්‍යාපන කටයුතුවලින් පස්සේ රියලිටි වැඩසටහනකට 2017 වසරෙදි සහභාගි වෙනවා. ඒ රියැලිටිය අවසානයෙදී මට තෙල`ිගු චිත්‍රපට සමාගමකින් ආරාධනා ආවා සිනමාවට සම්බන්ධ වෙන්න. ඒ විදිහට තමයි සිනමාවට වගේම කලාවට එකතු වෙන්නේ. රංගන කටයුතුවලට මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හුඟක් සතුටුයි ලංකාවේ බොහෝදෙනා එක්ක කතා කරන්න ලැබීම ගැන. “සෙකන්ඩ් ෂෝ” නරඹන්න කියලා ප්‍රේක්ෂකයන්ට මම ආදරයෙන් ආරාධනා කරනවා.

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්


 

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Next

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

Realted Post

Leave a comment