මාස අටෙන් කිලෝ 46ක් බර අඩුකරගත් ක‍්‍රිස්ටීනා

බර අඩුකරගෙන ඇඟ හැඩකර ගැනීම හුඟදෙනෙක් දකින හීනයක්. ඒ හීනෙට යන්න උත්සාහ කරන වැඩි දෙනෙක් කියන්නෙ නම් ‘මොන තරම් උත්සහ කළත්, නොකා හිටියත් ඇඟේ බර අඩුවෙන්නේ නැහැ කියන කතාව. එහෙම කියන හැමෝටම අභියෝගයක් වුණු කෙනෙක් සමඟයි මේ කතාබහ. ඇය ක‍්‍රිස්ටීනා ප‍්‍රනාන්දු. 

හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා විශ්වාස කරන ඇය තමන්ගේ සිරුරේ බර හිතන්නවත් බැරි තරම් ප‍්‍රමාණයකින් අඩු කරගන්න සමත්වෙලා තියෙනවා. මේ අභියෝගය ජයගත්තේ කොහොමද කියලා අපි ඇයගෙන්ම අහමු.

ක‍්‍රිස්ටීනා කියන්නේ කවුද?

මම විවාහකයි. පදිංචි වෙලා ඉන්නේ මාලඹේ. වෘත්තියෙන් හඬ කැවීම් ශිල්පිනියක්. ඊට අමතරව මම ඔන්ලයින් වර්කවුට් ක්ලාසස්, කරනවා. ව්‍යවසායකයෙක් විදියට සොෂල් මීඩියාවල වැඩ කරනවා. 

කිලෝ 102 ක් 56 ට බැස්සුවා

හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ නේද?

උනන්දුවයි උත්සහයයි කැපකිරීමයි තියෙනවා නම්  ඕනැම දෙයක් කරන්න පුළුවන්. අසීරුම තැන අල්ලගෙන හිටියොත් අපිට පුළුවන් ඕනෑම අභියෝගයක් ජයගන්න.

ක‍්‍රිස්ටීනා කියන්නේ ඉස්සර හුඟක් මහත කෙනෙක් එහෙම නේද?

මම ඉස්කෝලේ යන කාලෙ කෙට්ටු උස සාමාන්‍ය ඇඟක් තිබුණ කෙනෙක්. අම්මා ඒ කාලේ මගේ ෆිගර් එක ගැන හරිම සැලකිලිමත්. අපි එළියට කෑම කන්න යන්නේ හරිම අඩුවෙන්. හැමදාම වේල් තුනම අම්මගේ අතින් හැදෙන කෑම කන්නේ. නමුත් මම අධික ලෙස මහත් වෙන්න පටන් ගත්තේ විවාහයෙන් පස්සේ. මොකද විවාහයට පස්සේ මට නිදහස ලැබුණා එළියෙන් කන්න, උත්සවවලට යන්න. ඊට පස්සේ මට මගේ කෑම පාලනය කරගන්න බැරිවුණා. මම විවාහ වෙනකොට මගේ බර කිලෝ හැත්තෑ අටක් තිබුණා. මගේ පෙනුමත් එක්ක මාව හුඟක් මහතට පෙනෙන්න ගත්තා. කොහොම හරි විවාහවෙලා පොඩි මාස ගාණකින් මගේ බර 102ක් දක්වා වැඩිවුණා.

නැගිට්ට ගමන් වතුර ලීටරයක් බොනවා 

කොහොමද ආයෙත් බර අඩු කරගන්න  ඕනෑ කියලා හිතුවේ?

මම මහත්වෙලා කියලා හුඟක් අය කිවුවා. ඒත් ඒක එච්චර ගාණක් ගියේ නැහැ. ඒත් අම්මා මාව දකින හැම වෙලාවකම කිව්වා ඔයා ගොඩක් මහත්වෙලා කැතවෙලා කියලා. අම්මා කියන්නේ අපේ ලස්සන ගැන මාර විදියට හිතපු කෙනෙක්. ඉතින් එයා එහෙම කියද්දි ඒ වචන තමයි මට වැඩිපුරම දැනුණේ. ඊට පස්සේ තමයි මම කොහොම හරි ඇඟ අඩුකරගන්නවා කියලා හිතුවේ. 

මුලින්ම පටන් ගත්තේ කොහොමද?

මම මුලින්ම ඉන්ටර්නෙට් එකේ තියෙන විදියට දේවල් කළා. එක්ස්සයිස් කළා. කෑම අඩු කළා. නමුත් මට ඒකෙන් අඩු කරගන්න පුළුවන් වුණේ ලොකු කාලයකින් පොඩි ප‍්‍රමාණයක්. ඊට පස්සේ මම දැනගත්තා අපි අත මිටමොලවගත්තාම ඒ වටා ඇති වටා ප‍්‍රමාණය තමයි අපේ අමාශයේ ප‍්‍රමාණය කියලා. එතකොට මම ඊට වඩා කොච්චර ප‍්‍රමාණයක් කෑම ගන්නවද? එහෙම හිතලා මම හෙල්දි ෆුඞ්ස්වලට මාරු වුණා. මාස දහයක් විතර. පැණිරස කෑම, පිටි සහිත කෑම සම්පූර්ණයෙන් නතර කළා. දවසකට පැය තුනක් ව්‍යායාම කළා. දැනටත් කරනවා.

එතකොට ඔබේ අලූත් ආහාර රටාව මොකද්ද?

උදේට හුඟක් වෙලාවට කරන්නේ බිත්තර වලින් හදපු කෑමක් හරි වෙජිටබල් ස්මූති එකක් හරි ගන්නවා. දවල්ට සැලඞ් එකක් හරි බඩගිනි වැඩිම නම් චපාති එකක් වගේ කනවා. ගෙදර උයන වෑංජනත් එක්ක. ඊට පස්සේ ?ට චිකන් සැලඞ් එකක් හරි සුප් එකක් වගේ දෙයක් ගන්නවා. විශේෂම දේ මම දවසට ලීටර් 4ක් විතර වතුර බොනවා. ඉස්සර මම වතුර බොන්න හරි හොර කෙනෙක්. දැන් උදේට නැගිට්ට ගමන් මම එකපාරම වතුර ලීටරයක් බීලා තමයි වැඩ පටන් ගන්නේ. මම කඩෙන් කන්නේ නැහැ. මොකද මම දන්නේ නැහැනේ කඬේ කෑමවලට මොනතරම් තෙල් ප‍්‍රමාණයක් එකතු කරනවද කියලා. මම කාබෝහයිඩ්‍රේට්, සීනි සහිත කෑම අයින් කළා. නමුත් අවශ්‍ය බර ප‍්‍රමාණය හදාගත්තට පස්සේ දැන් සමබර වෙන්න  ඕනැ නිසා මසකට දෙවතාවක් වගේ අනෙක් කෑමත් ආහාරයට ටිකක් විතර එකතු කරගන්නවා.

හුඟක් අය කියන දෙයක් තමයි කොච්චර කෑම අඩු කළත් ඇඟ අඩුවෙන්නේ නැහැ කියලා?

ඔය ප‍්‍රශ්නේ හුඟදෙනෙක් මගෙනුත් අහනවා. නොකා හිටියහම බර අඩුවෙනවද කියලත් අහනවා. කොච්චර මහන්සි වුනත් වැඩක් නැහැ කියලා කියනවා. එහෙම වෙලාවට මම අහනවා මොනවද උදේට කෑවේ කියලා? එතකොට සමහරු කියනවා වැඩි දෙයක් නෑ අනේ උදේට තේ එක බිව්වෙත් සීනි හැන්දක් විතරක් දාලා කියලා. ඉතින් මම කියන්නේ බර අඩුකරගන්න උත්සහ කරන කෙනෙක්ට ඒ සීනි හැන්දත් අනවශ්‍ය දෙයක් කියලයි. ඔබ ඒ තේ එක බොන්න  ඕනෑ සීනි නැතුව. තවත් අය කියනවා දැන් කන්නෙම නෑ ?ටත් කෑවේ නූඞ්ල්ස් චුට්ටක් කියලා. ඉතින් හුඟක් වෙලාවට ඒ කන නූඞ්ල්ස් කඩල, ග‍්‍රින්පීස් වැනි ඇට වර්ගයකින් හැදුව ඒවා නෙවෙයිනේ. රොටී, නූඞ්ලූස්, පාන් කියන්නේ පිටි සහිත කෑම. පිටිවලින් සිරුරට එකතුවෙන්නෙත් සීනී. 

තෙල්, පිටි, සීනි කියන්නෙම ලෙඩ 
නොකා නොබී හිටියෙත් නෑ 

කෙතරම් ප‍්‍රමාණයක් බර අඩුකරගත්තද?

දැන් මගේ බර කිලෝ 56 යි. ඒ කියන්නේ මම කිලෝ 46ක් බර අඩුකර ගත්තා. අද ඒ ගැන මටම පුදුමයි. මොකද මම චුට්ටක් කෑවත් මහත්වෙන කෙනෙක්. 

මේ ගානට බර අඩු කරගන්න කෙතරම් කාලයක් ගියාද?

මාස අටක් විතර. 

බර අඩු කරගන්න කලින් හිත ශක්තිමත් කරගන්න වෙනවා නේද? 
 

අනිවාර්යයෙන්. මේකට කැපකිරීම කියන්නේ අංක එක. මට බබාලා ඉන්නවා වැඩ වැඩියි වගේ කතා කිව්ව කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පැයක් හරි හොයාගන්න  ඕනෑ. මුලින්ම තමන් තමන්ට ආදරය කරන්න  ඕනෑ. ඒකට සැමියගෙනුත් බිරිඳට සහයෝගයක් අවශ්‍යයි. මට මේ දේ කරන්න පුළුවන් වුණේ සැමියාගේ සහයෝගය නිසා. හුඟක් පිරිමි විවාහ වෙන්න කලින් ගැහැනු ළමයා ලස්සනට ඉන්නවට කැමතියි. හැබැයි විවාහ වුනාට පස්සේ ඒ කැමැත්ත තිබුණත් ඔවුන්ගෙන් ඇයට ලැබෙන සහයෝගය අඩුයි. ඉතින් මුලින්ම හිත ශක්තිමත් කරගෙන වැඬේ පටන් ගන්න  ඕනෑ. ඒ වගේම නොකා හිටියා කියලත් ඇඟ අඩුකරගන්න බැහැ. එයින් වෙන්නේ සිරුර දුර්වලවීම පමණයි.

සටහන -  නයනා උදයංගනී

,  
 
  
 
   

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Previous

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි Read Next

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

Realted Post

Leave a comment