මේ දවස්වල පාඩුවේ, නිවාඩුවේ ඉන්නවා නිළි රැජින මාලිනී ෆොන්සේකා

දිනපු තැන් ගැන සතුටුයි

වැරදුණු තැන් ගැන කාටවත් දොස් කියන්නේ නෑ 

මෙරට රංග කලා පෞරුෂයේ, සිංහල සිනමා වංශකතාවේ ඉන්ද්‍රජාලිකාව ඇයයි. වසර ගණනාවක් මුළුල්ලේ සුවහසක් ජනකායකගේ ආදරය දිනමින් ප්‍රතිභාපූර්ණ රංග කෞශල්‍යකින් මනදොල මුසපත් කළ අසහාය නිළි රැජින ඇයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සිනමා ඉතිහාසයේ එදත් අදත් අමතක නොවන ගිනිසිළුවයි. දශක පහක පමණ කාලයක් පුරා චිත්‍රපට එකසිය පනහකට අධික සංඛ්‍යාවකට දුන් රංගන ප්‍රතිභාව ඊට සාක්ෂි දරනු ඇත. කලාව නම් සුවිසල් නදියේ පිපී සුවඳ හමන ඒ තඹුරු මල සමගයි සිරිකත අද සුහද කතාබහ. ඇය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙවත් හෙළ සිනමාවේ නිළි රැජිණයි.  

කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ?
විශේෂ වැඩක් නම් කෙරෙන්නේ නැහැ. කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ හරි අඩුවෙන්. මේ දවස්වල හරිම නිදහස් පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා ටිකක් විවේක සුවයෙන්.

ගෙවුණු අතීතය ගැන අද දැනෙන්නේ කොහොමද?
අපි නොදැනෙන්නම මේ වගේ වයසකට ඇවිත් ආපස්සට හැරිලා බලද්දිනේ ජීවිතේ හුඟක් දේවල් පෙනෙන්න ගන්නේ. අපේ අත්දැකීම් එක්ක හුඟක් මතකයන් තියනවා. ආපස්සට හැරිලා බලද්දි හිතෙනවා ඉතින් සමහර දේවල් ජීවිතේ දිනලා තියනවා වගේම වැරදුණු තැනුත් තියනවා කියලා. මිනිස්සු සියයට සීයක් හරි වෙන්නේ නැහැනේ. දිනපු තැන්වලදී සතුටු වෙනවා වගේම වැරදුණු තැන්වලදි මම කිසි කෙනකුට දොස් පවරන්නේ නැහැ. සමහර දේවල් තියනවා ඒවා ඒ විදියට සිදු නොවී මෙහෙම වුණා නම් කියලා හිතෙන. නමුත් ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නැහැ. උපේක්ෂාවෙන් ඒ දිහා බලනවා. ජීවිතේ වැඩිපුරම සාර්ථකත්වය තිබුණා කියන තැන මම සතුටු වෙනවා. 

කාන්තාවක්ට හුඟක් වෙලාවට තනිකම විඳගන්න අමාරුයි. ඔබට ඒ තනිකම ජීවිතේ දැනිලා නැද්ද?
පවුලක් කියලා කියන්නේ බිරිඳ, දරුවෝ, සැමියා මේ හුඟක් අය ඒක ඇතුළෙ ඉන්නවනේ. නමුත් මම ස්වාධීනව ජීවත්වෙන ගැහැනියක්. මට ඒ පවුල් බර නැහැ. වගකීම් නැහැ. බොහොම නිදහසේ ජීවත්වෙන කෙනෙක්. මගේ ලෝකය හරිම සරලයි. බොහොම පුංචියි. ඒක සංකීර්ණ නැහැ. ඒ නිසා ප්‍රශ්න නැහැ. නමුත් මේක නිදහසම කියලා කියන්න බැහැ. ඒත් මම හැරිලා බලද්දි අනෙක් අයගේ ජීවතත් එක්ක මට වෙන ජීවිතයක් තියනවා. ඒ නිසා තනිකම කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. මොකද මගේ පවුලේ නෑදෑයෝ, දරුවෝ ගොඩක් ඉන්නවා. ඔවුන් හැමෝම මගේ ජීවිතයට හරිම සමීපයි. 

අපේ සමාජයේ හුඟක් කාන්තාවෝ හිතන දෙයක් තමයි ජීවිතේ අවසන් කාලේ අපි ළඟ කවුරුහරි ඉන්න ඕනි කියලා. ගැහැනියකට තනිවම ජීවිතේ දිනන්න අමාරුයි කියලා හිතනවා. ජීවිතේ බොහෝ ජයග්‍රහණ හිමිකරගත් ගැහැනියක් විදියට ඔබට එය දැනෙන්නේ කොහොමද?
එහෙම කෙනෙක් ජීවිතේට ඉන්න ඕනෑ. ඒක හරි සුන්දරයි. නමුත් ජීවිතේ මේ ගමන යන්න තමන්ට කවුරුත්ම නැහැ කියලා වැටෙන්න තරම් දුර්වල මනසක් ගැහැනියකට තියෙන්න බැහැ. මම තනි වුණත් ජීවිතේ දිනන්න පු`ඵවන් කියන හයිය කාන්තාවක් ළඟ තිබිය යුතුයි. තමන් ළඟ කෙනෙක් ඉන්නවා නම් ඒකත් ලොකු ශක්තියක්. ඒ සම්බන්ධකම සතුටු වෙන්න පු`ඵවන් විදියේ එකක් නම් ජීවිතේට ඒක ඊටත් වඩා වටිනවා. නමුත් අපි හිතන දේම සිද්ද වෙන්නේ නැහැ. ඒ නිසා ගැහැනු අපි කවදාවත් දුර්වල විදියට හිතන්න ඕනැ නැහැ කියලා මම හිතනවා.

කාන්තාවක් විදියට තමන්ගේ ජීවිතේ සැඳෑ කාලය සතුටින් ගෙවන්න සැලසුම් කරගන්නේ කොහොමද?
අපි තරුණ කාලේ හුඟක් දේවල්වලට ආස කරනවා. විශේෂයෙන් කාන්තාවෝ. අපි ආසයිනේ ලස්සනට ඉන්න. විවිධ වෘත්තීන් විදියට ගත්තත් ලස්සන මේන්ටේන් කරන්න ඕනෑ අවස්ථා තියනවා. නමුත් අපිට මොන අවශ්‍යතා වියදම් තිබුණත් අපි හැමවෙලේම තමන් ඉන්න තත්ත්වය සහ හැකියාව අවබෝධ කරගන්න ඕනෑ. මොන විදියේ දෙයක් වුනත් ඒකෙන් ඉස්සර වෙලාම තමන් සතුටු වෙන්න ඕනෑ. කාන්තාවෝ වයසට ගියත් එහෙම ජීවත් වෙන්න ආසයිනේ. මම හිතන්නේ ඉතින් වයසට ගියත් ජීවිතේ තමන් ආස කරන විදියට ජීවත්වෙන වටපිටාව තමන් හදාගන්න ඕනෑ. ඒ ගැන හිතන්න ඕනෑ තරුණ කාලයේදීමයි. එහෙම වුණොත් ජීවිතේ සැඳෑ කාලයේ සතුට රැකගන්න පු`ඵවන්. 

ලැබුණු ජීවිතේ ගැද තෘප්තිමත්ද?
මම මගේ වටපිටාව බලලා කිව්වොත් මම ඒ ගැන තෘප්තිමත් වෙනවා. මොකද මම දකිනවා සමාජයේ බොහෝ දේවල් අහිමි වුණු පුද්ගලයෝ. අනේ මම හිතපු ජීවිතේ මට ලැබුණේ නැහැනේ වගේ දේවල් මට කවදාවත් හිතිලා නැහැ. මට ලැබුණු ජීවිතේ ගැන මම ඉතාම තෘප්තිමත්. 

අදටත් ළඟින් ඉන්න ජීවිතේ සමීපව ඇසුරු කරපු මිතුරියක් එහෙම ඉන්නවද?
මට මිතුරියෝ ගොඩක් ඉන්නවා. සමහරු අද නැහැ. සමහරු තාමත් ඉන්නවා. නමුත් මිතුරියක් කියලා සමීපව ඇසුරු කරන විශේෂ කෙනෙක් නැහැ. සමහර වෙලාවට එහෙම සම්බන්ධකම් තියාගන්න අමාරුයි. මොකද ඒකට ගැළපෙනම අයත් නැහැ. මිතුරුකම වුණත් නිදහස් මිතුරුකමක් වෙන්න ඕනෑ. එහෙම අය ඉන්නවා. ඒ අයත් එක්ක සතුටින් ගනුදෙනු කරනවා.

ජීවිතේට එල්ලවුණු අභියෝග ජයගත්තා කියලා හිතනවද?   
අනිවාර්යයෙන් ඔව්. විශේෂයෙන් සෞඛ්‍යය පැත්තෙන්. මොකද මම ඒ පැත්තෙන් ලොකු අභියෝග කිහිපයකට මුහුණ දුන්නා. මම ඒවට මුහුණ දුන්නේ කොහොමද කියලා මගේ ළඟින්ම හිටපු අය දන්නවා. ඒ ගැන ඒ අය මාව අගය කරලා තියනවා. කොහොම වුණත් ජීවිතේ කියන්නෙම අභියෝගයක් තමයි. ඒවා පහුකරගෙන හුඟක් දුර ඇවිත් තියෙනවා.

මාලනී ෆොන්සේකා කියන්නේ ජීවිතේ ලෙහෙසියෙන් ගැහැනියකට ළංවෙන්න බැරි කිරුළකට, ගෞරවයකට සහ ආදරයට පත්වුණු චරිතයක්. කොහොමද මේ හැඟීම දැනෙන්නේ?
මට ඒ ගැන තියෙන්නේ කියාගන්න බැරි නිහතමානී සතුටක්. එහෙම සතුටු වුණා කියලා මම දැන් මෙහෙම චරිතයක්නේ කියලා කිසිම වෙලාවක ඔ`ඵව උඩ තියාගෙන නැහැ. එහෙම ජීවත්වෙන්නත් අමාරුයි. සමාජෙට ගිහින් අනිත් අයත් එක්ක වැඩ කරද්දි මම නිළි රැජින කියලා මතකත් නෑ. මම ඒ වෙලාවට මාලනී ෆොන්සේකත් නෙවෙයි නිකන්ම නිකන් මාලිනී. මට තියෙන්නේ එහෙම සරල හැඟීමක්. ප්‍රේක්ෂකයින්ගේ ආදරේ අදටත් නොඅඩුව ලබන කෙනෙක් විදියට මට ලැබෙන ඒ ආදරේට මමත් හරි ආදරෙයි.

සටහන​ නයනා උදයංගනී  
     

  


 

      
    

  
  


     

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Previous

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

අංගම්වලින් හදන ඇඟක හැඩය Read Next

අංගම්වලින් හදන ඇඟක හැඩය

Realted Post

Leave a comment