වනිතාභිමානී 2022 විශිෂ්ටතම ව්‍යවසායිකාව

 

බොරදිය පීරා කබොක් ගල් කළු ගල් වැලිකැට අතර සැඟවුණු මිණි කැට සොයා යෑම, තිරිවානා ගල් සොයා යෑම තරම් පහසු නැත. 


දිරියෙන් සිය වෘත්තිය මෙන්ම ජීවිතය ජයගත් කාන්තාවන්ද එසේය. ජීවිතය ජයගත් පිරිමින් ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් එවැනි ගැහැනු විරලය. අද සමාජ කඩතුරාව බිඳ දමමින් විසිවැනි සියවසේ ගැහැනිය පිරිමියා සමග උරෙන් උර ගැටී ඉදිරියට පැමිණ ඇත්තේ තොටිල්ල පදවන දෑතටත් සෑම අභියෝගයක්ම ජය ගත හැකි බව පසක් කරමිනි. 


අද බොහෝදෙනා රටේ ආර්ථික අර්බුදය සමග ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දක්වන්නේ බියකි. එහෙත් මේ සියලුම දේවල් අභියෝග ලෙස නොව අවස්ථාවක් කර ගත් පිරිසක්ද මේ ලෝකයේ සිටිති. විශේෂයෙන් කාන්තාවක් මේ අභියෝග කෙලෙසින් භාර ගනීවිද?


මෙවර සිරිකත කවරය හැඩ කරන්නේ එම අභියෝගය අවස්ථාවක් ලෙස බාරගත් සහ එය ජයගත් දිරිය කාන්තාවකි. ඇය 2022 වනිතාභිමානී සම්මාන උලෙළේ ආයතනික හා වෘත්තීය අංශයෙන් වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව සම්මානයෙන් පිදුම් ලැබූ වරලත් ගෘහ නිර්මාණ ශිල්පීනී දිලුෂි මෙන්ඩිස් මහත්මිය යි.


දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා ලෙස මෙලොව එළිය දකින ඇය කුඩා කල සිටම චිත්‍ර සහ නිර්මාණකරණයට උපන් හපන්කම් පෑවාය. ගාල්ල ප්‍රදේශයේ කුඩා කල පටන් හැදී වැඩෙමින් අධ්‍යාපනය හැදෑරූ ඇය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක්ද වූවාය.


“මගේ අම්මා ගුරුවරියක්. තාත්තා ඉංජිනේරුවරයෙක්. පාසල් අවදියේදී මම බොහොම නිහඬ චරිතයක්. ඒ කාලේ ඉඳලාම චිත්‍ර අදින්න, නිර්මාණකරණයට ලොකු ආසාවක් වගේම දක්ෂතාවක් තිබුණා. ඒ ඒ අංශවලින් තරගවලට ඉදිරිපත් වුණා. පත්තරවලට නිර්මාණ යැව්වා. අද කාලේ දරුවන්ට වගේ නෙමෙයි අපිට එළියට එන්න තිබුණු මාර්ග හරිම සිමිතයි ඒ කාලේ. හැබැයි මට ලැබුණු ඒ සීමිත අවස්ථාවලින් මම උපරිම ප්‍රයෝජන ගත්තා. අපිට නිදහස් අදහස් එළිදක්වන්න උපරිම නිදහසක් තිබුණා.

 


 ඔබේ පාසල් කාලේ....
මම උසස් පෙළ හදාරන්නේ විද්‍යා විෂය ධාරාවෙන්. ඒත් ටික කාලයක් යද්දි මටම තේරුණා මම යන්නේ මට හරි යන මාවතේ නෙමෙයි කියලා. විද්‍යා අංශයෙන් මට විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නේ නැහැ. 


විශේෂයෙන්ම මගේ මවුපියන් කිසිම වෙලාවක දැඩි තීන්දු තීරණවල හිටියෙ නැහැ. අපි යන්න කැමැති කොයි පැත්තටද ඒ දෙන්නාම ඒකට ඉඩ දුන්නා. මවුපියන් කවදාවත් බලපැම් කළේ නැහැ. ගෘහ නිර්මාණ ශිල්පය වගේ ක්ෂේත්‍රයක් තෝරාගන්න මට ආස හිතෙන්නේ මගේ පියා නිසා. ඔහු ඉංජිනේරුවරයෙක් නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනත් ඔහුට හොඳ අදහස් තිබුණා. මගේ පියා මගේ නිර්මාණ ශක්තිය සහ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි තියෙන ඇල්ම දැකලා තමයි පියා මේ පිළිබඳ හැදෑරීම්වලට මාව යොමු කරන්නේ. එතැනින් පසුව මම ගෘහ නිර්මාණකරණ ශිල්පය පිළිබඳ උපාධිය හදාරනවා. වසර 7ක් වැනි දීර්ඝ පාඨමාලාවක් ඒක. ඒ අතරතුර කාලය ගෘහ නිර්මාණය පිළිබඳ පුහුණුවක් මම ලබා ගන්නවා. ආයතන ගණනාවකින්ම මම මගේ ශිල්පීය දැනුම අත්දැකීම් වැඩි කරගන්නවා. සියල්ල අවසානයේ මම වරලත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එකතු වෙනවා. 


ඊට පස්සේ මට ඕනැ වෙනවා සාම්ප්‍රදායික විදිහට රැකියාවකට යන්න. එතැනදී ගෘහ අභ්‍යන්තර අලංකරණය සම්බන්ධයෙන් රැකියා ස්ථාන කීපයකම මම රැකියාව කරනවා. අන්න ඒ රැකියා ස්ථාන ගණනාවකම සේවය කිරීමේ අත්දැකීම තමයි මගේ ජීවිතේ වෙනස් කරගන්න ලොකුම ශක්තිය වුණේ. එක තැනකදී මට දැනෙනවා ලොකු විශ්වාසයක් ඇතිවෙනවා මේක තමයි මට ගැළපෙනම සහ මගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් මාර්ගය කියලා.

 


 අලුත් ඇසකින් ඉදිරිය දැකපු කාන්තාවක් ඔබ, ව්‍යවසායිකාවක් ලෙස ඔබ ඔබේ පළමු පියවර තබන්නේ කොහොමද?
වසර 15 ක් විවිධ ආයතනවල ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස සේවය කරලා මට ආසාවක් එනවා. මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. 2016 දී මම සුළු ප්‍රමාණයෙන් ෘඵ ෂබඑැරසදර ිඑමාසද ආයතනය ආරම්භ කරනවා. 
මම තනියම මගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා එළියට ආවාට ඒක හිතපු තරම් පහසු වුණේ නැහැ. ව්‍යාපාරයක් ආරම්භ කරන ස්ථානයේ ඉඳලාම ගැටලු ආවා. මගේ මුල්ම ඔෆිස් එක වුණේ මගේ ගෙදර විසිත්ත කාමරය. ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පිනියක්  ලෙස මගේ ව්‍යාපාරයක් ආරම්භ කළාට පස්සේ ව්‍යාපෘතියක් හොයාගන්න විශාල උත්සාහයක් ගත්තා. ඒත් තාන්තාවක්වීම නිසාම ව්‍යාපෘතියක් දෙන්න ගොඩක් දෙනා කැමැති වුණේ නැහැ. 


මට ව්‍යාපෘති ආවේ නැහැ කියලා මම ඒ අභියෝගය කොතනකදිවත් අතහැරියේ නැහැ. ඉස්සරට තියපු අඩිය ආපස්සට ගත්තෙත් නැහැ. මොකද මට හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා. මම ගැන සහ මගේ ව්‍යාපාර හැකියාව ගැන. විශේෂයෙන් ඉදිකිරීම් වගේ දේවල් පිරිමි කරන දේවල්, ඒවා කාන්තාවකට කරන්න පුළුවන්ද  කියන සමාජ මතය බිඳින්න මට ඕනැ වුණා. කාන්තාවක්වීම නිසාම ජීවිතේට එන ප්‍රතික්ෂේපවීම් වැඩියි.


ඔය අතරෙදි මගේ ගෘහ නිර්මාණ කටයුතු දැකලා තිබුණු සොෆ්ට්ලොජික් ආයතනයේ අශෝක් පතිරගේ මහතා සහ රොමේෂ් ප්‍රනාන්දු මහතා මාව විශ්වාස කරලා මට ව්‍යාපෘතියක් දුන්නා. එය අවසන කළාට පස්සේ තමයි මට වැඩ එන්න පටන් ගත්තෙ. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඔවුන් දෙදෙනාට. ඒ ආරම්භයෙන් වසර 06කට පස්සේ තමයි නුගේගොඩ ප්‍රදේශයේ 20 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සමග ව්‍යාපාරය ආරම්භ කරන්නේ.
මගේ ආයතනය ලොකු දුරක් ඇවිත් තියෙනවා. මට මේ මාර්ගයේ එන්න මඟ පෙන්නුවේ මගේ මවුපියන්. මගේ සැමියා ගැන විශේෂයෙන් කියන්න ඕනෑ. ඔහු චින්තක දයාරත්න. ඔහුත් වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. බොහෝ සැමියන් කැමැති නැහැ තමන්ගේ බිරිඳ තමන්ව අභිබවා යනවාට. ඒත් මම හරිම වාසනාවන්තයි. ඔහු තමයි මේ ගමනේ මට ලොකුම ශක්තිය වුණේ. මාව වගකීම්වලින් පවා නිදහස් කරලා මගේ ගමන යන්න අවශ්‍ය පරිසරය හදලා දුන්නේ ඔහු. ඒවාගේම මගේ වැඩිමහල් සහෝදරයා මූලික අඩියේ ඉඳලාම මගේ ශක්තිය වුණා. ඒවාගේම මගේ කාර්ය මණ්ඩලය තමයි මගේ හදවත. ඔවුන්ගේ කැපවීම නිසා තමයි අද මේ තැන මම ඉන්නේ.


ජීවිතේ කාන්තාවක් විදිහට මම අද සාර්ථකයි. මම දරුවෝ තිදෙනෙකුගේ අම්මෙක්. ඔවුන්ගේ වැඩකටයුතු සිදුවන්නෙත් මා අතින්මයි. ජීවිතේ හැමදේටම වැදගත් වෙන්නේ කාලය කළමනාකරණය කර ගැනීමයි. 
අතීතයේ කාන්තාව රාමුවකට කොටු වෙලා හිටියාට අද ඒ රාමුවෙන් ගැහැනිය එළියට ඇවිත් තියෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා. පිරිමියාට වඩා ගැහැනිය ශක්තිය අතින් ඉදිරියෙන්ම සිටිනවා. සාම්ප්‍රදායික රාමුවෙන් එළියට ඇවිල්ලා දිනන්න නම් ධනාත්මකව හිතුවොත් අපට යා හැකි දුර මෙච්චරයි කියලා කියන්න බැහැ. වනිතාභිමානී සම්මානය මට ලැබෙන්නේ මේ හේතුව නිසයි. 

 

 


 2022 වසරේ වනිතාභිමානී විශිෂ්ටතම ව්‍යවසායිකාව බවට පත්වීම ගැන මොකද හිතෙන්නේ?
ඒ ඇගයීම ලබා දුන්නාට ඒ සියලුම ආයතනවලට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මම හිතනවා මම ආපු ගමන තව තවත් ඉදිරියට යන්න ඒ සම්මානය මට ධෛර්යයක් වුණා. මගේ ඊළඟ බලාපොරොත්තුව මගේ ආයතනය ලෝක වෙළඳපොළට ගෙනයන්නයි. මේ සම්මානය මගේ තනි උත්සාහයෙන් ගත් එකක් නෙමෙයි. මගේ කණ්ඩායමේ මහන්සියෙන් ගත් ප්‍රතිඵලයක්. මාව විශ්වාස කරලා ව්‍යාපෘති දුන් සියලුමදෙනාට ඒ ගෞරවය හිමිවෙන්න ඕනෑ.

 


 ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට ඔබට දෙන්න පුළුවන් උපදෙස්  මොකක්ද?
ගාහ නිර්මාණ ශිල්පය පිළිබඳ හදාරන්න කැමති,, වෘත්තියට එන්න ආසාවෙන් ඉන්න අයට මම කියන්නෙ පළමුව හොඳ අධ්‍යාපනයක්, පුහුණුවක් ලබාගන්න. මේක උඩින් අතගාලා කරන්න පුළුවන් වාත්තියක් නෙමෙයි. අපි මේ වාත්තිය හරහා සැබෑ කරන්නේ කෙනෙකුගේ හීනයක්. මේකෙ පැවැත්මක් හදාගන්න පුළුවන්ද කියලා හුඟදෙනෙක් බයයි. මම කියන්නේ අභියෝග කෙතරම් ආවත් වතුරට බහින්නේ නැතිව පීනන්න පුරුදු වෙන්න බැහැ. සිස්ටම් එකක්, ප්ලෑන් එකත් තියෙනවා නම් මේ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න පුළුවන්.

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්

 

අපි නිදහස්ද Read Previous

අපි නිදහස්ද

හිත සුන්දර නම් හැමදාමත් වැලන්ටයින් Read Next

හිත සුන්දර නම් හැමදාමත් වැලන්ටයින්

Realted Post

Niranjani Shanmugaraja

Niranjani Shanmugaraja

Pushpika de silva

Pushpika de silva

Happy new year - 2024

Happy new year - 2024

Leave a comment