හදවතින් තීරණ අරන් මේ ගමන යන්න බෑ

 

මිල්ලෑව වලව්ව, අහස් මාලිගා, මුතුලෙන්දොර, නීල පබළු, පිනි, සිල්ලර සමනල්ලු වැනි නිර්මාණ හරහා රංගන කෞශල්‍යය විදහා පෑ ඇය කොළඹ සන්නිය, රිටන්ස් චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ දෙමින් කලාව තුළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් ගයාත්‍රි දිසානායකය. පාර දිගේ ටෙලි නාට්‍යයේ මිෂෙල්ගේ චරිතයට පණ දෙන්නේ ද ඇයයි. 

 


කොහොමද ලැබෙන ප්‍රතිචාර?
හිතුවටත් වඩා පාරදිගේ මිෂෙල්ගේ චරිතයට ප්‍රේක්ෂකයෝ කැමැතියි. මිෂෙල් කියන්නේ සල්ලි ලැබෙනවා නම් ඕනෑම ගේමක් ගහන චරිතයක්. චරිතය සම්බන්ධයෙන් එවන අදහස් හැම එකක්ම මම කියවනවා. පාරදිගේ ටෙලි නාට්‍යය රඟපාන්න කලින් මමත් පාරදිගේ රසිකයෙක්. ඒ අතරේ තමයි මට මේ නාට්‍යයට ආරාධනා ලැබුණේ. මේක ඇත්තටම මම හිතුවෙත් නැති අවස්ථාවක්.

 


ගයාත්‍රි පාරදිගේ කණ්ඩායම එක්ක එකතු වෙන්නේ කොහොමද?
මිල්ලෑව වලව්ව ටෙලි නාට්‍යයේ රඟපාන කාලේ එහි කැමරා ශිල්පියෙක් හිටියා අංජුල මදුෂාන් කියලා. අංජුල අයියා දවසක් කතා කරලා පාරදිගේ ටෙලි නාට්‍යයට අලුත් චරිතයක් හොයනවා කියලා කිව්වා. ඊට පස්සේ අංජුල අයියාම ශිවා සර්ට මාව හඳුන්වලා දුන්නා. ඒ විදියට මිෂෙල්ගේ චරිතයට පණ දෙන්න මට අවස්ථාව ලැබුණා. ශිවා සර්, සද්ධා සර් ඇතුළු පාරදිගේ කණ්ඩායමේ හැමෝම ගෞරවයෙන් සිහිපත් කරනවා. 

 


සිනමාව පැත්තෙන් ගයාත්‍රිගේ මොනවාද අලුත් වැඩ?
නාලක විතානගේ මහතාගේ ‘ගෝලා’ චිත්‍රපටය ප්‍රධාන චරිතයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපටය මට රංගන ජීවිතයේ ලැබුණු සුවිශේෂී අත්දැකීමක්.
ගෝලා ළඟදිම තිරගතවීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව අලුත් නිර්මාණ කිහිපයකට දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

 


ඇත්තටම ගයාත්‍රි කොහොමද කලාවට එන්න පාර හදා ගත්තේ?
මගේ පාසල කඩවත විද්‍යාලෝක විද්‍යාලය. පාසල් කාලේ ඉඳලාම රංගනයට මට ලොකු ආසාවක් තිබුණා. ටෙලි නාට්‍ය බලද්දි කවදාහරි දවසක මේ විදියට රඟපානවා කියලා හීනයක් මගේ හිතේ තිබුණා.
ඒත් පාසල් මට්ටමින් ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. මොකද නාට්‍ය විෂය ඒ කාලේ අපේ පාසලේ තිබුණේ නැහැ. මම හැදෑරුවේ නර්තනය. පාසල් අධ්‍යාපනය ඉවර කරලා මහේන්ද්‍ර පෙරේරා සර්ගෙන් සහ දමයන්ති ෆොන්සේකා මිස්ගෙන් රංගනය පිළිබඳ පාඨමාලා හැදෑරුවා. 2017 දි තමයි මම මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ. ඒ තමයි ‘සංසාරා’ කියන ටෙලි නාට්‍යය.

 

 


ඔබගේ ජීවිතයේ ප්‍රතික්ෂේප වූ තැන් තියෙනවාද?
අලුතෙන් කලාව වගේ ක්ෂේත්‍රයකට ආවාම කැපිලි කෙටිලි, ප්‍රතික්ෂේපවීම්, අයුතු යෝජනා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒවාගේ දේවල්වලට ඇති තරම් මම මුහුණ දීලා තියෙනවා. කලාව ඇතුළෙ ගමනක් යනවා නම් ඒකට තියෙන්න ඕනෑ ඔළුව. හදවතින් තීරණ අරන් මේ ගමන යන්න අමාරුයි. මට ඇත්තටම මේක ඇතුළෙ තරගයක් නැහැ. මට ලැබෙන චරිත භාරගන්නේ මට පුළුවන් නම් විතරයි. ප්‍රසිද්ධ වෙන්න ඕනෑම දෙයක් කරන නිළියක් නෙමෙයි මම. මේ ගත වූ වසර ගණන තුළ මම කරපු වැඩ ගැන මට සතුටු වෙන්න පුළුවන්. මට මගේ ජීවිතේ හොඳම මෝටිවේෂන් එක වුණේ ඒ ප්‍රතික්ෂේපවීම්. මම 2017 රඟපාන්න ගත්තාම ඒ කාලේ මගේ ඇඟ ටිකක් මහතයි. රඟපාන්න දක්ෂ වුණත් තිර පරීක්ෂණවලදීි ඔයාගෙ මහත වැඩියි කියලා ප්‍රතික්ෂේප කරපු අය හිටියා. ඒ කාලේ මාව ප්‍රතික්ෂේප කරපු අය දැන්  ඔවුන්ගේ නිර්මාණවලට කතා කරනවා. උපරිම කැපවීමෙන් තමයි මම මගේ තැන හදා ගත්තේ. ඒ නිසා මම අද ඉන්න තැන ගැන සතුටුයි.

 


ගයාත්‍රි දැන් නපුරු චරිත රාමුවට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
මගේ පෙනුමත් එක්ක මට ලැබෙන්නෙම නපුරු චරිත. ආසයි වෙනස් විදියේ චරිතයක් කරන්න. 

 


පවුලේ තොරතුරු මොනවාද?
පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි මමයි. එයාලගෙන් මගේ ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් නංගි. මම බැහැ කියන තැන්වලදිත් මාව වැඩවලට තල්ලු කරන්නේ එයා. 2019 Miss Tourism International  කිරුළ ජයග්‍රහණය කරන්නත් මට හැකියාව ලැබුණා. ඒකත් මගේ නංගිගේ බලකිරීමට අයදුම් කරලා ගිය තරගයක්. 

 


මේ වෙනකොට ගයාත්‍රි වෘත්තිය මට්ටමින් රංගන ශිල්පිනියක්ද?
දැනට නම් රඟපෑම් කටයුතු හැර වෙනත් රැකියාවක් කරන්නේ නැහැ.

 

 

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්


 

අම්මයි  බබයි දෙන්න ම අවදානමේ  වැදෑමහේ ගැටලු Read Previous

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Next

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

Realted Post

Leave a comment