මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා
දින සති මාස ගෙවෙන්නේ අපි නොදැනුවත්මයි. බොහෝ වෙලාවට ඒකාකාරී වූ ජීවන රටාවකට අප හුරුව තිබෙනවා. උදෑසන අවදි වූ තැන පටන් රාත්‍රී නින්දට යනතෙක්ම දිනපතාම සිදු කරන්නේ එකම කාර්‍යයන් කිහිපයක් පමණයි. එයින් මනස විඩාවට පත්වන අතරම ශාරීරිකවද එය බොහෝ සෙයින් බලපානවා. ජීවිතය ඉදිරියට අරගෙන යද්දී ජීවිතයට සැනසුමක්, සතුටක් ගෙන එන දේවල් සිදු කරන්න අමතක කරන්න එපා.. හැමදේටම වඩා ඔබට වටින්නේ ඔබගේ ජීවිතය, සතුට සහ මානසික නිදහසයි. ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා තමන් ආදරේ කරන අය එක්ක, එහෙමත් නැත්නම් තනිවම හෝ කොහේ හරි ඇවිදින්න යන්න, මනසට සැනසීමක් ගෙන එන්න හැකි නම් එය ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වේවි.

මෙවර අපි ඔබව අරගෙන යන්නේ සුන්දර පාසිකුඩා වෙරළ තීරයට..
විදේශීය ආදරය දිනාගත් පාසිකුඩා
ශ්‍රී ලංකාවේ පවතින බොහෝ සුන්දර ස්ථානයන් අතරින් පාසිකුඩා වලටද හිමිවන්නේ විශේෂ තැනක්. මානසික සුවයක් ලබා ගන්න ගමන් විනෝද වීමට කදිම තෝතැන්නක් ලෙස මේ පාසි කුඩා වෙරළ තීරය හඳුන්වන්න පුළුවන්. බොහෝ විදේශ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගෙන ඇතිනිසා බොහෝ විට මේ වෙරළ තීරය විදෙස් සංචාරකයන්ගෙන් පිරී යනවා. මීට හේතුව වන්නේ මෙය ස්වභාවදහමේ අපූර්ව නිර්මාණයක් වීමයි.
පාසිකුඩාවට පියවර තියමු..
කොළඹ සිට පාසිකුඩා බලා ඔබ ගමන් කරනවා නම් ඔබට යා හැකි මග වන්නේ, පොළොන්නරුවට ගොස්, මනම්පිටිය පාලම පසුකර, වැලිකන්ද හරහා මඩකලපුව පාරේ වාලච්චේනට ගමන් කිරීමයි..
ඉන්පසු වාලච්චේන පොලිස් ස්ථානය ළඟින් වමට හැරී වඩුක්කොඩෙයි පසු කර පාසිකුඩා වෙත ළඟා වෙන්න පුළුවන්.
තවත් මගක්...
නුවර- මඩකලපුව හරහා ගොස්ද ඔබට පාසිකුඩා වෙත ළඟාවන්න පුළුවන්.
පාසිකුඩාවේ ලස්සන
පාසිකුඩා වෙරළ තීරයට ඔබ යනවා නම් ඇතිතරම් විනෝද වීමට සෑම අතකින්ම හැකියාව පවතිනවා.. ඊට විශේෂ හේතුව වන්නේ මුහුදේ සිට කිලෝමීටරයක් පමණ දුරක් දක්වා විහිදී යන ස්වභාවික ජල තටාකයක් පාසිකුඩා වෙරළේ දක්නට ලැබීමයි. පාසිකුඩා මෙතරම් ජනප්‍රිය වීමටත් මෙය ප්‍රබල හේතුසාධකයක් වනවා.
එමෙන්ම සැඩ රළ වලින් තොර ඉතා සෞම්‍ය මුහුදු රළක් පැවතීමද මෙහි පවතින විශේෂත්වයක්. මේ නිසා ලොකු කුඩා බාල මහලු කොයි කාටත් ආරක්ෂිතව දියට බැස විනෝද වීමට අවස්ථාව ලැබෙනවා.
කොරල්වැටිය
පාසිකුඩා වෙරළ තීරයට ආරක්ෂාවක් මෙන්ම ආකර්ෂණයක් ගෙන එන කොරල් වැටියක් ද මෙහි පිහිටා තිබීම විශේෂත්වයක්.
පාසිකුඩා යනු හුදෙක් වෙරළක්ම පමණක් නොවේ. එය නිමක් නැති වැඩ රාජකාරි මැද හෙම්බත් වූ ඔබේ මනසටත්, ගතටත් ස්වභාවදහමෙන් ලැබෙන දිව්‍යමය ඔසුවකි. නිල්වන් දිය දහරේ සිසිලස විඳිමින්, මඳ පවනේ පහස ලබමින් ගෙවන ඒ සුළු මොහොත පවා ඔබේ ජීවිතයට අලුත් ජවයක් එක් කරනු ඇත.
ඉතින්, ඒකාකාරී බවින් මිදී ඔබේ සතුට වෙනුවෙන් මොහොතක් වෙන් කරන්න. ආදරණීයයන් සමඟ හෝ තනිවම හෝ පාසිකුඩාවේ ඒ නිසල සුන්දරත්වය විඳගන්න. මනසට නිදහසත්, හදවතට සැනසීමත් රැගෙන එන ඒ සොඳුරු ගමනාන්තය ඔබේ ජීවිතයේ සුන්දරතම මතකයක් ලෙස සදාකල් රැඳෙනු නිසැකයි.
සටහන: විශ්වනී හසලා

Leave a comment