සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය

මෙවර සිරිකත ට්‍රැවල් විශේෂාංගයෙන් ඔබව එක්කගෙන යන්නේ මනස්කාන්ත වපසරියක පිහිටා ඇති ගත සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනයටයි.


සල්ගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැහැල්ලව රක්ෂිතය තුළයි. 

රක්ෂිත වන භූමියක් වන මෙම ආරණ්‍ය පහතරට තෙත් සදාහරිත වනාන්තර ගණයට අයත්ය .
 හෙක්ටයාර 1344  භූමි ප්‍රමාණයක පිහිටා ඇති වැහැල්ලව රක්ෂිතයක් බවට පත් කර ඇත්තේ වර්ෂ 1949 දීය.

සල්ගල ආරණ්‍ය සේනාසනයට රක්ෂිතය හරහා කිලෝමීටර් එකහමාරක් පමණ අතිශය චමත්කාර පාද චාරිකාවකට ළඟාවීමේ හැකියාව තිබෙනවා.

විවිධ සුන්දර තුරුලතා හා වන මල් වලින් සුවඳවත් අලංකාර වූ මෙම ආරණ්‍ය භූමිය ඉතාමත් සිත් ගන්නා සුළුයි .

එලෙසම වන මැදින් පර්වත මුදුනට ගියපසු බැලුම්ගල හමුවෙයි .

පෙර රජ දවස සතුරන්ගේ පැමිණීම පිළිබඳ සොයා බැලූ මෙම බැලුම්ගල මනස්කාන්ත වූ කඳු ශිඛර සහිත සුන්දර දසුන් ඔබේ නෙතට හමු කරවයි. 

ඒ වගේම බැලුම්ගල මුදුනට ගිය විට සිරිපා කඳු වළල්ල හොඳින් දැක ගැනීමේ හැකියාව පවතිනවා .

සුන්දර වැවක් ,පොකුණක්, මෑතදී කරන ලද චෛත්‍යයක්ද මෙහි දක්ණට ලැබෙනවා. 

 සේනාසනය පිහිටි ස්ථානයේ කටාරම් කෙටූ ගල්ලෙන් රාශියක් දක්ණට ලැබෙනවා. 

වෙහාර ලෙන, ඉසිගිරි ලෙන, පරමක ලෙන, අතු බැඳි ලෙන වැනි ලෙන් වර්ග කිහිපයක් මෙහි පිහිටා තිබෙනවා.

මෙම සෑම ලෙනකම භික්ෂූන් වහන්සේලා බවුන් වඩන සක්මන් මලු පිහිටා ඇති  කුටි තිබෙන අතර ඇතැම් කුටිවල  පිළිකුල් භාවනා සඳහා භාවිතා කරන ලද ඇටසැකිලි දක්නට ලැබේ.


ගමන් මාර්ගය. 

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනයට ගමන් කරන මාර්ගය ගැන කතා කිරීමේදී ,

අඟුරුවැල්ල, වරකාපොළ පාරේ ගලපිටමඩ හරහා මෙන්ම  නිට්ටඹුව හංවැල්ල පාරේ නිට්ටඹුව සිට කිලෝමීටර් හයක් පමණ පැමිණ අත්තනගල්ල හන්දියෙන් හැරී අල්ගම හරහා තවත් කිලෝමීටර් දහතුනක් පමණ ගමන් කර පසු ගලපිමඩට  පැමිණ තවත් කිලෝමීටර් හතරක් පමණ  දුෂ්කර මාවතක ගමන් කර පසු මෙම ආරණ්‍ය සේනාසනයට පිවිසීමේ හැකියාව තියෙනවා.

 

ආරණ්‍ය  සේනාසනය සම්බන්ධව ඇති ජනප්‍රවාද.


ජනප්‍රවාදයේ පවතින පරිදි අනුරාධපුර රාජධානියේ රජකම් කළ වළගම්බා රජුන් සතුරු ආක්‍රමණවලින් ගැළවීම සඳහා සල්ගල සැඟවී ඇති බව ජනප්‍රවාදය පැවතෙන්නෙකි.

රජතුමා සල්ගලට පැමිණීමටත් පෙර සිටම භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළ බවට සාධක හමුවී තිබෙනවා. 


ඒ වගේම වළගම්බා රජුගේ මඟුල් ඇතා බැඳ ඇති ස්ථානයේ පිහිටා ඇති ලෙන ඇතු බැඳි ලෙන නමින් සඳහන් කොට ඇති බව ජනප්‍රවාදවල  සඳහන්වේ. 


භාවනායෝගීව වැඩ සිටින ස්වාමීන් වහන්සේලා මෙහි සිටින බැවින් ඔබ මෙහි සුන්දරත්වය වගේම මෙහි තිබෙන පින්බර බව දෑසින් දැක ගැනීමට ගිය විට භාවනායෝගී භික්ෂූන් වහන්සේලාට බාධකයක් නොවන ලෙස ඔබ මෙම සේනාසනය නැරඹීමට වගේම එහි වටපිටාවේ තිබෙන පිරිසිදු බව ආරක්ෂා කර නැවත පැමිණීම ඔබේ වගකීමයි.

සිත නිවා පහන් කරවන
සල්ගල ආරණ්‍ය සේනාසනය 

සටහන
මහේශානි මීගහපොල


විශේෂ ස්තූතිය
සංචරණය හා ආගන්තුක සත්කාර විෂය භාර ආචාරණී 

තරින්දි අබේසිංහ

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Next

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

Realted Post

Leave a comment