කිරි අම්මාවරු දනට වඩිනවා.....

පත්තිනි දේවියගේ පිහිට පතන කිරි අම්මා දානය

අතීත ඇවතුම් පැවතුම් අනුව සිදු කරන්නා වූ පිළිවෙත් අද සමාජයෙන් ගිලිහි යමින් පවතිනවාට වඩා නූතන මෝස්තර ක්‍රමවේද ඊට එකතු වී සංකරවීමක් දකින්නට ලැබේ.

එයට ප්‍රධානම හේතුව වශයෙන් සමාජ මාධ්‍ය තුළින්   විවිධ රටවල හා විවිධ පළාත්වල පවතින්නා වූ තත්ත්වයන් අද සැණෙකින් සමාජගතවීම යැයි කිව හැකි ය. අප සංස්කෘතිය තුළ පැවතියා වූ පුද පුජා ක්‍රමවේද ද මෙම නූතන  සංකරතාවට හසුවී විවිධ ආකාරයෙන් ප්‍රදර්ශන අංගබවට පත්වෙමින් තිබේ. මේ අතර අතීත ගැමිසමාජය තුළ තිබුණු ප්‍රධානම දානමය කටයුත්තක් වූ “කිරි අම්මා දානය” අද විවිධ පුද්ගලයෝ සංදර්ශන සහිත අංගයක්බවට පත් කරගෙන සිටිති.

පත්තිනි මෑණියන් වන්දනීයත්ව තැන්හී තබා සිදු කරනු ලබන  කිරි අම්මා දානය පැරණි සිරිත් චාරිත්‍ර අනුව නිවරැදිව  සිදු කරන ආකාරය අපි අද සොයා බලමු.

මෙහි අතීත කතා රැසක් ඇති බැවින්... මෙය ඉතාම කෙටි හැඳින්වීමකි.

කිරි අම්මා යනු කවුද?

කිරි මවක් ලෙස සලකනු ලබන්නේ දරුවෙක් වෙනුවෙන් දෙතනින් කිරිදෙනු ලබන මවකටය. ඇය කිරි දෙනු ලබන්නේ කුළුඳුල් දරුවාට නම් තවත් විශේෂත්වයක් ඇති බව ඇතැම් පළාත්වල විශ්වාසයක්ද පවතින අතර ඇතැම් ප්‍රදේශවල කිරි මවක් ලෙස දරුවන් කිහිප දෙනකු වැදු මවුරුන් සුබ යැයි විශ්වාසයක් පවතී.

මෙහිදී එම මව අංගවිකල, අශුද්ධ,දුරාචාරී, හා ස්වාමියා මිය ගිය තැනැත්තියක්වීම කිරි දානයකට වාඩීවීමට නුසුදුසු ලෙස කියාපාන්නියක් ලෙස සැලකෙන අතරම පිරිමියෙකුගේ මෙන් මුහුණේ රැවුල ඇති කාන්තාවන් ද මස් මාළුවිකුණන හෝ මත්පැන් පානය කරන කාන්තාවන්, කේලාම් කියමින් උනුන් කොටවන කාන්තාවන් මෙම කටයුත්තට නුසුදුසු ලෙස සලකනු ලබයි. 

කිරි අම්මා දානයට සුදුසු කාලය වේලාව

හිරු එළිය පොළොවට පතිතවීමට පෙරාතුව ආරම්භ කරන මෙම කටයුත්ත සිදු කිරීම කොස්නැටි පෙනෙන ආලෝකයේදී ආරම්භ කොට විනාඩි හතළිස් නවයකට පමණ පැයකට ආසන්න කාලයක් ඇතුළත අවසන් කළ යුතු වේ. ජනවහරේ කියැවෙන අයුරින් කහ කැටේට ඉර පෑයීමට පෙර මෙය නිම විය යුතු වේ.  එහිදි එක් පත්තිනියකට විනාඩි හත බැගින් වෙන් කොට තැබීම යැයි කියැවේ.

පළමුව කිරි අම්මාවරුන්ගේ දානය සඳහා සුබ සහ කිළි රහිත දිනයක් තෝරා ගතයුතු වේ. අතීතයේදී විශේෂයෙන් සෙනසුරාදා මෙවැනි ආකාරයේ දින තෝරා බේරා වෙන් කර ගත්තද මේ වන විට නිවාඩුව හා  පහසු දින මේ සඳහා යොදාගනු ලබයි.මෙසේ තෝරා ගන්නා දිනයට  දින තුනක් කලින් සිටවත් නිවැසියන් මස් මාළුවලින් තොර නිර්මාංශ විය යුතුය.

මෙසේ දානයට තෝරා ගත් දිනයට පෙර දින හවස ගෙහිමි කාන්තාව විසින් ඒ සඳහා තෝරා ගත් කිරි අම්මාවරුන් සත්දෙනාගේ  නිවාසවලට ගොස් බුලත් කොළයක් පිරි නමා ආරාධනා කිරීම සිදු කරයි.

කිරි අම්මාවරුන්ගේ දානයට සකස් කරන කැවිලි

කැකුළු හාල් කිලෝ 7 ක කිරිබතක් (කිරිබත් කැට 56)

කිලෝ 2 ක කිරියා (කැබලි 56)

කැකුළු හාල් කිලෝ 2 ක හැදි කැවුම්(කැවුම් 56)

ඇඹුල්කෙසෙල්  ගෙඩි 56 ක්

මීට අමතරව පහත දේවල්ද සුදානම් කරගත යුතුය.

කිතුල් හකුරු කෑලි 8 ක්

පඬූරු 8 (කාසි) ක්

බුලත් විට 8 ක්

කෙසෙල් කොළ 7 ක්

ලොකු බෑග් 7 ක්

මැටිපහන් 08 ක්

කෝපි කෝප්ප 08 ක්

කපුරු පෙත්තක්

පහන්තිර 15 ක්

වර්තමානය වන විට කාසි පඬුරුවලට අමතරව අම්මාවරුන් හට පිරිකරක්ද පුජා කරන බැවින් එය දානය පුද දෙන අයගේ කැමැත්ත අකමැත්ත අනුව සිදු කරනු ලබයි.

කිරි අම්මා දානය හා පිළිවෙත් විශ්වාස සිරිත්...

මෙසේ සුදානම් කර ගන්නා දානය කපුටන් හැඬීමට පෙර දී අවසන් කළ  යුතු යැයි පැරණි විශ්වාසයක් පවතී. එමෙන්ම දානය නොඉඳුල්ව තබාගත යුතු බැවින් එහි ලුණු ඇඹුල් බැලීමවත් සිදු නොකරනු ලබන අතර ආහාර පිසීමට අත්ගුණයෙන් දක්ෂකම් ඇති අය රස ආදිය ප්‍රමාණයෙන් දැනුවත්වීම මගින් එය මනා ලෙස සිදු කරයි.

කිරි අම්මාවරුන්ට දානය දීමට හේතු වශයෙන් බොහෝ සලකනු ලබන්නේ කුඩා දරුවන්ගේ රෝගාබාධ අවස්ථාවල සිදුකරනු ලබන භාරවීම් හේතුවෙනි. මෙසේ භාරවීම සිදු කරන්නේ පත්තිනි මෑණියන්ට වන අතර භාරවීම බොහෝ සිදු කරන්නේ ගෙවත්තේ ඵලදැරූ පොල් ගසක ගොක් කොළ වළල්ලක් බැඳ දෙවියන් උදෙසා වෙන් කිරිමෙනි. ඒසේ ගොක් බැඳි ගසේ කිසිදු ඵලයක් නිවැසියන් හෝ ලේ නෑදෑයින් පරිහරණය නොකරන අතර මෙම ගොක් වළල්ල නිදහස් කරනු ලබන්නේ කිරි දානයෙන් අනතුරුවය. ගොක් බැඳීමේ මෙම චාරිත්‍රය මේ වන විට ඒවෙනුවට පඬුරක් ගැට ගසා භාරවීම සිදු කරනු ලබන අතර භාරය නිදහස් කරන තුරු එම පඬුර උස් තැනක තැන්පත් කරනු  ලබයි. භාරය නිදහස් කර එම පඬුර ලෙහා දමන අතර පැරණි සිරිත අනුව භාරය වූයේ ගොක් බැඳීමෙන් නම් භාරය නිදහස් කරන්නේ ගොක් බැඳි ගසෙන් පොල් කඩා නොයිඳුලේ තෙල් සිඳ එම තෙල්වලින් දානය නිමා කිරිමෙන් අනතුරුවය.

කිරි අම්මාවරුන් නිවසට පිළිගැනීම හා  දානයදීම

කිරි දානයට මොහොතකට පෙර නිවස පිරිසිදු කර සුදුහඳුන් සමග කහ දියර  පොල් කිරිවලට මිශ්‍රකර නිවසේ සෑම තැනම ඉසීම සිදු කර සුවඳ දුම් ඇල්ලීම සිදු කරයි. නිවස දොරකඩ කහදියර මිශ්‍රණයකට කපා දැමූ දෙහි දමා බඳුනක් තැබීම සිදු කරන අතර එයින් මුහුණ අත් පා සෝදා ගෙන එලූ පාවඩ අතරින් කිරි අම්මාවරුන්ට පැමිණීමට සිදුකරනු ලබයි. මේ පිළිබඳ කියැවෙන කවි අතර මෙසේද ඇත.

පිරිසුදුවට පිරිවට ඇඳ පේ වෙන්නේ

දානෙට සත්දෙන එන බව දන්නේ

පත්තිනි දෙවියොත් සමඟ වඩින්නේ

කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ

 

කිරි අම්මාවරුන් අතර එක් අයෙකු ප්‍රධානත්වය ගෙන කටයුතු කරන අතර  එම  ප්‍රධාන කිරි අම්මා නිවසට ඇතු`ඵ වෙන්නේ පත්තිනි සළඹ හා පත්තිනි මෑණියන්ගේ රුවක්ද රැගෙනයි.

පත්තිනි සළඹ හා පත්තිනි රුව ඒ වෙනුවෙන් වෙන්කළ ස්ථානයක තැන්පත් කරනු ලබයි. ඉන්පසු ගෘහමූලිකයා බුද්ධ පුජාව,ගිලන්පස බුදුරාජාණන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව පන්සිල් ගෙන බුද්ධ වන්දනාවෙන් පසු පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජා ආරම්භ කරනු ලබයි.

කිරි අම්මාවරුන්ට භාරයවීමට ආතුර හේතුව ප්‍රමුඛ කොට ගෙන සෙත් ශාන්තිය සිදු කරන අතර මෙහිදී පැමිණි සියලුම මවුවරුන්ගේ ආශිර්වාදය ආතුරයා වෙත ලබා දෙන අතර ගායනා කරනු ලබන කවි හා ආශිර්වාද ගාථා හඬ නගා කියැවීම අම්මාවරුන් අතර ප්‍රධාන කිරි අම්මා විසින් සිදු කරනු ලබයි.

වර්තමානයේ නොයෙකුත් සංදර්ශන අංග හා ඇඳුම් ආයිත්තම් සහිතව මෙම සාම්ප්‍රදායික චාරිත්‍ර හැඩවීම සිදු කර ඇති අතර එවැනි අංගයන් ද මානසික සුවයකට යම් පිටුබලයක් ඇති වී තිබෙන අයුරු දකින්නට තිබේ.

(සටහන සේයා රූ - විශ්ව ගැමුණු ප්‍රියංකර)

 

 

 

 

 

 

 

 

 

 

දරුවාට ලස්සන දත් Read Previous

දරුවාට ලස්සන දත්

දරුවාට ලස්සන දත් Read Next

දරුවාට ලස්සන දත්

Realted Post

Leave a comment