කාන්තා හඬට නායකත්වයක් රැගෙන ’’ තේජා ’’ තිරයට පිවිසෙයි.

මෙවර සමරණ ලෝක කාන්තා දිනයට සමගාමීව , නිලන්ත හපන්වීර තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය  කළ " තේජා " චිත්‍රපටය  එළැඹෙන මාර්තු මස 07 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගත වීමට නියමිතව ඇත . සම්මානනීය ප්‍රවීණ  රංගනවේදිනී නීටා ප්‍රනාන්දු අභියෝගාත්මක රංගනයක නිරත වන " තේජා" , නීටා ප්‍රනාන්දු ගේ හැටපස් වසරක සිනමා දිවිය සමරමින් තිරගත වීමද විශේෂිත වේ .සූරා කෑමට ලක් වූ කාන්තා කම්කරුවන් විසින් මෙහෙයවන ලද  1982 - 1985  වියරු අරගලය මෙම සිනමා නිර්මාණයට වස්තු බීජය වී ඇත . එම කාල වකවානුවෙ දී නිදහස් වෙළඳ කලාපීය ඇඟලුම් කම්හල් තුල ක්‍රියාත්මක කරන ලද ප්‍රීඩාකාරි කළමණාකරණ උපක්‍රම , මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙන්ම දුක්ඛිත සේවා කොන්දේසි හා සමාජ අසාධාරණයට එරෙහිව තම සහෝදර සේවක කම්කරු සොයුරියන් වෙනුවෙන් අභීතව නැගී සිට සටන් කර , සේවක අයිතීන් දිනා ගැනීමට වෙර දැරූ ඇඟළුම් කම්හල් සේවිකාවක ගේ ජීවන අන්දරයයි " තේජා "  .මෙහිදී , කම්කරු අරගලය නැවැත්වීමට පාළක පක්ෂය ගන්නා මැර උත්සාහයත් , එම අභියෝගයන් හමුවේ තම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා තේජා ඇතුළු කන්ඩායම දරණ ප්‍රයත්නය මෙතුලින් පෙන්වා දී ඇත .මෙහි තේජා ලෙස රංගනයෙන් එක්වන නීටා ප්‍රනාන්දු ට අමතරව , මහේන්ද්‍ර පෙරේරා , අනුරුද්ධිකා පාදුක්කගේ , චමිලා පීරිස් , අයිරාංගනී සේරසිංහ , සුජානි මේනකා , අතුල පතිරණ , ශ්‍රීමාල් වෙඩිසිංහ ඇතුළු ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායකව ඇත . කැමරා අධ්‍යක්ෂණයෙන් කාවින්ද රණවීර , සංස්කරණයෙන් ස්ටැන්ලි ද අල්විස් , සහය අධ්‍යක්ෂණයෙන් චන්දන ඉරුගල්බණ්ඩාර , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , නිෂ්පාදන කළමනාකරණයෙන් සරත් වීරසේකර , සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ , ගීත රචනයෙන් වසන්ත කුමාර කොබවක සහ ගීත ගායනයෙන් උමාලි තිලකරත්න එක්වී ඇති " තේජා" නීටා ප්‍රනාන්දු ,සුරංග ද අල්විස් හා මහීල් ආර් .පෙරේරා එක්ව නිෂ්පාදනය කර ඇත . මෙය සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකී.

  • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment