ප්‍රියන්ත නාවලගෙන් නත්තල් ගී ත්‍රිත්වයක්

විවිධ මාදිළියේ ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කර ඇති  ප්‍රවීණ සංගීත නිර්මාණවේදී ,  ගැලැක්සීස් සංගීත කණ්ඩායම්  සාමාජික ප්‍රියන්ත නාවලගේ විසින්  මෙවර නත්තල් සැමරුම වෙනුවෙන් නත්තල් කැරොල් ගී ත්‍රිත්වයක් නිර්මාණය කර ඇත.  

සෑම වසරකම කිතුනු ගීත නිර්මාණය සඳහා වැඩි ඉඩක් ලබා දෙන ප්‍රියන්ත විසින් මේ වන විට නිර්මාණය කරන ලද කිතුනු හා නත්තල් කැරොල්  ගීත ප්‍රමාණය පනහකට ආසන්නය. සිරස නිර්මාණය කළ සුපර් ස්ටාර් තරු රැසකට නත්තල් ගීත නිර්මාණය කර ඇති  ඔහු ,  මේ දිනවල නිතරම ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වන දිමංක  වෙල්ලාලගේ ගායනා කරනු ලබන  "ජේසු ජේසූ ඔබ මාගේ රජු වේ" යන ගීතයේ ද  නිර්මාණකරුවා  වෙයි. ඔහු මෙවර නිර්මාණය කරන ලද  නත්තල් ගී අතර , ගැලැක්සීස්  සංගීත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ ගීතය  විශේෂිත  වන බව ඔහු පවසයි.

"මැදියම් රෑ හඬ නංවන සීනු නාදයයි

 අඳුරු රෑ  අඳුර දුරලන තරු එළි ජේසු උපත කියයි 

සුරඟන ගී මුමුණනවා  ගුවනේ තටු සල සලා

 ගොපලු බැටළු සුරකිනවා ජේසු බිලිඳු වටවෙලා" 

 මෙම ගීතය ගැලැක්සීස්  සංගීත කණ්ඩායමේ නායක රෝයි ප්‍රනාන්දු සමගින්  අජිත් පෙරේරා , චමින්ද විමලසේන සහ ප්‍රියන්ත නාවලගේ විසින් ගායනා කරනු ලබයි. මෙය විචිත්‍ර  රූප රචනාවක් සමගින් රූපවාහිනී නාළිකා  හා  සමාජ මාධ්‍ය තුළින් රසවිඳීමට අවස්ථාව සලසා ඇත.  

"තරුවක් වෙලා පායා ඒ රැයේ

 සුසුමන් නිවාලූවා මිනිසත් ළයේ

 විරුවෙක් උනා බිහි වී මැදියම් රැයේ

 දරුවෙක් නොවේ දෙවියෙක් ඉපදී තියේ"

 ගීත ගායනය සංගීත ආචාරිනී විශාරද පද්මිණී කළුආරච්චි

 "දුර ඈත අතීතේ දවසක ජුදා පුරවරේ

 කැදලි කරා විහගුන් ඇදෙනා කලබල නගරේ

 බෙත්ලෙහෙමේ ගම්මානෙක ගොපළු පරපුරේ

 නවාතැනක් සොයා ඇදෙනා යුවළකි අඳුරේ"

 
මෙම ගීතය ගායනා කරනු ලබන්නේ , මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන , අයිවන් ප්‍රනාන්දු සහ නිලන්දි ප්‍රනාන්දු  යුවළ විසින් වන අතර ,  එරටදී නිර්මාණය කළ  දර්ශනීය රූප රචනාවක් සමගින් සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ  ගීතය රසඳීමට   ඔවුන් විසින් අවකාශය සලසා ඇත. මෙම ගීත ත්‍රිත්වය ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් පද රචනය කර ඇත. කිතුණු නත්තල් කැරොල් හා කණ්ඩායම් ගී රැසක් නිර්මාණය කර සංගීත ක්ෂේත්‍රයේ  මෙන්ම ,  චිත්‍රපට  හා ටෙලි නාට්‍යතුළින් රසවත් ගීත රැසක් නිර්මාණය කර  ගීත ශ්‍රාවකයා හට තිළිණ කළ  ප්‍රියන්ත නාවලගේ සංගීත ශිල්පියාට සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනකට සුබ  පැතුම්.

මහනුවර හින්දු  කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා  ඖෂධීය  රසම් පාන  දන්සැලක් Read Previous

මහනුවර හින්දු කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා ඖෂධීය රසම් පාන දන්සැලක්

මහනුවර හින්දු  කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා  ඖෂධීය  රසම් පාන  දන්සැලක් Read Next

මහනුවර හින්දු කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා ඖෂධීය රසම් පාන දන්සැලක්

Realted Post

Leave a comment