State of Journalism 2026 වාර්තාව එළිදක්වයි

Mark and Comm’ ආයතනය විසින් දෙවන වරටත් පවත්වනු ලබන ‘ශ්‍රී ලාංකේය මාධ්‍යයේ හඬ’ (Sri Lanka Media’s Voice) සමීක්ෂණය තුළින් මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අභිමානය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමට ඔවුන් තුළ පවතින උනන්දුව මෙන්ම වැටුප්, රැකියා සුරක්ෂිතතාව සහ මාධ්‍ය වෘත්තීයට අදාළ අභියෝග රැසක් පිළිබඳව අවධානය යොමු කර තිබේ. 
 
එම ආයතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යකරණයේ වත්මන් තත්ත්වය’ (State of Journalism in Sri Lanka 2026) වාර්තාවට අනුව, වසරකට පෙර පැවති තත්ත්වය හා හා සැසඳීමේදී වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සතු සිය වෘත්තිය පිළිබඳ අභිමානය සහ ගෞරවය ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ පැවැත්වූ සමීක්ෂණයේ දී, ජනමාධ්‍යකරණය මෙරට ගෞරවනීය වෘත්තියක් ලෙස පිළිගත් පිරිස ප්‍රතිශතයක් වශයෙන් 55%ක් ලෙස සටහන් ව තිබූ අතර, එය මෙවර 77%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එමෙන්ම, ජනමාධ්‍ය වෘත්තියේ අනාගතය පිළිබඳ අසුබවාදී ආකල්ප දරන මාධ්‍යවේදීන්ගේ ප්‍රතිශතය ද පහළ ගොස් තිබීම මෙහිදී කැපී පෙනුනි. සාම්ප්‍රදායික ජනමාධ්‍යකරණය ක්‍රමක්‍රමයෙන් අභාවයට පත් වෙමින් යන බව විශ්වාස කරන පිරිස පසුගිය වසරේ දී 43%ක් ලෙස වාර්තා වූ අතර,  මෙවර එහි ප්‍රතිශතය 25%ක් දක්වා පහළ ගොස් තිබේ.
 
2026 නොවැම්බර් 18 වන දින, Mark and Comm ආයතනයේ කණ්ඩායමක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය හමුවී, මෙම පර්යේෂණ වාර්තාව ඇය වෙත පිළිගන්වන ලදී. එහිදී  එම වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.
 
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ  ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කොට සිටියේ, මෙවැනි පර්යේෂණ සිදු කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන් වන අපට ඉතා වැදගත් වන බවයි. එමඟින් මාධ්‍යවේදීන් මුහුණ දෙන සැබෑ අභියෝග සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය පිළිබඳව ඔවුන්ගෙන්ම සෘජුවම තොරතුරු දැනගැනීම තුළින් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බව පෙන්වා දුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ඇතිව නිවැරදි තීරණ ගැනීමට ද එය උපකාරී වන බවයි.
 
මෙම වාර්තාව Mark and Comm ආයතනය විසින් සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන් කේන්ද්‍ර කරගනිමින්  සිදු කරන වාර්ෂික සමීක්ෂණයේ දෙවන අදියරයයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍යයන්හි සේවය කරන වාර්තාකරුවන්, කර්තෘවරුන්, නිෂ්පාදකවරුන් සහ නිදහස් මාධ්‍යවේදීන් 44 දෙනෙකුගේ ප්‍රතිචාර මෙම වාර්තාව සඳහා පාදක කරගෙන ඇත. ඒ අනුව මෙම සමීක්ෂණය 2026 සැප්තැම්බර් මාසයේ දී සිදු කරන ලදී. 
 
මෙම සමීක්ෂණයට අනුව බොහෝ ජනමාධ්‍යවේදීන්, සිය රැකියාව පිළිබඳව ධනාත්මක ආකල්ප වලින් පසුවන බව පෙන්නුම් කරන අතර ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 56% ක් සිය රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව සෑහීමකට පත් වී තිබේ. 
 
එමෙන්ම 48% ක් සිය භූමිකාවන් පිළිබඳව තෘප්තිමත් බව පෙන්නුම් කරයි. නමුත් තෘප්තිමත් නොවන පිරිස පිළිබඳ විමසා බැලීමේ දී, එහි අගය 18% ක් ලෙස සටහන් වේ. තරුණ පරපුරට වෘත්තියක් ලෙස ජනමාධ්‍යවේදය තවමත් නිර්දේශ කරන බව තිදෙනෙකුගෙන් දෙදෙනෙකු පැවසුවත්, ඔවුන්ගෙන් බහුතරයක් පෙන්වා දෙන්නේ මෙම වෘත්තිය තෝරා ගැනීමට පෙර ඒ පිළිබඳව මනා අවබෝධයකින් පසුවිය යුතු බවයි. 
 
ඉහත සඳහන් කළ කරුණු කාරණාවලට අමතරව  ස්වාධීන ස්වයං-නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම හරහා විශ්වසනීයත්වය සහ නිරවද්‍යතාව පිළිබඳ ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට 70%ක පිරිසක් අපේක්ෂා කරයි. දැනටමත් ස්වයං-නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුව ද, එය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පවතින බව 58%ක් පෙන්වා දෙයි. මෙහිදී, කරුණු සත්‍යාපනයේ දුර්වලතා (fact-checking) සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීම ප්‍රධානතම ආචාරධාර්මික ගැටලුව ලෙස 61%ක් විසින් හඳුනාගෙන තිබේ.
 
ඊට අමතරව, සංවේදීකරණය (sensationalism) සහ පක්ෂග්‍රාහී වාර්තාකරණය ද සැලකිය යුතු ආචාරධාර්මික ගැටලු ලෙස 57%ක් විසින් පෙන්වා දී තිබේ. මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තිකයන් සිය වෘත්තියට සමාජයේ ගෞරවයක් හිමිවන බව පිළිගත්ත ද, මහජනතාවගේ පූර්ණ විශ්වාසය සහ ඇගයීම තමන්ට ලැබෙන බව විශ්වාස කරනුයේ ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණි. මේ අනුව, මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කිරීම (verification) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව මින් මනාව පැහැදිලි වේ.
 
මීට අමතරව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 73%ක් මාධ්‍ය ආයතනවල පැවැත්මට හා ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධාන ගැටලුවක් ලෙස මූල්‍ය ස්ථාවරත්වයක් නොමැතිකම හඳුනාගෙන තිබේ. මෙහිදී හතරෙන් තුනකට ආසන්න පිරිසක් සිය සේවය වෙනුවෙන් වැටුප් ලබාගැනීමේ ප්‍රමාදයන්ට මුහුණ දී ඇති බව  සඳහන් කර තිබුණ අතර සාධාරණ හා කාලෝචිත වැටුප් ගෙවීම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවිය යුතු අත්‍යවශ්‍ය වෙනසක් ලෙස පසුගිය වසරේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 24%ක් හඳුනාගෙන තිබුණි. එය මෙම වසරේ දී 48%ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. 
 
වාර්තාකරණය හේතුවෙන් කිසියම් අවස්ථාවක තර්ජන, බිය ගැන්වීම් හෝ නීතිමය බලපෑම්වලට මුහුණ දී ඇති බව අඩකට ආසන්න පිරිසක් පවසා ඇති අතර, කාන්තා ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂක හෝ සේවා ස්ථාන අවදානම්වලට මුහුණ දීමට සිදුවන බව 73% ක් විශ්වාස කරයි. සිය සේවා ස්ථානය මගින් කිසියම් ආකාරයක මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබා දෙන බව 63% ක් පැවසුව ද, එය ඵලදායී බව පැවසුවේ 21% ක් පමණි. ඒ අනුව, පවතින වැඩපිළිවෙළ වඩාත් ඵලදායී හා ශක්තිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙයින් අවධාරණය වේ.

ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් Read Previous

ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම්

2026 - තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් දිනාගනී. Read Next

2026 - තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශුරතාවය කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම් දිනාගනී.

Realted Post

Leave a comment