මාතරින් ගිහින් ප්‍රංශ රිදී තිරය හොල්ලන ලක්ෂාන්ත අබේනායක

 

“මම උණවටුන සංචාරක හෝටල් තුනක් හදල තියෙනවා. අන්තිම එකේ වැඩ කටයුතු නිම කළේ ඊයේ පෙරේදා. මෙහි සැකැස්ම අලංකරණ කටයුතු නිර්මාණ ශිල්පය ඔක්කොම මගේ අදහස අනුවයි කෙරුණේ.”
මෙසේ පවසන්නේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ සිටි වෘත්තීමය සංචාරක හෝටල් ව්‍යාපාරිකයකු නොවේ.


වසර 88 - 89 භීෂණ සමයේ ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රංශයට පලා ගිය මාතර තරුණයෙකි. ප්‍රංශයේ පුංචි තිරයේ ජනප්‍රියම ටෙලි නාට්‍ය තරුවකි. සිනමා තරුවකි. නමින් ලක්ෂාන් අබේනායකය.


“මගේ නම ලක්ෂාන්ත පස්සේ උච්චාරණය පහසුවෙන්න ලක්ෂාන් කියල නම හදාගත්තා.” ඔහු කීවේය. පසුගියදා සති කිහිපයකට ලංකාවට පැමිණ සිටි ලක්ෂාන් ආපහු ප්‍රංශය බලා ගියේ ගිවිසුම්ගතව ඇති ඔහුගේ ටෙලි නාට්‍ය හා සිනමා කටයුතුවල නිරතවීමටය.


 “මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. යුරෝපයේදී රංගනය සලකන්නෙ ඉහළම වෘත්තියක් හැටියට. ප්‍රංශයේ හැටියට බැලුවම අපි  දූවිලි යට තියෙන අංශුවක්.


අනෙක යුරෝපයේ ඉගෙන ගන්න අමාරුම භාෂාවක් තමයි ප්‍රංශ. මම ප්‍රංශයට ගියේ 1990 දී. ගිය හැටියෙම ප්‍රංශයේ ජීවත්වීම සඳහා මට ප්‍රමාණවත් දේවල් තිබුණේ නෑ. ඉන්න හිටින්න තැනක්, ජීවත්වීම සඳහා රැකියා බලපත්‍ර, ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීම මේ හැම දෙයක්ම අභියෝගයක්.


 ගොඩවෙන්න තැනක් නැති වුණාම අපි නොහිතන තැන්වලට තල්ලුවෙනවා. ඇත්තම කියනවා නම් මට ප්‍රංශයේ රංගන ශිල්පියෙක් වීම සඳහා හීනයක් දකින්න වත් අයිතියක් තිබුණේ නෑ.” ඔහු දිගටම කතා කරයි.
ඉතින් කොහොමද නළුවෙක් වුණේ?


එක්තරා අවස්ථාවකදී මට ප්‍රංශ මහත්මයෙක් හමුවුණා. ඔහු මගෙන් ඇහුවා ඔය තරම් හොඳට ප්‍රංශ කතා කරන්නෙ කොහොමද කියලා. ඊට පස්සේ ඇහුවා මොනවද බලන ටෙලි නාට්‍ය කියලා. මම ප්‍රංශයේ තියෙන ටෙලි නාට්‍යයක නමක් කීවා. එතකොට ඔහු කීවා මම තමයි ඒ ටෙලි නාට්‍යය හදන්නේ කියලා. ඔන්න ඔහොමයි  ‘ලෙ මිස්ටේයා ද ලවුර්’ (ද මිස්ටර් ඔෆ් ලව්) ටෙලි මාලාවේ නිෂ්පාදකවරයා මට හමුවෙලා රඟපාන්න අවස්ථාව ලැබුණෙ.


මෙම ටෙලි වෘතාන්තය ආරම්භ වී දැනට වසර 32 ක් පමණ වෙයි. ලක්ෂාන් මෙම ටෙලි නාට්‍යයට සම්බන්ධ වී ඇත්තේ 2000 වසරේදී ය. 


මේ ටෙලි වෘත්තාන්තයේ මාව තෝරා ගත්තා කීවම මම එකපාරටම රඟපාන්න ගියේ නෑ. මම ප්‍රංශයේ පිග්නලියන් නාට්‍ය පාසලට ඇතුළත් වුණා. එම පාසලේ මාස 8 ක් රංගනය ගැන හැදෑරුවා. 


ලක්ෂාන් ප්‍රංශයේ ටෙලි හා සිනමා නිර්මාණ 40කට පමණ රංගන දායකත්වය සපයා ඇත. මෙයින් 20 ක් පමණ ටෙලි මාලා නාටක වෙයි. මම තාමත් මගේ මුල්ම නාට්‍යයේ රඟපානවා.


ඔහු රඟපෑ චිත්‍රපට අතර චොක් දි චිත්‍රපටයද මුල් තැනක් ගනී. චොක් දි යන්නෙන් ඉංග්‍රීසි තේරුම් ‘ගුඩ් ලක්’ යන්නයි. එහි ලක්ෂාන් රඟපාන්නේ ලෝක කික් බොක්සිං ශූරයා වන ඩිඩා සමගය.


 වසර 33 ක් තිස්සේ ප්‍රංශයේ ජීවත් වන ලක්ෂාන් මාතර ඉපිද මාතර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. අපොස සාමාන්‍ය පෙළ සමත්ව ඔහු උසස් පෙළට පෙනී සිටීමට බලාපොරොත්තු විය. එහෙත් ඊට පෙර භීෂණය ආවේය.


“මාතර ඉඳලා ජීවිතේ බේරාගන්න ගිය මට මගෙ කළුහම නොසලකා මාව ප්‍රංශයේ ජනතාව පිළිගත්තා. මගේ ඇඟේ කලාව පිහිටල තියෙනවා කියල දැනුණම සතුටක් දැනෙනවා.”


දැන් මම ප්‍රංශයේ ලියාපදිංචි සිනමා රංගන ශිල්පියෙක්. මට රක්ෂණයක් තියෙනවා. විශ්‍රාම වැටුපක් තියෙනවා.


ප්‍රංශයේ පුංචි තිරය හා රිදී තිරය හොල්ලන රංගන ශිල්පියකු වූ ලක්ෂාන් 2013 දී සිංහල චිත්‍රපටයකට අත ගැසුවේය. එය මයිල්ඩ් ඔෆ් ඩි්‍රම් විය. එය කොළඹ පැවැත්වූ ලෝක චිත්‍රපට උලෙළේදී ද ප්‍රදර්ශනය විය.


“මම ඒ චිත්‍රපටයට කෝටි ගණනක් යට කළා. මම ඒ දේවල් කළේ ලාභයක් ගන්න නෙමෙයි. ඒ චිත්‍රපටය තාම තියෙනවා ඊට පස්සේ ‘දුස්රා’ නමින් සිංහල චිත්‍රපටයක් මම නිෂ්පාදනය කළා. මම මේ දේවල් කරන්නෙ වෙළෙඳපොළ අල්ලන්න නෙමෙයි. මගෙන් රටට විය යුතු සේවයක් හැටියට යි.”


රොඩ්නි විදානපතිරණ 


 

ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ Read Previous

ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Next

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

Realted Post

Leave a comment