සිනමාවේ ටෙලි තිරයේ මෙන්ම වේදිකාවේ ද අමරණීය මතක රැසක් දැයට තිළිණ කළ නිහාල් ප්‍රනාන්දු දිවි සැරිය නිම කරයි.

ප්‍රකට හා ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙකු වන නිහාල් ප්‍රනාන්දු අද දින අභාවප්‍රාප්ත වූ අතර මියැදෙන විට ඔහු 71වියෙහි පසුවූවේය. 

සයිමන් නවගත්තේගමගේ "ස්ත්‍රී" නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු "සුබ සහ යස", "සුදු සහ කළු", "ඒකාධිපති", "පණ්ඩුකාභය", "අංගාරා ගඟ ගළා බසී" ඇතුළු වේදිකා නාට්‍ය රැසක රංගනයෙන් දායක විය. 

"අඹරාවක්", "උඩුගංබලා", "නේරංජනා", "අන්තඃස්වරය", "වංශක්කාරයෝ", "කුලැත්තියෝ" සහ "අක්වැස්ස" වැනි ටෙලිනාට්‍ය රැසක් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ඔහු එම නිර්මාණ කිහිපයකම මෙන්. "කඩවර", "රන්තාලිය වලව්ව", "තෙත් සහ වියලි", "ගෞතමී", "පින්න හරි සැරයි", "හැන්ඳෑවක්", "බොරදිය කඳුර", "තරු කැට අහුරක්" වැනි අමරණීය ටෙලි නාටය ගණනාවක කළ චරිත ද මතකයෙන් නොගිලිහෙන සේම ආසන්නතම වශයෙන් ඔහු දක්නට ලැබුණේ හිරු නාලිකාවේ විකාශය වූ "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලිනාට්‍යයෙනි. 

"විරාගය" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු "උමයංගණා", "සුදු සෙවනැළි" යන චිත්‍රපටවල රංගනයෙන් දායක විය. මෑතකාලයේ දී ඔහු සිනමාවේ රැඟූ චරිත අතර "ආලෝකෝ උදපාදී" චිත්‍රපටයේ පුලහත්ථ සෙනෙවියාගේ චරිතයත් සහ "මායා" චිත්‍රපටයේ රාමු අයියාගේ චරිතයත් මතකයේ රැඳෙනසුළු ය. "ආමන්තය" චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට එහි ප්‍රධාන චරිතය නිරුපණය කළා සේම එහි පසුබිම් ගීතය වූ අජන්තා රණසිංහයන් ලියා සුනේත්‍රා සරච්චන්ද්‍ර සංගීතවත් කොට නිහාල් ප්‍රනාන්දු හා එක්ව ගැයූ "තාරුකා නිවා" නම් ගීතයෙන් ද ඔහු සිය බහුවිධ හැකියාවන් මනා සේ නිරූපණය කළේය. 

 

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Previous

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Next

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

Realted Post

Leave a comment