නව සූර්ය වර්ෂයත් සමඟ ඉදිරි කාලය ඔබට කොහොමද?


 
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත් වන්නේ කුම්භ ලග්නයයි. 2025  සූර්ය වර්ෂය ආරම්භ වෙද්දි ලංකාවට කුම්භ ලග්නාධිපති කේන්ද්‍රස්ථානය වී  ඇත. කේන්ද්‍රස්ථාන ගත වන්නේ ස්ථාවර ස්ථානයකය. වත්මන් ආණ්ඩුවට ඔවුන් බලය තිබෙන පලියට ඔවුන් ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණය කිරීම ගතහොත් ඔවුන් අසාර්ථක වනවා පමණක් නොව ලෝක අපවාදයටත් ලක් වනු ඇත. විපක්ෂය දුබල කරගනිමින් නව බලවේග මතුවේ. පාර්ලිමේන්තුවෙන් පිටත රැඩිකල් කණ්ඩායම් ඉස්මතු වනු ඇත.  කෙසේ නමුත් දේශපාලනමය වශයෙන් රටේ කලබැගෑනි රාශියක් මතුවීම ඉඩකඩ පවති. බෝ වන රෝග තත්ත්වයන් ඇතිවිය හැකියි.   ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියට ජන ජීවිතයට බලපෑමක් ඇතිකළ හැකි ආකාරයේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන්ද දුෂ්කරතා වගේම යම් අර්බුද පැන නැගිය හැකිය.  රාජ්‍ය පාලකයන්ට පුරවැසියන්ට වෙනදා ට වඩා අවධානයක් යොමු කර පැමිණිය හැකි  අනතුරු වළක්වාගැනීමට නිසි පියවර ගැනීමේ හැකියාව ඇත.  
   කෙසේ නමුත් සිංහල අලුත් අවුරුද්ද  උදාවත් සමග ඔබ උපන් ලග්නයට මෙම වර්ෂය තුළ ජ්‍යෝතිෂමය වශයෙන් ඇතිවන යහපත අයහපත ගැන කෙසේදැයි විමසා බලමු. 

 

මේෂ - ආකර්ශණය වැඩිවෙයි 
 
2025  මාර්තු සිදුවුණු සෙනසුරු මාරුවත් සමග මේෂ ලග්න හිමියන්ම මෙම ජීවිතේ යහපත් ලෙස සදහන් කළ හැකියි. කෙසේ නමුත් මෙය සුබ පලට පාවිච්චි කළොත් සාර්ථකය. වැරදිව පාවිච්චි කළොත් තිබුණු තැනටත් වඩා පහලට වැටිය හැකිය. සෙනසුරු මේෂ ලග්නකරුවන්ගේ කේන්දරයේ 12 වැන්නට පැමිණීම  බැලූ පමණින් ඒරාෂ්ඨකයක් ලෙස නම් කළත් මුලින්ම කිව යුත්තේ ඔබ ඒරාෂ්ඨක භීතියට ලක් නොවිය යුතු බවයි.ඒ වගේම විකල්ප පීඩා දායක ගමනක හිටපු රාහු ග්‍රහයා බලවත්ම  ස්ථානය වූ  කේන්දරේ එකොළොස් වැන්නට පිවිසෙයයි. සෙනසුරු ග්‍රහයා තුන්වැන්නට ගමන් කරයි. මුදල් සම්බන්ධව යම්කිසි වෙනසක් විය හැකියි.  උත්සාහයෙන්, කැපවීමෙන් මෙම තත්ත්වය වෙනස් කර ගැනීමටත් එය යහපත් පැතිකඩකට හරවා ගැනීමටත් තමන්ටම හැකියාව ලැබෙනු ඇත. රාහු එකොළොස් වැන්නට පිවිසීමත් සමග හදිසි ධන ලාභ, විශේෂයෙන් රැකියාව, වෘත්තීය කටයුතු , අධ්‍යාපනය, සමාජ දේශපාලන කටයුතු සහ තමන් කරන ඕනෑම දෙයක හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. මැණික් පතල් ආශ්‍රිත රැකියාවක් කරනවා නම් ඉතාම සුබපල ලැබෙයි. ඔබේ ආකර්ෂණය වැඩිවෙයි. තනිකඩ කෙනෙක් නම් අලුත් ආදර සම්බන්ධතා ඇතිවිය හැකියි. සමස්ථයක් ලෙස ගතහොත් මේෂ ලග්න හිමියන්ගේ රැකියාවේ හොද තත්ත්වයක්, ආදායම් මාර්ගවල හොඳ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ. සෞඛ්‍ය පිළිබඳ කතා කිරිමේදී නිදන්ගත මට්ටමේ අජීර්ණ රෝගාබාධ, උදරාබාධ ඇතිවිය හැකියි. ඒ වගේම යම් යම් චර්ම රෝග හටගැනීමේ අවකාශයද මේෂ ලග්න හිමියන්ට වැඩි  බැවින් සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. 

සුබ වර්ණය- රතු සහ නිල්
ජය වර්ණය - 7, 2


වෘෂභ -  සෑම අංශයකින්ම සුබ පල

          සෙනසුරු මාරුවෙන් වගේම  අවුරුදු ග්‍රහචාරය අනුව වැඩිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ වෘෂභ ලග්න හිමියාටය. මන්ද සෙනසුරු ගමන් කරනුයේ ඔවුන්ගේ කේන්දරයේ බලවත්ම ස්ථානය වන 11 වැන්නටය. දිගු කාලයක් තිස්සේ රැකියාවක් සොයමින් සිටියේ නම් ඒ අයට රැකියා අවස්ථා ලැබේ. රැකියා උසස්වීම් ලැබේ. ව්‍යාපාරවලට සුබ කාලයකි. පොත් පත් ලියන ලේඛකයන්ට ඉතාම සුබ කාලයක් වන අතර ඒ අයගේ නිර්මාණවලට හොඳ පිළිගැනීමක් ලැබෙනු ඇත.  ඒ වගේම විවාහ ජීවිතයකට යාමට බලාපොරෙත්තුවෙන් සිටින අයට ඉතා හොඳ විවාහ යෝජනා පැමිණෙන කාලයකි. කෙසේ නමුත්  සෑම අංශයකින්ම මෙම සෙනසුරු මාරුව වෘෂභ ලග්න හිමිකරුවන්ට ඉතාම හිතකරය. ඉදිරි කාලසීමාව තුළ රාහු කේතු මාරුව සිදුවෙයි. ඒ ග්‍රහ මාරුද  ඉතාම සුබපල දෙයි. ඒ වගේම  යුග ජීවිතය සම්බන්ධයෙනුත් ස්ථාවර ධනය  සම්බන්ධයෙනුත් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙනුත් , ද්වීපාර්ශීය ගනුදෙනුවලදීත් වෘෂභ ලග්න හිමියාට පෙර නොවූ විරූ උසස් තත්ත්වයක් අත්පත් වේ. වෘෂභ ලග්න හිමියන්ගේ යුග ජිවිතයට, විවාහයට ඉතාම සුබය. අධ්‍යාපනික වශයෙන් පසුගිය කාලයේ පසුබෑමක් තිබුණත් මේ වන විට ඒ අහිතකර පිහිටීමත් අවසන් වී ඇති හෙයින් මේ වසරේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වේ. මේ වසර වෘෂභ ලග්න හිමියන්ගේ වසර ලෙස හැදින්වීම ද වරදක් නැත.

සුබ වර්ණය -තැඹිලි පාට සහ රතු
සුබ අංකය- 4,6


මිථුන - සමාජයේ  ඉහළම පිළිගැනීමක්

       අලුත් අවුරුද්ද මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයට ඉතා බලවත් ලෙස බලපායි. මැයි මාසෙන් පසුව තිබෙන ග්‍රහ මාරුව සමග ගුරු ග්‍රහයා ලග්නයට ගමන් කරයි. රැකියා වෘත්තීය සම්බන්ධව බෙහෙවින්ම පරිස්සම් විය යුතු කාලයකි. ඊට ප්‍රධානම හේතුව  කිසියම් ක්ෂේත්‍රයක නිරතව සිටියා නම් එම ක්ෂේත්‍රයේම ඉතිරි වසරක කාලය ගත කිරීම ඔවුන්ට හැම අතින්ම සුබදායකවීමයි.   රැකියා මාරු කිරීම , ස්ථාන මාරු කිරීම , පීඩාකාරී තත්ත්වයක් ඇති කළ හැකියි. ඒ නිසා ඔබ දැන් ඉන්න තත්ත්වයේ ම සිටීම හෝ දැන් කරන රැකියාවේම නියැලුන හොත් අභියෝග ජයගන්න පුළුවන්. ව්‍යාපාරික වශයෙන් අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින අයට ද මෙම කාලය ඉතාම සුබපල ගෙන දෙයි. සමාජයේ නායකත්වය ගෙන කටයුතු කරන මිථුන ලග්න හිමියෙකු නම් ක්‍රීඩා, දේශපාලන, පරිපාලන, ආරක්ෂක අංශ වැනි ක්ෂේත්‍රයන්හි නියැලී සිටින අයට වෙනදාට වඩා සමාජයේ කැපි පෙනෙන මට්ටමක් පෙන්නුම් කරනු ඇත.  ඒ වගේම තමන්ගේ රැකියාවේ උසස්වීමක් හෝ රැකියා  ස්ථිරභාවයක් අපේක්‍ෂා කළ මිථුන ලග්න හිමියන්ටත් මෙය සුබදායක අවස්ථාවක් වේ. එමෙන්ම නිර්මාණශීලීව කැපී පෙනෙන විදිහට තමාගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙයි. දේපල ලැබීම් ඇත. විවාහ ජීවිතයේ වෙනදාට වඩා සැනසිලි දායක තත්ත්වයක් ඇතිවනු ඇත. තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදනවා නම් මේ ඊට හොඳම කාලය යි. ණය දීම්වලින් පරෙස්සම්වන්න. 


 ජය වර්ණය -කොළ 
 ජය අංකය-  2,6


කටක – විදෙස්ගත වෙන්න සුබයි 

කටක ලග්නය හිමි ඔබට සෙනසුරුගෙන් සිදුවන පීඩාකාරී තත්ත්වයන් පසුගිය කාලය තුළ තරමක ඉහළ තත්ත්වයේ පැවැතුනත් සෙනසුරු මාරුවෙන් පසු ඔවුනට ලබා තිබූ අෂ්ටම සෙනසුරු ඒරාෂ්ටකය දුරු වී යහපත් කාලයක් ඇතිවීමට නියමිතය. ඒ වගේම ඉදිරියේ තවත් ග්‍රහමාරු දෙකක් සිදුවීමට  නියමිතව ඇත.  රවි, බුධ, ශනි, සිකුරු, රාහු ඔබගේ නම වැන්නේ පුණ්‍යස්ථානයේ ගමන් කරයි. ගුරු  අයස්ථානයේ ගමන් කරන බැවින් මුදල් ලැබීම් සම්බන්ධව හොඳ පසුබිමක් ඇතිවෙයි. හදිසි ධන ලාභ හිමි වේ.  ජීවිතයේ ලබා ගැනීමට නොහැකි වූ බොහෝ දේවල් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. අධ්‍යාපනයට, විදේශගත වීමට ඉතාම සුබ වන අතර විදෙස්ගත වීම් ප්‍රමාද වූවා නම් ඒවාද සාර්ථක කරගත  හැකි වනු ඇත.  විදෙස් ශිෂ්‍යත්ව මාර්ග විවෘත වනු ඇත. මානසිකව උසස් තත්ත්වයකට යෑමේ හැකියාව පවතී. නීතිමය කාරණා සම්බන්ධයෙන් යම් තීන්දුවක් ලැබිය යුතුව තිබුණා නම් එය ඔබට වාසිදායක අයුරින් හමුවනු ඇත. ගුරුගේ පිහිටීම සුබයි. යම් සිත්තැවීම්, වැඩ අධිකවීම්, වැඩ තහනමකට ලක්වීම්, නීතිමය ගැටලු තිබුණා නම් ඒවා සියල්ලම සමනයට පත්ව සුබපල අත්කර දෙයි. නිලතල නම්බුනාම ලැබීම් හිමිය. 

ජය වර්ණය - සුදු
සුබ වර්ණය- 1, 5


සිංහ - ඉතා වාසනාවන්ත කාල සීමාවක්
  

      සූර්ය වර්ෂය පුරාම වැඩිම මත භේදයකට ලක්වන ලග්නය වන්නේ සිංහ ලග්නයයි. සෙනසුරු 8 වැන්නට පැමිණීම නිසා අනියත බියක් හටගෙන ඇති අතර  කිසිම කෙනෙක් සෙනසුරු 8 වැන්නට පිවිසීම සතුටක් ඇති කර ගැනීම මිස ඒ ගැන විපතක් හැටියට සැලකීම නොකළ යුතුය.  රැකියාව පැත්තෙන් අනපේක්ෂිත වැටුප්, උසස් තනතුරු ලාභාංශ සහ කලක් තිස්සේ පැවතුණු නඩු කටයුත්තකින්  ජයලැබීමේ වාසනාව ඇත.   කේතු ග්‍රහයා දෙවැන්නේ ධනස්ථානයේ ගමන් කරයි. මුදල් ලැබීම් ඇත.  නමුත් ශනිමහ දසා අතුරු දසා ගත කරන අයට මුදල් ගනුදෙනුවලදී මෙන්ම වියදම් කිරීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ණය මුදල් දීමේදී මෙන්ම පොලියට මුදල් ගැනීමේදී පරෙස්සම් විය යුතුය. ඒ වගේම අධ්‍යාපනය ලබන්නන්ට ඉතාම සුබ කාලයකි. විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයට හොඳ විවාහ යෝජනා ලැබීම් තිබුණත් ඉවසිලිමත්ව බුද්ධිමත්ව  කටයුතු කල යුතු වෙයි. ඒ වගේම මෙම කාල සීමාව තුළ  කල්ගත වුණු රෝගවලින් සුවය ලැබීමේ හැකියාව ද පවතී.මෙම කාලය තුළ ඔබට ගුප්ත ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත. නිදන්ගත රෝගවලින් පෙලෙන අය වඩාත් සැලකිලිමත් විය යුතු වේ. 

ජය වර්ණය - තැඹිලි
සුබ වර්ණය- 8, 6


කන්‍යා - හොඳ මිතුරන් ඇතිවෙයි

     කන්‍යා ලග්නයේ කේන්දරයේ  7 වැන්නට ඉතාම උච්ඡ අවස්ථාවක සූර්ය වර්ෂය ආරම්භ වෙයි.  මෙය පෙර නොවු විරූ කදිම අවස්ථාවකි.  හොඳ මිතුරන් ඇතිවන කාලයකි. තම ආත්ම විශ්වාසය ඇතිවන කාලයකි. රැවටීම්වලට හසුවිය හැකි නිසා හැමදේකින්ම කල්පනාකාරීව කටයුතු කළ යුතුවෙනවා.  විවාහවෙන වයස ප්‍රමාද වූ කන්‍යා ලග්න හිමියන්ට හොඳ විවාහ යෝජනා ලැබේ.   විදේශගතවීමට වාසනාව උදා වනු ඇත.   දරුපල බලාපොරොත්තුවෙන් සිටි අයටද ඒ ප්‍රාර්ථනා සපල වේ. කල්ගත වූ නඩු කටයුතු වාසිදායක  වීමේ වාසනාව ඇත. ඒ වගේම හවුල් කටයුතුවලට ඉතා සුබ කාලයකි. දෙසැම්බර් මාසය දක්වා රැකියා, ව්‍යාපාර ආශ්‍රිත හොඳ පසුබිමක් ඇතිවෙයි. රැකියා උසස්වීම් ලැබීමේ වාසනාව ඇත. අලුතෙන් ව්‍යාපාර මෙන්ම ස්වයං රැකියා ආරම්භ කිරීමටත් සුබ කාලයක් වනු ඇත. ගෘහ ජීවිතය විවාහ ජීවිතය ගැන කතා කරනවා නම් සෙනසුරු මාරුවත් සමග ශනි ග්‍රහයා හත් වැන්නට ගමන් කර තිබෙනවා. මෙම තත්ත්වය අවුරුදු දෙකහාමරක් පවතී. හත්වැන්නාධිපති ගුරු ග්‍රහයා දසවැන්නේ ගමන් කරයි. මේ නිසා විවාහ ජීවිතේ දුරස්වීම් ඇතිවෙන්න පුළුවන්. ඉවසීමෙන් බුද්ධිමත් තීරණ අරගෙන වැඩ කටයුතු කිරීම වැදගත් වේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය අනෙක් පාර්ශවය ගැන සොයා බලා ඒ තීරණවලට යාම සුදුසු වේ. ඊට හේතුව රැවටිලි කාරයන්ට, වංචාකාරුවන්ට හුසුවිය හැකි බැවිනි. විවාහ ජීවිතය සම්බන්ධයෙන් කලබල නොවී බුද්ධිමත්ව තිරණ ගත යුතුය. 

සුබ වර්ණය- තද කොළ
සුබ අංක – 5 


තුලා - දේපළ ලැබීම් 
  
      සූර්ය වර්ෂය ආරම්භ වන්නේම තුලා ලග්න හිමියන්ගේ කෙන්දරයේ නිරිත දිශාව ඉතා බල සම්පන්නව තිබියදීය . විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් තුලා ලග්න හිමියෙක් සිටි නම් විදේශ ගත වීමට වගේම  ලංකාව තුළ සිටිමින් ද විදෙස් මුදල් , විදෙස් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය ඇත. සංචාරක සහ තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට ඉතාම හොඳ කාලයකි.  පිරිස් පාලනයට සම්බන්ධ රැකියා කරන තුලා ලග්න හිමියන්ට ඒ අයගෙන් කාර්යක්ෂම ඵලදායික සේවයක් ලබාගැනීමට හැකියාව පවතී. මිත්‍ර සම්බන්ධතා තුළ නායකත්වය හිමි වේ. කාලය හොඳ වුණත් ඔබ තීරණ ගැනීමේදී වැඩි අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු අතර වැරදි තීරණ ගැනීමෙන් සුබ පලය සම්පූර්ණයෙන් කණපිට හැරිය හැකිය. විශේෂයෙන් ප්‍රේමය විවාහය සම්බන්ධයෙන් වැරදි වැටහීම් ඇතිවිය හැකි අතර ඒ ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුය. ගර්භාශගත රෝගවලින් පෙලෙන අය සිටී නම් නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර කළ යුතු ය. ගින්දර, රසායන ද්‍රව්‍ය,  ගෑස් විදුලියෙන් ප්‍රවේසම් විය යුතුය. කෙසේ නමුත් පසුගිය කාල සීමාවට වඩා හොඳ කාලසීමාවක් ඉදිරියට ලැබෙයි. ගුරු ග්‍රහයා නමවැන්නේ ගමන් කරන නිසා ඉවසිලිවන්තව කටයුතු කිරීමත් යහපත් වේ. පෙර පිං බල වැඩි වේ. දේපල සම්බන්ධයෙන් ලැබීම් ඇත. ගෘහ ජීවිතය යහපත් ය. හදිසි කෝපය ඇතිවිය හැකි නිසා බුද්ධිමත් ව කටයුතු කිරීමට වගබලා ගත යුතු වේ. 

ජය වර්ණය- නිල් පාට
ජය වර්ණය- 1, 3 


වෘශ්චික - හදිසි ධන ලාබ හිමිවෙයි  
         
      වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ සෙනසුරු මාරුවත් සමග විජයග්‍රාහී වසරක් ලෙස හැඳින්විය හැකියි. අධ්‍යාපනයට ඉතාම සුබය. තරග විභාග ඉහලින් ජයගැනීමේ ශක්තිය ඇතිවනු ඇත. ප්‍රේමයට, විවාහයට සම්බන්ධයෙන් කතා කිරීමේදී බාධා තිබුණා නම් සෙනසුරුගේ මාරුවත් සමග ඒ ප්‍රශ්නවලට හොඳ පිලිතුරු ලැබෙන කාලයකි.  කාලයක් තිස්සේ ඔබ බලාපොරොත්තු වූ විදෙස් ගමන් කටයුතු ද මෙම කාලසීමාව තුළ සාර්ථක කර ගැනීමේ හැකියාව ඇත. කෙහොම වුණත් ඔබට අලුත් දෙයක් ආරම්භ කරන්න හොඳ කාලසීමාවක් ලෙසත් මෙම කාලය හඳුන්වා දිය හැකිය. දේපල උරුමකම් ඇත. වෘශ්චික ලග්න හිමියන් තමන්ගේ ශාරීරික සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙයි. ධන ලාබ හිමි වේ. ව්‍යාපාර ලාබ ලැබීම් ඇත. ගෘහ ජීවිතයේ සුබ පල ගෙනදෙයි. 7 වැන්නේ ගුරු ග්‍රහයා ගමන් කරයි. 7 වැන්න අධිපති සිකුරු උච්චව ගමන් කරයි. සිකුරු සහ ගුරු ග්‍රහයාගේ මාරුවීමක් සිදු වේ.  දරුවන්ගේ වැඩකටයුතුවලදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. ලේඛන කටයුතු මාධ්‍යයට සම්බන්ධ රාජකාරි කරන අයට වෙනදාට වඩා කාර්යයබහුල තත්ත්වයක් ඇතිවෙයි. සුබ අසුබ මිශ්‍රපල සහිත වේ. 

සුබ වර්ණය- තද රතු
ජය අංකය- 6 ,8

ධනු - විජග්‍රහාහී කාල සීමාවක්

     වෘෂභ, තුලා හැරන කොට පසුගියදා ගෙවුන සෙනසුරු මාරුවෙන් තවත් සුවිශේෂම ජයග්‍රණ ලබන ලග්නය වන්නේ ධනු ලග්නයයි. සූර්ය වර්ෂය තුල ද විජයග්‍රාහි ලග්නයක් ලෙස ධනු ලග්නය හැඳින්විය හැකිය. ඔවුන්ගේ කේන්දරයේ බලවත් ග්‍රහ පිහිටීම් ගණනාවක් සිදු වෙමින් තිබෙනවා.  ලේඛන කලාව සම්බන්ධ රැකියා කරන ධනු ලග්න හිමියන්ටත් ඉතාම සුබ කාලයකි.  ඔබට තිබූ ඉඩකඩම්, දේපළ සම්බන්ධ ප්‍රශ්න විසඳෙයි. නොවිසඳුණු ඉඩකඩම්, දේපළ ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇති අතර නිවසක් හදාන්නට බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඊට සුදුසුම කාලය මෙයයි.  යාන වාහන සම්බන්ධ බලාපොරොත්තු ඉටු වේ. බලවත් පුද්ගලයන්ගේ ඇසුරට ලැබේ. දේශපාලනයට සම්බන්ධ අයට සුබපල ඇති වේ. ප්‍රේම සම්බන්ධතා ස්ථාර විවාහ දක්වා සාර්ථක කරගැනීමේ අවස්ථාව උදා වේ.  රැකියා ව්‍යාපාර කටයුතුවලට ඉතාම සුබදායකය. රැකියා උසස් වීම්වලට අවහිර වී තිබුණු දොරවල් විවෘත  වෙයි.  අලුතින්  ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් තිබුණා නම් මේ කාල සීමාම ඉතාම සුබ කාලයක් වෙයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබීම් ඇත. හිතේ සැනසීමෙන් කාලය ගත කරන්න ලැබෙන කාලයකි. විවාහ ජීවිතය සුබය. ප්‍රේම සම්බන්ධතා තිබෙන අයට වැඩිහිටියන්ගෙන් ආශිර්වාද, දරුපල වාසනාව උදා වේ. විදෙස් ගමන්වලටද ඉතාම සුබ කාලයකි. 

සුබ වර්ණය- සුදු සහ නිල්
ජය අංකය- 9 ,2 


මකර – ජනප්‍රියත්වය හිමිවෙයි 

        වෘෂභ, තුලා, ධනු හැරුණු කොට ගෙවුණු සෙනසුරු මාරුවෙන් වැඩිම සුබපල අත්වන ලග්නය වන්නේ මකරයි.  මේ කාලය  මකර ලග්න හිමි ඔබට ඉතාම සුබ කාලයකි. පහුගිය කාලසීමාවේ අතපසු වූ, මඟහැරුණු, කරගත නොහැකි වූ, බොහෝ දේවල් සිදුකර ගැනීමේ හැකියාව වගේම වාසනාව හිමි වේ. ආර්ථික තත්ත්වය යහපත් කාලයකි.  සැඟවුණු දක්ෂතා, සැඟවුණු පෙර පින් එළියට එන කාල සීමාවකි. කලාව සංගීතය, සිනමාව , පුවත්පත් මාධ්‍ය කලාව වැනි ක්ෂේත්‍රවල නියැලෙන මකර ලග්න හිමියන්ට ජනප්‍රියත්වයක්, ආකර්ෂණයක් හිමි වනු ඇත . කාන්තාවන්ට විශේෂයෙන් ගර්භාශගත රෝග , ඔසප් චක්‍රය ආශ්‍රිත රෝග අශ්‍රිතව රෝග හට ගත හැකි බැවින් ප්‍රවේසම් විය යුතු කාල සීමාවක් වේ.  ප්‍රමාද වූ විවාහ කටයුතු  වගේම විවාහ වන වයසේ සිටින අයට හොඳ විවාහ යෝජනා ඉදිරිපත් වේ.  අලුතින් ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නා අයටද ඉතාම යහපත් වේ.  ජීවිතේ  මෙතෙක් පැවති සියළු බාධාවන් ඉවත් වී සෑම අතකින්ම ජයග්‍රහණ අතිවන කාලයකි. ලංකාව ඇතුළත් පිටතටත් ගමන් බිමන් යෙදෙයි. තමන්ගේම ව්‍යපාර ආරම්භ කිරීමට සිටියා නම් ඒ කටුයුතු වලටත් ඉතාම සුබ කාලයකි. රැකියා ස්ථානයේ කලකිරිම් තිබුණා නම් ඒවාට සැනසිලිදායක කාලයක් උදා වේ. අප්‍රේල් 14 වෙනිදායින් පසුව රවි  ග්‍රහයා උච්ච වන නිසා උසස් වීම්, නිලතල ලැබීම් ඇත. රැකියාව අහිමි වී ව්‍යාපාර කඩාවැටි තිබුණා නම් එවා නැවතත් මල්පල ගැන්වෙයි. දේපල ඉඩකම්වලට උරුමකම් කීමට වගේම හදිසි ධනලාබ වලට හිමිකම් කීමට භාග්‍යය උදා වනු ඇත. 

සුබ වර්ණය- නිල් සහ සුදු
සුබ අංකය- 7, 2

කුම්භ - සමාජයෙන් ගෞරවය  

         උදාවන සූර්ය වර්ෂය කුම්භ ලග්න හිමියන්ගේ  මෙතෙක් අවහිර වුන ධනෝපායන මාර්ග සියල්ල විවෘත වී අලුතින් ධනෝපායන මාර්ග දොරටු විවෘත වනු ඇත.  අධ්‍යාපනයෙන්  ඉහළම ජයග්‍රණ ලබන කාලයකි. පසුගිය කල සීමාව තුළ අධ්‍යාපනික වශයෙන් පසුබෑමට ලක්වුණා නම් තරග විභාගවලින්  අසමත් වුණා නම් නැවත ඒවාට ඉල්ලුම් කිරීමෙන් ජයග්‍රහණ ලබාගත හැකිවනු ඇත. සාර්ථක යුග ජීවිතයකට හිමිකම් කියනු ඇත. ඒ වගේම සමාජයෙන් ලැබෙන ගෞරවය වෙනදාට වඩා වැඩි වශයෙන් ලැබේ. දේශකයන්ට ගුරුවරුන්ට මේ කාලය ඉතාම සුබ කාලයකි.  ධනස්ථානය බලවත්ව ගමන් කරන නිසා ආර්ථිකය යහපත් තත්වයක පවතී. ඉතිරි කිරීම් වර්ධනය කරගැනිමට හැකියාව ලැබේ. මැයි මාසයෙන් රාහු කේතු ගුරු මාරුවෙන් පසු  ආර්ථිකය තවත් යහපත්වනු ඇත.  රැකියාවේ සිත් තැවුල් තිබුණා නම් , ආයතනයේ වැඩ කරන අයත් සමග හිත් අමනාපකම් තිබුණා නම් ඒවා තරමක් දුරට මගහැරෙයි. අපල හෝ ඒරාෂ්ඨක කියලා වැඩ කල් නොදමන්න.මෙය ඔබට ලැබුණු සුව්ශේ‍ෂී අවස්ථාවක් ලෙස බාරගන්න.   අඹු සැමියන් අතර මතභේද, අදහස් ගැටලු ඇතිවය හැකිය. විවාහ ප්‍රමාද වී ඇත්නම් ඉතාම හොඳ යෝජනා පැමිණිය හැකියි. ඒ වගේම විදේශ ගත වීම් වලටත් අවස්ථාව උදාවෙයි. 

සුබ වර්ණය- තද නිල් 
සුබ අංකය- 8,5 


මීන -  නොසිතූ විරූ ජයග්‍රහණ
   
               මීන ලග්න හිමියන්ට සූර්ය වර්ෂය අභියෝගාත්මක වර්ෂයක් වේ. සූර්ය වර්ෂය ආරම්භයේදීම ලග්න ශිර්ෂය මත නැත්නම් නැගෙනහිර දිශාවේ  සෙනසුරු සහ නෙප්චූන් තැන්පත් වී තිබෙන බැවින්  බොහෝ දෙනා මෙය  ඒරාෂ්ඨක කාලයක් ලෙස බියක් දක්වති. නමුත් මේක කිසිම වෙලාවක ඒරාෂ්ඨක භීතිය සිතට නොගත යුතුයි. මෙය තමන්ගේ ජීවිතයේ ලැබුණු භාග්‍යවන්ත අවස්ථාවක් ලෙස සලකා කටයුතු කළ යුතුය.  නොසිතූ විරූ ජයග්‍රහණ අත් වේ. හිත් අමනාපකම් ඇති වී තිබුණා නම් නැවත මිතුරු වෙයි.  මෙම මාසයේ ආරම්භ මුල් අවධියේදී හොඳ ආර්ථික පසුබිමක් පෙන්නුම් කරයි.
 විවාහයේ හෝ ප්‍රේමයේ යම් පීඩාකාරී තත්ත්වයක් තිබුණා නම් ඒවා දුරු වූ විවාහ බන්ධන ඇති කර ගැනීමට සුබ කාලයක් වනු ඇත. පහුගිය කාලේ ගෘහ ජීවිතේ තුළ සිත් පීඩා කලකිරිම් තිබුණා නම් ඒ තත්ත්වයන් නැති වී  සැනසිලිදායක තත්වයක් උදා වේ.
එමෙන්ම ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව විමසිලිමත් වීම ඉතා වැදගත්ය. විදේශගත වීමට බලා සිටින මීන ලග්න හිමියන් වංචාකාරයන්ට හසුවීමට හැකියාව ඇති බැවින් ප්‍රවේසම් විය යුතු වේ. විදෙස් ගතවීම්වලට වාසනාව තිබේ. නමුත් වංචාකාරයින්ට හසුවිය හැකි තත්ත්වයන් තිබෙන නිසා ඒ ගැනද ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු වේ. 

සුබ වර්ණය -කහ පාට
සුබ අංකය- 2,6 

 නදීශා අතුකෝරළ

සිරිකත ගැන ඇසෙන වෙනස් කතා Read Previous

සිරිකත ගැන ඇසෙන වෙනස් කතා

සිරිකත ගැන ඇසෙන වෙනස් කතා Read Next

සිරිකත ගැන ඇසෙන වෙනස් කතා

Realted Post

Leave a comment