ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න

නූතන රූපලාවන්‍ය ක්ෂේත්‍රය කියන්නේ දිනෙන් දින අලුත් වෙමින්, විවිධ සත්කාර අත්හදා බලමින් ඉදිරියට යන ක්ෂේත්‍රයක්. ඒ අතර මේ වනවිට බොහෝ දෙනා ස්වභාවිකත්වයට වැඩි අවධානයක් යොමු කරමින් තම ස්වභාවික රුව තවත් ඉස්මතු කරගැනීමට උනන්දුවක් දක්වනවා.

මේ නිසාම දෙස් විදෙස් අවධානය දිනාගත් අපූරු රූ සත්කාරයක් ලෙස ගොළුබෙලි සත්කාරය හඳුන්වා දෙන්න පුළුවන්.

“ගොළුබෙල්ලා” කියන නම ඇසූ සැණින් ඇතැම් අයට පුදුමයක්, බයක් හෝ පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. නමුත් රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ මේ පුංචි සතාගෙන් ලබාගන්නා ශ්‍රාවය භාවිත කරමින් විවිධ සමේ සත්කාර සිදු කරනවා.

ඒත් ඇත්තටම ගොළුබෙලි සත්කාරයෙන් සමට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මේ සත්කාරය අද ඊයේ ඇති වූ සංකල්පයක්ද? ඒ ගැන අපි සොයා බලමු.

ගොළුබෙලි සත්කාරයේ ඉතිහාසය

ගොළුබෙලි ශ්‍රාවය සම සඳහා භාවිත කිරීම අද ඊයේ ආරම්භ වූ දෙයක් නොවන බව සඳහන් වෙනවා.

පැරණි ග්‍රීසියේ වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් විසින් සමේ ඇතිවන ඇතැම් තුවාල සහ චර්ම ගැටලු සඳහා ගොළුබෙලි ශ්‍රාවය ඇතුළත් මිශ්‍රණ භාවිත කළ බවට සඳහන් වේ.

1980 දශකයේදී චිලී රාජ්‍යයේ ගොළුබෙලි ගොවිපළවල සේවය කළ කම්කරුවන්ගේ අත්වල සමේ ඇති වූ වෙනස්කම් පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා. ඔවුන්ගේ අත්වල සම මෘදු බවට පත්වීම සහ ඇතැම් තුවාල ඉක්මනින් සුවවීම වැනි නිරීක්ෂණ හේතුවෙන් ගොළුබෙලි ශ්‍රාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බව සඳහන් වේ.

පසුව දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ගොළුබෙලි ශ්‍රාවය භාවිත කරන නිෂ්පාදන සහ සත්කාර ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම කොරියානු රූපලාවන්‍ය ක්ෂේත්‍රය හරහා මෙය ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

කොහොමද මේ සත්කාරය සිදු කරන්නේ?

ගොළුබෙල්ලන් මුහුණ මත ගමන් කිරීමට සැලැස්වීම මගින් ඔවුන්ගේ ශ්‍රාවය ස්වභාවිකව සම මත තැවරීමට ඉඩ ලබාදෙන ක්‍රමයක් තිබෙනවා.

ඒ වගේම ගොළුබෙලි ශ්‍රාවය අඩංගු නිෂ්පාදන භාවිත කරමින් සමට අවශ්‍ය සත්කාර ලබාදීමත් සිදු කළ හැකියි.

ගොළුබෙලි ශ්‍රාවය මගින් සමට තෙතමනය ලබාදීම, සමේ පෙනුම වැඩිදියුණු කිරීම සහ සමේ මෘදු බව පවත්වා ගැනීම වැනි ප්‍රතිලාභ ලබාගත හැකි බව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සඳහන් වෙනවා.

සමට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

ගොළුබෙලි ශ්‍රාවය අඩංගු සත්කාර මගින් සමේ තෙතමනය පවත්වා ගැනීමට, සම මෘදු කිරීමට සහ සමේ පෙනුම දීප්තිමත් කිරීමට උපකාරී විය හැකියි.

එමෙන්ම සමේ මැරුණු සෛල ඉවත් කිරීමට, සමේ වියළි බව අඩු කිරීමට සහ සමේ වයස්ගත පෙනුම සම්බන්ධ ඇතැම් ලක්ෂණ අවම කරගැනීමට දායක විය හැකි බව සඳහන් වෙනවා.

ලප කැළැල් සහ අව්වට නිරාවරණය වීමෙන් ඇතිවන සමේ වෙනස්කම් සඳහා ද මෙවැනි සත්කාර භාවිත කරනවා.

කෙසේ වෙතත්, සෑම පුද්ගලයකුටම එකම ප්‍රතිඵල ලැබෙන බවට සහතික කළ නොහැකි අතර, සමේ ස්වභාවය අනුව ප්‍රතිචාර වෙනස් විය හැකියි.

ඒ නිසාම ගොළුබෙලි සත්කාරයක් සිදු කිරීමට පෙර එය තම සමට ගැළපෙනවාද යන්න පිළිබඳව නිසි අවධානයක් යොමු කිරීම වැදගත්.

ගොළුබෙල්ලාගෙන් ලැබෙන මේ අපූරු සත්කාරය කාටත් සුදුසුද? මේ සඳහා භාවිත කරන්නේ අප අවට දක්නට ලැබෙන ගොළුබෙල්ලන්ද? සත්කාරයට පෙර සහ පසු සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? ගැන සිරිකත ඩොක්ටයි ඔබයිකොටසින් ඔබට කියවා දැන ගත හැකිය. 

සටහන - මහේෂානි මීගහපොල
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාශා උඩවත්ත

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් සම්පූර්ණ කරයි Read Previous

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් සම්පූර්ණ කරයි

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද? Read Next

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද?

Realted Post

Leave a comment