Lips ලස්සන කරන Tips

 

වර්තමානයේ හුඟක් යුවතියන් දෙතොල් අලංකාරවත්ව තබා ගැනීමට කෘත්‍රිම ආලේපන භාවිතයට යොමු වී තියනවා. එහෙත් ඒ ආකර්ෂණය තුළ ඇති අතුරු ප්‍රතිඵල නම් තරමක් අවදානම්.  තරුණියකගේ දෙතොල් නිතර නිතර වියළීමට, කළු පැහැවීමට මෙන්ම දෙතොල් පැළී තුවාලවීමට ලක්වෙනවා නම් එය ඇයගේ සුන්දරත්වයට හානියක් මෙන්ම ඇයගේ මානසික පීඩනයටත් හේතුවක්. ප්‍රමිතියෙන් තොර තොල් ආලේපන සහ බාම් වර්ග සඳහා යොමුවීම නිසා ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීමට නිවසේ දී ලබාගත හැකි සත්කාර මොනවදැයි අපි බලමු. 

  • තොල් පැළීම හා වියළීමට හේතු 

පරිසරයේ පවතින දේශගුණික තත්ත්ව නිසා සහ ඔබගේ ශරීරයේ පවතින උෂ්ණ ගතිය නිසා තොල් වියළීමත්, තොල් පැළීමත් සිදුවෙනවා. විශේෂයෙන්ම සීතල දේශගුණයක් පවතින ප්‍රදේශවල දී දෙතොල් පිපිරීම විශේෂයෙන් දකින්න පුළුවන්. විටමින්, ඛනිජ ලවණ (යකඩ), අත්‍ය‍වශ්‍ය මේද සහ අම්ලවල පවතින ඌනතාවත් මෙයට හේතු වෙනවා. සමහර ඖෂධ හා රසායන ද්‍රව්‍යවල අසාත්මිකතා, දීර්ඝකාලීන දුම්පානය, ශරීරය විජලනයට ලක්වීම, නිතරම තද හිරු එළියට නිරාවරණය වීම, තොල් නිතර සැපීම වැනි නරක පුරුදු නිසාත් තොල් පැළී තුවාල වීමට ඉඩ තිබෙනවා.

  • තොල් කළු පැහැවීම වැළැක්වීමට 

දිනපතා වැඩිපුර ජලය පානය කර ශරීරයේ නිසි තෙතමනය පවත්වා ගත යුතු අතර තොල් සැපීම වැනි නරක පුරුදුවලින් ඈත්වීම වැදගත්.
විටමින් ඒ අඩංගු කැරට්, තක්කාලි, කොළ එළවළු හා පලා වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගන්න.
තද සූර්යාලෝකයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා නිවෙසෙන් බැහැර යන විට සුදුසු තොල් ආලේපන වර්ගයක් භාවිත කරන්න.

  • මේ සත්කාර කරන්න 

ගිතෙල් ස්වල්පයක් සමග කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර දෙතොලෙහි ආලේප කර පැයක් පමණ තබා සෝදාහරින්න. මෙය දිනපතාම භාවිත කිරීමෙන් දෙතොලෙහි කළු පැහැය ඉවත් වී රෝස පැහැයක් ක්‍රමයෙන් ඇතිවෙනවා.
රතුරෝස පෙති ගිතෙලින් අඹරා දෙතොලෙහි ආලේප කරන්න.
මීපැණි, ජලය, ග්ලිසරීන් සහ ආමන්ඩ් ඔයිල් සමාන ප්‍රමාණයෙන් ගෙන බෝතලයකට දමා හොඳින් මිශ්‍රකර ගන්න. මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් දිනපතාම දෙතොලෙහි ආලේප කරන්න.
දෙතොලෙහි රාත්‍රියට එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමදින්න. එවිට දෙතොල් මෘදු වී පැහැපත් වෙයි. 

  • දෙතොල් වියළීම වැළැක්වීමට

මීපැණි ස්වල්පයක්  ආමන්ඩ් ඔයිල් සමග මිශ්‍රකර දෙතොලෙහි ආලේප කර පිරිමදින්න.
මීපැණි සහ වැස්ලින් ස්වල්පයක් මිශ්‍රකර දෙතොලෙහි ආලේප කර විනාඩි 10 - 15 ක් පමණ තිබෙන්නට හැර ජලයෙන් පොඟවාගත් තෙත පුළුන් කැබැල්ලකින් තොල් පිස දමන්න.
කෝමාරිකා මද ස්වල්පයක් දෙතොලෙහි ආලේප කරන්න.
ග්ලිසරීන්, දෙහි යුෂ, එඬරු තෙල් ස්වල්පය බැඟින් එකට මිශ්‍රකර රාත්‍රියේ දී දෙතොලෙහි ආලේප කර පසුදා උදෑසන තෙත රෙදිකඩකින් මෘදුව පිස දමන්න.
මෙම ප්‍රතිකාර දින කීපයක් නොකඩවා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

  • දෙතොල් පැළීම වැළැක්වීමට 

පොල්තෙල් ස්වල්පයක් දෙතොලෙහි ආලේප කරන්න.
එළකිරි උණු කරන විට ඇති වන කිරි යොදය දෙතොලෙහි ආලේප කරන්න.
මී පැණි ස්වල්පයක් රාත්‍රියේ දී දෙතොලෙහි ආලේප කරන්න. එමෙන්ම මෙය ක්ෂුද්‍ර ජීවී නාශකයකි. මීපැණි පහසුවෙන් නරක් නොවේ. මේ නිසා තොල් පැළීම පහසුවෙන් සුවවෙනවා.
මීපැණි ස්වල්පයක විටමින් ඊ කරලක් මිශ්‍ර කර දෙතොලෙහි ආලේප කිරීමෙන් ද තුවාල සුව වී කළු පැහැය ද ඉවත්වෙනවා.
දිනකට කිහිපවරක් පිපිඤ්ඤා පෙත්තක් දෙතොලෙහි ඇතිල්ලීම.
සතියකට කීපවරක් පොල් වතුර හෝ කුරුම්බා වතුර පානය කිරීම.
ආයුර්වේද ප්‍රතිකාරවල දී  භාවිත වන පිණ්ඩ තෙල් ද දෙතොල් පැළීම වැළැක්වීමට ඉතා හොඳ ඖෂධයක්.
මෙම සත්කාර හරහා ඔබගේ දෙතොල් ආකර්ෂණීය ලෙස තබාගැනීමේ හැකියාව ඔබට පවතිනවා. විශේෂයෙන් ම ඔබ තොල් ආලේපන භාවිත කරන සෑම මොහොතකම ප්‍රමිතියකින් යුත් ආලේපන භාවිත කිරීමටත් වගබලා ගන්න. 

  • අදහස් දැක්වීම  - රූපලාවන්‍ය හා කේශලාවන්‍ය ශිල්පිනී ඉමාලි චතුරිකා 
  • සටහන - සහශ්‍රිකා දයානන්ද

 

කොටු පනින්න කලින් මේ ගැනත් හිතන්න Read Previous

කොටු පනින්න කලින් මේ ගැනත් හිතන්න

කොටු පනින්න කලින් මේ ගැනත් හිතන්න Read Next

කොටු පනින්න කලින් මේ ගැනත් හිතන්න

Realted Post

Leave a comment