අරළු බුළු නෙල්ලි රුව රකින හැටි

 

රූපය ලස්සන කරගන්න මිල අධික රූ සත්කාර කරන්න රූපලාවන්‍යාගාරවලට නිතර නිතර යන්නත් මේ කාලේ හැටියට ටිකක් අපහසුයි. ඒත් එහෙම කියලා ලස්සනට ඉන්නෙ නැතිව ඉන්නත් බැහැ. ඒ නිසා මේ වගේ කාලයක කරන්න තියෙන හොඳම දේ තමයි අපේ වටපිටාවෙන් වියදමක් නැතිවම හොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරලා රූපය ලස්සනට තබා ගැනීම. අධික මිල ගණන් දීලා ගන්න රසායන ද්‍රව්‍ය පිරුණු රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කිරීම සිරුරට එතරම් හොඳ නැති නිසා හැමවිටම ස්වාභාවික සත්කාරවලටම යොමුවීම සිරුරේ ලස්සනට වගේම නිරෝගීකමටත් හොඳයි.  


මේ කියන්න යන්නේ ලංකාවේ අපිට රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙස එතරම්ම හුරු නැති ඔසු කිහිපයක එකතුවක් භාවිතා කර ලස්සන වෙන්නෙ කොහොමද කියලයි. ඒ තමයි ත්‍රිපලා ලෙසින් ආයුර්වේදයේ හඳුන්වන අරළු, බුළු, නෙල්ලි සංයෝගය. ත්‍රිපලා යන්නෙහි අරුත ඵල වර්ග තුනක් යන්නයි. මේ නමින් වෙළඳපොළේ ඔසු වර්ග මිලදී ගැනීමට තිබුණත් මේ කියන්නේ ඒ ගැන නොවේ. ආයුර්වේද විද්‍යාවේදී අරළු, බුළු, නෙල්ලි යන ඔසු තුන හඳුන්වන්නේ ත්‍රිපලා ලෙස. මේ ගෙඩි වර්ග තුන සමව ගෙන වියළා කුඩුකර රූපය ලස්සන කරගන්න අනර්ඝ ඔසුවක් ලෙස භාවිතා කරන්න පු`ඵවනි. 


ලංකාවේ මෙය රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙස ජනප්‍රිය නොවුණාට ඉන්දියාවේ මේ ඔසු රුව ලස්සන කරන්න විවිධාකාරයෙන් භාවිත කරනවා. අරළු, බුළු, නෙල්ලි සංයෝගයේ එකතුව කියන්නේ ආහාර ජීර්ණයට උපකාරීවන, මලබද්ධය නැති කරන, මුඛ රෝගවලට ගුණ දෙන, ඇස් පෙනීම වර්ධනය කරන, සිරුරේ විස නසන සහ ප්‍රතිශක්තිය වැඩි කරන, වයසට යෑම පාලනය කරන වගේම රුධිරයේ සීනි මට්ටම අවම කරන ඖෂධයක්. 


අරළු, බුළු, නෙල්ලි ගැන සුප්‍රසිද්ධ ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක් වන චරක සංහිතා සහ සුශ්‍රැත සංහිතාවෙත් සඳහන් වෙනවා. චරක සංහිතා ග්‍රන්ථයේ රසායන චිකිත්සා කොටසේ සඳහන් වන ආකාරයට මෙම වර්ග තුන එකට මිශ්‍රකර ආහාරයට ගැනීමෙන් වයස්ගතවීමත් සමග ඇතිවන මානසික සහ ශාරීරික දුබලතා අවම කරගන්න පුළුවනි. ඒ නිසා රූපලාවන්‍යයේදීත් සම වයස්ගතවීම පාලනයට මේවා යොදා ගන්නවා. මෙම ඔසුවේ ප්‍රති ඔක්සිකාරක බහුලව තිබීම එයට හේතුවක්. සම මතුපිට කුඩු ආලේප කිරීමෙනුත්, බීමක් ලෙස සකසා ගැනීමෙනුත් සමේ ලස්සන වගේම තරුණකම රැකගත හැකියි. 

 


අරළු, බුළු, නෙල්ලි පානය හදන හැටි  
විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක බහුල මෙම ඔසු වර්ග තුන කුඩුකර එම කුඩු තේ හැන්දක් මඳ උණුසුම් වතුරට දමා හොඳින් දිය කරගන්න. මෙයට පිරිසුදු මී පැණි තේ හැන්දක් එකතු කර රාත්‍රී නින්දට පෙර හෝ උදෑසන හිස්බඩ පානයට ගන්න. මෙය සිරුර ඇතුළතින්ම ක්‍රියා කර තරුණ පෙනුමක් වගේම ලෙඩ නැති සිරුරක් ලබාදෙන්න උපකාරී වෙනවා. 


මෙම පානය ඉන්දියාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය යි.  මෙම පානය රාත්‍රී නින්දට පෙර හෝ උදෑසන හිස්බඩ පානයට ගන්නා පුද්ගලයින් සහභාගී කරගෙන සිදු කරන ලද පර්යේෂණයක් ඇසුරෙන් ලබා ගත් තොරතුරු අනුව, කාලයක් තිස්සේ මෙම ඔසුව පානයට ගත් පුද්ගලයින්ගේ සමේ පැහැදිලි වෙනසක් සිදු වී තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ සමේ රැලි වැටීම් සහ වියළි ස්වභාවය ඉතා අවම බවද එම පර්යේෂණයේදී සොයාගෙන තිබෙන අතර එයට හේතුව මේ වර්ග තුනේ එකතුව රසායන ගණයට අයිති වීමයි. එයින් රසායනිකව රුධිරය පිරිසුදු කර වයස්ගතවීම පාලනය කරනවා. 


මේ ඔසු එකට කුඩුකර එයින් තේ හැන්දක් දිනකට පානයට සුදුසුබව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතයයි. 

 


පැහැපත් සමකට ආලේපනයක් 
සම මතුපිට ආලේපනයක් ලෙසත් මේවා භාවිත කළ හැකියි. ඒ සඳහා අරළු, බුළු, නෙල්ලි කුඩුවලට පොල්වතුර හෝ රෝස වතුර මිශ්‍ර කර පේස්ට් එකක් සකසා එය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20කට පමණ පසු සෝදා හරින්න. මෙසේ සකසා ගන්නා ආලේපනය සමට ඉතාමත් ගුණදායකයි.

 


හිසකෙස් රකින තෙලක් 
හිසකෙස් සම්බන්ධ ගැටලුවලටත් මෙම ඔසුව ඉතා සුදුසුයි. හිස කෙස් වැටීම, අකලට සුදු වීම, කැඩීම සහ හිස් හොරි ආදියට මෙයින් කුඩු තේ හැන්දක් පොල් තෙල් සමග මිශ්‍ර කර හිසේ ආලේප කළ හැකිය. පොල්තෙල් මඳක් රත්කර එයට අරළු, බුළු, නෙල්ලි කුඩු මේස හැඳි 2ක් පමණ මිශ්‍ර කරන්න. ඉන්පසු හිසකෙස් කැඩී නොයන සේ ආලේප කරන්න. පැයකට පමණ පසු සෝදා හරින්න.


සමේ සහ හිසකෙස්වල ලස්සන ගැන පමණක් සැලකිලිමත් නොවී සිරුරේ හැඩය ගැනත් අවධානයෙන් සිටින ඕනෑම කෙනෙකුට මේ සංයෝගය දිව්‍ය ඖෂධයක්. එය සිරුරේ බර අඩු කරගැනීමටද උපකාරී වෙනවා.
එමෙන්ම මානසික ආතතිය මනසේ ඇතිවන තත්ත්වයක් වුණත්, එය අපේ සිරුරේ ලස්සන කෙරෙහි බලපානවා. මානසික ආතතිය නිසා සමේ පැහැදිලි වෙනස්කම් ඇතිවෙනවා. එපමණක් නොව දීර්ඝ කාලීනව මානසික ආතතියෙන් පෙළීම හිස්කෙස් හැලී යාමටත් හේතුවිය හැකියි. ඒ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසයි. අරළු, බුළු, නෙල්ලිවල එකතුව කියන්නේ මානසික සමබරතාව රැකගන්න උදව්වන දිව්‍ය ඔසුවක්.

සටහන - නයනා උදයංගනී 


                

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න Read Previous

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න

හිත සුන්දර නම් හැමදාමත් වැලන්ටයින් Read Next

හිත සුන්දර නම් හැමදාමත් වැලන්ටයින්

Realted Post

Leave a comment