කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ?

සමාජ මාධ්‍ය ඔස්සේ දිනපතාම නව සෞඛ්‍ය උපදෙස් රැසක් හුවමාරු වෙන . "මේක බොන්න... අරක ගන්න  බර අඩු වෙයි", මේ විටමින් වැඩියෙන් ගත්තොත් වැඩියෙන් ප්‍රයෝජන ලැබෙයි" වැනි ප්‍රකාශ බොහෝ දෙනා විශ්වාස කරනවා. නමුත්, පෝෂණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ උපදෙස් සියල්ලම විද්‍යාත්මකව නිවැරදි නොවන බවයි.

Wild Nutrition ආයතනයේ පෝෂණ විද්‍යා හා නිෂ්පාදන අංශ ප්‍රධානී Isabelle Nunn පවසන්නේ, සමාජ මාධ්‍යයේ වැඩියෙන්ම පැතිර යන සෞඛ්‍ය සම්බන්ධ වැරදි විශ්වාස කිහිපයක් නිසා ජනතාව නොමඟ යන බවයි.

උදේ කෑම තමයි හොදම - මෙය බොහෝ දෙනා විශ්වාස කළත්, එය සෑම කෙනෙකුටම අදාළ වන නියමයක් නොවන බව Isabelle Nunn පවසයි. පුද්ගලයෙකුගේ ජීවන රටාව, වැඩ කරන වේලාවන් සහ සෞඛ්‍ය තත්ත්වය අනුව ආහාර වේල් වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, උදෑසන ආහාරය හරහා තන්තු (Fibre), විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමට හොඳ අවස්ථාවක් ලැබේ. උදාහරණයක් ලෙස ඕට්ස්, බෙරි වර්ග, ඇට වර්ග සහ ධාන්‍ය වර්ග එකතු කළ උදෑසන ආහාරයක් වඩාත් පෝෂණදායක බව ඇය සඳහන් කරයි.

වැඩිපුර කෑම කෑවාට පස්සේ Detox කරන්න  - බොහෝ දෙනා සිතන්නේ අධික ලෙස ආහාර ගැනීමෙන් පසු ශරීරය පිරිසිදු කිරීමට විශේෂ Detox පානයක් හෝ ආහාර රටාවක් අවශ්‍ය බවයි. නමුත් ඇත්ත වශයෙන්ම ශරීරයේ අක්මාව සහ වකුගඩු ස්වභාවිකවම අපද්‍රව්‍ය ඉවත් කරන බව පෝෂණවේදිනිය පෙන්වා දෙයි. ඒ වෙනුවට, නැවතත් සමබර ආහාර වේලකට යොමුවීම, ප්‍රමාණවත් ජලය පානය කිරීම සහ හොඳ නින්දක් ලබාගැනීම ප්‍රමාණවත් බව ඇය කියා සිටී.

ඇපල් සයිඩර් විනාකිරි බර ඉක්මනින් අඩු කරයි - සමාජ මාධ්‍යයේ බර අඩු කිරීමේ රහස් ලෙස ප්‍රචාරය වන ජනප්‍රියම අමුද්‍රව්‍යයක් වන්නේ Apple Cider Vinegar ය. කෙසේ වෙතත්, මෙය ශරීරයේ මේදය දහනය කරන අද්භූත ඖෂධයක් නොවන බව Isabelle Nunn අවධාරණය කරයි. එය සලාද වැනි ආහාරවල රසය වැඩි කිරීමට භාවිත කළ හැකි වුවත්, බර අඩු කිරීමේ කෙටි මාර්ගයක් ලෙස සැලකිය නොහැකි බව ඇය පවසයි.

ව්‍යායාම නොකළත් Electrolytes බොන්න ඕන - අද වෙළෙඳපොළේ Electrolyte පානයන්ට විශාල ජනප්‍රියත්වයක් තිබුණද, ඒවා සෑම කෙනෙකුටම දිනපතා අවශ්‍ය නොවේ. දිගු වේලාවක් ව්‍යායාම කිරීම, අධික ලෙස දහඩිය දැමීම හෝ අසනීප තත්ත්වයකදී Electrolytes ප්‍රයෝජනවත් විය හැකි නමුත්, සාමාන්‍ය දිනවල ජලය සමඟ ඒවා අනිවාර්යයෙන්ම පානය කළ යුතු නැතැයි ඇය පෙන්වා දෙයි.

විටමින් වැඩියෙන් ගත්තොත් වැඩියෙන් ගුණ ලැබෙයි - "Dose එක වැඩි නම් ප්‍රතිඵලයත් වැඩියි" යන අදහසත් වැරදි බව පෝෂණවේදිනිය පවසයි. විටමින් හෝ අතිරේක පෝෂණ නිෂ්පාදන තෝරාගැනීමේදී වැදගත් වන්නේ ඒවායේ ප්‍රමාණය නොව, ගුණාත්මකභාවය සහ ඔබගේ ශරීරයට ඇත්තටම අවශ්‍යද යන්න බව ඇය අවධාරණය කරයි. වෛද්‍ය උපදෙස් හෝ පෝෂණවේදියෙකුගේ මඟපෙන්වීම අනුව පමණක් අතිරේක පෝෂණ නිෂ්පාදන භාවිත කිරීම සුදුසු බවද ඇය කියා සිටී.

තන්තු වැඩි ආහාරවලට ප්‍රමුඛත්වය දෙන්න - Isabelle Nunn පවසන්නේ, සෞඛ්‍යය සඳහා කළ හැකි සරලම වෙනසක් වන්නේ තන්තු (Fibre) වැඩි ආහාර ගැනීම බවයි. තන්තු මගින් ආහාර ජීර්ණය පමණක් නොව, බඩවැල්වල ජීවත්වන ප්‍රයෝජනවත් බැක්ටීරියා පෝෂණය කරමින් ශරීරයේ ශක්තිය, හෝමෝන සමතුලිතතාවය සහ නින්දේ ගුණාත්මකභාවය පවා වැඩිදියුණු කිරීමට උපකාරී වේ. බෝංචි, පරිප්පු, ඕට්ස්, බීජ වර්ග, පලතුරු, එළවළු සහ සම්පූර්ණ ධාන්‍ය ආහාර තන්තු වැඩි කරගැනීමට හොඳම තේරීම් බවද ඇය නිර්දේශ කරයි.

සමාජ මාධ්‍යයේ දකින සෑම සෞඛ්‍ය උපදෙසක්ම විශ්වාස කිරීමට පෙර දෙවරක් සිතන්න. එක් ආහාරයක්, එක් පානයක් හෝ එක් අතිරේකයක් මගින් විශ්මිත ප්‍රතිඵල ලබාදෙන බවට කරන ප්‍රකාශ බොහෝවිට විද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වී නොමැත. නිරෝගී ජීවිතයකට රහස ඇත්තේ සමබර ආහාර වේලක්, ප්‍රමාණවත් ජලය, නිසි නින්ද සහ නිතිපතා ව්‍යායාම කිරීම බව ලොවපුරා සිටින පෝෂණවේදීන් පෙන්වා දෙයි.

අශන්ති වරුණසූරිය 

 

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Next

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Realted Post

Leave a comment