ලස්සන සමකට දෙහි වතුර

දෙහි වතුර යනු පහසුවෙන් සකස් කළ හැකි, සෞඛ්‍යයට හිතකර පානයකි. එය ශරීරයට අවශ්‍ය විටමින් C සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ලබාදෙන අතර, ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීම, බර පාලනයට උපකාර කිරීම, ජලය ප්‍රමාණවත් ලෙස ලබාදීම සහ වකුගඩු ගල් ඇතිවීමේ අවදානම අඩු කිරීම වැනි ප්‍රතිලාභ රැසක් ලබාදෙන බව අධ්‍යයනවලින් හෙළි වී ඇත.

සෞඛ්‍ය තොරතුරු වෙබ් අඩවියක් වන Healthline සඳහන් කරන පරිදි, ග්‍රෑම් 48ක පමණ දෙහි ගෙඩියක යුෂවල කැලරි 10.6ක් අඩංගු වේ. එමෙන්ම එය දෛනික විටමින් C අවශ්‍යතාවයෙන් සියයට 21ක්, ෆෝලේට් සියයට 2ක්, පොටෑසියම් සියයට 1ක්, විටමින් B1 සියයට 1ක්, විටමින් B5 සියයට 1ක් සහ විටමින් B2 සියයට 0.5ක් ලබාදෙයි.

ශරීරය ප්‍රමාණවත් ලෙස තෙතමනයෙන් පවත්වා ගනී. දිනපතා දෙහි වතුර පානය කිරීම ශරීරයට අවශ්‍ය ජලය ලබා ගැනීමට උපකාරී වේ. ප්‍රමාණවත් ජලය පානය කිරීම සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර, සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට ජලය ලීටර් 1.8 සිට 2 දක්වා පමණ පානය කිරීම සුදුසුය.

ශරීරයට ජලය ප්‍රමාණවත් නොවූ විට අධික පිපාසය, විඩාව, සම සහ තොල් වියළීම, හිසරදය, හෘද ස්පන්දනය වේගවත් වීම, ශරීර උෂ්ණත්වය ඉහළ යාම සහ මලබද්ධය වැනි ලක්ෂණ ඇතිවිය හැකිය. ජලයට දෙහි යුෂ එක් කර පානය කිරීම දිනපතා ජලය පානය කිරීම රසවත් සහ සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් බවට පත් කරයි.

දෙහි විටමින් C බහුල පලතුරකි. විටමින් C ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් නිදහස් රැඩිකල්වලින් සෛල ආරක්ෂා කරයි. එමෙන්ම කොලජන් නිෂ්පාදනය, ප්‍රෝටීන් පරිවෘත්තීය, යකඩ අවශෝෂණය, හෝමෝන නිෂ්පාදනය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහාද එය වැදගත් වේ.

විටමින් C ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් ආසාදන ඇතිවීමේ අවදානම වැඩිවීම, සම, ඇස් සහ මුඛය වියළීම, විඩාව, නින්දේ ගැටලු සහ දත් දුර්වල වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. දෙහි වතුර පානය කිරීමෙන් ජලය පානය කරන ප්‍රමාණය වැඩි වන අතර, එය දිගු වේලාවක් පූර්ණ බවක් දැනීමට උපකාරී වේ. එමෙන්ම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියටද සහාය වන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු දෙහි වතුර, පැණි බීම සහ සිසිල් බීම වෙනුවට පානය කළ හැකි සෞඛ්‍ය සම්පන්න විකල්පයකි. දෙහි වතුර ස්වාභාවිකවම සීනි අඩු පානයකි. එය සීනි සහිත බීම පානය කිරීමේ අවශ්‍යතාව අඩු කිරීමට උපකාරී විය හැකිය. නිතර සීනි බහුල බීම පානය කිරීමෙන් අධික බර, ස්ථුලතාව, දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද රෝග, වකුගඩු හා අක්මා රෝග, දත් කුහර සහ ගවුට් (Gout) වැනි රෝග ඇතිවීමේ අවදානම ඉහළ යා හැකිය.

දෙහිවල අඩංගු සිට්‍රික් අම්ලය (Citric Acid) වකුගඩු ගල් ඇතිවීම වැළැක්වීමට උපකාරී විය හැකිය. එය මුත්‍රා ප්‍රමාණය සහ pH අගය වැඩි කර ගල් සෑදීමට අහිතකර පරිසරයක් නිර්මාණය කරයි. මීට පෙර වකුගඩු ගල් ඇතිවූ පුද්ගලයන් වෛද්‍ය උපදෙස් අනුව දෙහි යුෂ මිලිලීටර් 113ක් පමණ ජලයට එක් කර ඖෂධ ප්‍රතිකාර සමඟ භාවිත කිරීමෙන් නැවත ගල් ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව සඳහන් වේ.

ආහාරයට පෙර දෙහි වතුර පානය කිරීමෙන් ආමාශයේ අම්ල නිෂ්පාදනය උත්තේජනය වන අතර, එය ආහාර හොඳින් ජීර්ණය වීමට උපකාරී වේ. කෙසේ වෙතත්, ගැස්ට්‍රයිටිස්, අම්ල පිත්ත හෝ අජීර්ණය වැනි ආමාශ ආබාධ ඇති පුද්ගලයන් හිස් බඩ දෙහි වතුර පානය කිරීමෙන් වැළකීම හෝ වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.

දෙහි වතුර සකස් කරන්නේ කෙසේද?

දෙහි ගෙඩියකින් අඩක් මිරිකා යුෂ මිලිලීටර් 230ක් පමණ උණුසුම් හෝ සිසිල් ජලයට එක් කර පානය කළ හැකිය.

රසය සහ පෝෂණ ගුණ වැඩි කර ගැනීම සඳහා, 
මින්ට් කොළ කිහිපයක්,
ස්වාභාවික මී පැණි තේ හැඳි එකක්,
මේපල් සිරප් ස්වල්පයක්,
නැවුම් ඉඟුරු පෙත්තක්,
පිපිඤ්ඤා පෙත්තක්,
කුරුඳු කුඩු ස්වල්පයක්,
කහ කුඩු ස්වල්පයක්
එක් කළ හැකිය.

උදෑසන උණුසුම් දෙහි වතුර වීදුරුවකින් දවස ආරම්භ කිරීමත්, දවස පුරා පානය කිරීම සඳහා ශීතකරණයේ දෙහි වතුර සකස් කර තබා ගැනීමත් හොඳ පුරුද්දකි.
දෙහි වතුර සාමාන්‍යයෙන් ආරක්ෂිත පානයක් වුවද, එහි ඇති සිට්‍රික් අම්ලය දිගුකාලීනව දත් එනමලයට හානි කළ හැකිය. එම අවදානම අවම කර ගැනීම සඳහා,
ස්ට්‍රෝ එකක් භාවිත කර පානය කිරීම, පානය කිරීමෙන් පසු පිරිසිදු ජලයෙන් මුඛය සෝදා ගැනීම සුදුසු වේ. එමෙන්ම ඇතැම් පුද්ගලයන්ට පැඟිරි වර්ගයේ පලතුරු ආමාශ අම්ලය වැඩි කර අම්ල පිත්ත හෝ අජීර්ණය උග්‍ර කළ හැකි බැවින් එවැනි තත්ත්වයන් ඇති අය ප්‍රවේශම් විය යුතුය. 

සමබර ආහාර වේලක කොටසක් ලෙස දිනපතා දෙහි වතුර පානය කිරීමෙන් ශරීරය ප්‍රමාණවත් ලෙස තෙතමනයෙන් පවත්වා ගැනීමට, ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට, බර පාලනයට සහාය වීමට සහ වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කිරීමට උපකාරී විය හැකිය. කෙසේ වෙතත්, එය කිසිදු රෝගයකට ප්‍රතිකාරයක් නොවන අතර, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක එක් කොටසක් ලෙස භාවිත කිරීම වඩාත් සුදුසු අතර අසාදන තත්ත්ව ඇති වීමේ අවධානමෙන් මිදෙන්න ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

අශන්ති වරුණසූරිය

පහර දීම ගැන කළින්ම ඔත්තුවක් ලැබිලා ? Read Previous

පහර දීම ගැන කළින්ම ඔත්තුවක් ලැබිලා ?

පහර දීම ගැන කළින්ම ඔත්තුවක් ලැබිලා ? Read Next

පහර දීම ගැන කළින්ම ඔත්තුවක් ලැබිලා ?

Realted Post

Leave a comment