කැමති විදිහට සිරුර හැඩ කරන යට ඇඳුම් Shape wear

 

ඇඟට හිරට හැඩට ඇඳුම් අඳින්න අකමැති කවුද? එය ඕනෑම කාන්තාවකගේ සිහිනයක්. කාන්තාවෝ කියන්නෙම සිරුරේ හැඩය ගැන වැඩි උනන්දුවක් දක්වන අය නිසාම පුරුෂ පාර්ශ්වයට වඩා ඇඳුම් විලාසිතා තෝරාගැනීමේදීත් වැඩිපුරම ගැටලු ඇතිවෙන්නෙත් කාන්තාවන්ටමයි. සිරුර ඕනෑවටත් වඩා කෙට්ටුවීම වගේම මහත්වීමත් ගැටලුවක්. පිරිපුන් පපුවක් නොමැතිවීම, එහෙමත් නැතිනම් ගැහැනු ලාලිත්‍ය පෙන්වන නිතඹ සහ පිටුපස කොටස (Back side) පිරිපුන්ව හැඩට නොතිබීම කාන්තාවන් වැඩි දෙනකුට තිබෙන ගැටලුවක්. සමහර වෙලාවට මේවගේ දේවල් හිතට වද දෙන ප්‍රශ්න වුනත් ඒ ගැන කියන්න, අහන්න අකමැති පිරිසකුත් සිටිනවා. ඒ නිසා අකමැත්තෙන් වුවත් විලාසිතා තෝරාගන්නා විටදී හිතට කැමති විලාසිතාවට වඩා ගතට ගැළපෙන විලාසිතාව තෝරාගන්න සිදුවෙනවා. එහෙත් කෙට්ටු සිරුර හැඩට මහතට පෙනෙන්නත්, මහත සිරුර සිහින්ව හැඩට පෙන්වන්නත් යට ඇදුම් විලාසිතා ඕනෑ තරම් තිබෙන නිසා දැන් එය පසුතැවිලි වීමට හේතුවක් නොවෙයි. සිරුර හැඩ කරන මේ විලාසිතා මොනවද කියලා දැනගන්න ඔබත් කැමතිද?.

ගවුම, සාරිය සහ කලිසම වැනි විලාසිතාවලින් සිරුරේ හැඩය කැපී පෙනෙනවා. එහෙත් මහත සිරුරක් තිබෙන කෙනකුට තමන්ට කැමැති විදියට මේ විලාසිතා තෝරගන්න බැහැ. උදරය වැඩි නම් ගවුමක් අන්ඳාම කැතට පෙනෙන්න ගන්නවා. ඉතා සිහින් සිරුරක් තිබෙන කෙනෙකුගෙත් සිරුරේ හැඩය නොපෙනෙන නිසා විලාසිතාවකින් නියම පෙනුම ගන්න බැහැ. එහෙත් පිරිපුන් පපුවක්, නිතඹක් සහ හැඩති - පළල් උකුළක් තිබෙනවා නම් සාරිය, ගවුම කලිසම් විතරක් නොවෙයි, ඕනෑම විලාසිතාවකින් සිරුරට ආකර්ෂණීය පෙනුමක් ලබාග න්න පුළුවන්.

ඒ සඳහා උකුළ කොටසට පමණක් පැඩඩ් යෙදූ පෑන්ටි, පිටුපසට පැඩඩ් යෙදූ කලිසම, උකුළට සහ පිටුපස යන දෙපැත්තටම පැඩඩ් යෙදූ යට ඇඳුම් විලාසිතා, උදරය තද කර සඟවන යට ඇඳුම්, සහ පපු ප්‍රදේශය පිරිපුන්ව පෙන්වන යට ඇඳුම් වර්ග බොහෝමයක් තිබෙනවා. නිතඹ (උකුළ), පිටුපස (Back side) හැඩ කරන යට ඇඳුම් ඒ අතර ප්‍රධානයි.

 

පිටුපස පිරිපුන්ව පෙන්වන පැඩඩ් පෑන්ටි
සිරුරේ පිටුපස එහෙමත් නැතිනම් බැක් සයිඩ් ටිකක් පෙනුමට තියෙනවා නම් ඇඳුම් විලාසිතාවලින් මනා පෙනුමක් ලබාගන්න පුළුවන්. එහෙත් සිහින් සිරුරක් ඇති යුවතියන්ගේ පිටුපස පිරිපුන්බවින් අඩුවෙනවා. ඒ නිසා මොනතරම් ලස්සනට ඇඟට හිරට ඇඳුම් ඇන්ඳත් ලස්සන හැඩයක් මතුවෙන්නේ නැහැ. බොහෝ වෙලාවට මනාලියන් හැඩගැන්වීමේදී සාරියට හොඳ හැඩ පෙනුමක් එකතු කරගන්න මේ පැඩඩ් පෑන්ටි එක පාව්ච්චි කරනවා. ඒ වගේම විවිධ උත්සව අවස්ථාවලට ඇඟට හිර ගවුම් විලාසිතාවලින් සිරුරේ හැඩට හොඳින් මතු කරගන්න මේ පැඩඩ් පෑන්ටි එක අඳින්න පුළුවනි. එහෙත් ඒවා තෝරා ගැනීමේදී සිරුරට වඩා අසාමාන්‍ය පෙනුමක් පෙනෙන ඇඳුම් තෝරා නොගෙන තමන්ට ගැළපෙනම පෑන්ට් වර්ගය තෝරා ගැනීමෙන් සිරුරේ ප්‍රමාණයට අනුව ස්වභාවික පෙනුමක් එකතු කරගන්න පුළුවනි.

 

 

උකුළේ හැඩය වැඩි කරන පැඩඩ් හිප් ෂෝට්ස් (Padded hip shorts)
පැඩඩ් හිප් ෂෝර්ට්ස් කියන්නෙත් තරුණියන් අතර තිබෙන ජනප්‍රියම විලාසිතාවක්. ඊට හේතුව පිරිපුන් හැඩ හිප් එකකින් උකුල හැඩය වඩාත් ඉස්මතු කර පෙන්වන නිසයි. විශේෂයෙන් හිප් එකට පැඩඩ් යොදා ඇති මේ ෂෝර්ට් එකෙන් ඩෙනිම් කලිසම් විලාසිතාවලට අපූරු හැඩයක් එකතු කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම සාරියටත් හොඳ පෙනුමක් ලබාගන්න පුළුවනි. ඔබ වඩාත් කෙට්ටු කාන්තාවක් නම් විලාසිතා කිරීමේදී මේ යට ඇඳුම් භාවිතා කරන්න පුළුවනි. පැඩඩ් පෑන්ටි වගේම පැඩඩ් හිප් ෂෝර්ට්ස් වෙන වෙනම මිලදී ගන්නට හැකියාවක් තිබෙන නිසා තමන්ගේ අවශ්‍යතාවට ගැළපෙන ඇඳුම තෝරාගන්න ඕනෑ. ඒ විතරක් නොවෙයි බැක් සහ හිප් යන ස්ථාන දෙකටම එකටම පැඩඩ් යොදා සකස් කළ පෑන්ටි සහ ෂෝර්ට්ස් තිබෙන නිසා විවිධ ඇඳුම්වලට සහ හැඩයට අනුව තෝරාගැනීම වඩාත් පහසුයි. ඇඟට තදට අඳින ඇඳුම්වලින් පෑන්ට්වල දාර ඇඳුම මතුපිටින් කැපී පෙනෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා එවැනි තද ඇඳුම් විලාසිතාවලදී පෑන්ට්වලට වඩා පැඩඩ් යෙදූ ෂෝර්ට්ස් තෝරාගන්න.

 

මස් පිඩු ඉහළට ඔසවන බූටි ලිෆ්ට් ෂෝට්ස් (Booty lifting shorts)

තමන්ගේ සිරුරේ පිටුපස කොටස එනම් බැක් සයිඩ් එකේ මස්පිඩු එල්ලා වැටීම, ලිහිල්වීම වැනි ගැටලු ඔබටත් තිබෙනවාද? වයසට යෑමේදී මස්පිඩු ලිහිල්වීම සාමාන්‍ය වුනත් විලාසිතා කරන්න එය බාධාවක් කරගත යුතු නැහැ. බූටි ලිෆ්ට් ෂෝර්ට්ස් කියන්නේ ඒ ගැටලුවට හොඳ විසඳුමක්. එයින් පිටුපස කොටසේ මස්පිඩු ඉහළට ඔසවා තබන නිසා සිරුරේ හැඩය හොඳින් ඉස්මතු කර තරුණ පෙනුමක් ලබාග න්න පුළුවනි.

 

 

මහත සිරුර හැඩ කරන හයි වේස්ටඩ් පෑන්ටීස් (High waist panties)
මඳක් මහත සිරුරක් තිබෙන අයට සිරුරේ අනවශ්‍ය මස්පිඬු නිසා කැමති ඇඳුම් විලාසිතාවක් කරන්න අපහසුයි. විශේෂයෙන් උදරය සමග පිටුපස ඉණ දෙපස එල්ලා වැටෙන මස්පිඬු නිසා සිරුරේ හැඩය පෙන්වන විලාසිතාවක් කිරීම බොහෝදෙනකුට සිහිනයක්. එහෙත් හයි වේස්ටඩ් පෑන්ටි එකකින් පහළට එල්ලා වැටෙන උදරය සහ ඉණ දෙපස මස්පිඬු ඉහළට ඔසවා සඟවන නිසා ඔබට කැමති විලාසිතාවක් පහසුවෙන්ම කරන්න පුළුවනි. විශේෂයෙන් ගවුම්, ටිෂර්ට් වගේ විලාසිතා පහසුවෙන්ම කරන්නත් පුළුවන් නිසා මහත සිරුරක් තිබෙන ඔබේ ඇඳුම් අල්මාරියට හයි වේස්ටඩ් පෑන්ට් එකක් එකතු කරගන්න.

සටහන: නයනා උදයංගනී

දඟකාරියන්ට කදිම ගවුමක් Read Previous

දඟකාරියන්ට කදිම ගවුමක්

තංගල්ල කාල්ටන් නිවසෙ   අවුරුදු Read Next

තංගල්ල කාල්ටන් නිවසෙ අවුරුදු

Realted Post

Leave a comment