නාසය හැඩකරන ප්ලාස්ටික් සැත්කම්

කෙනකුගේ උපතින්ම හෝ කිසියම් අනතුරක් නිසා නාසයේ බාහිර පෙනුම අවලක්‍ෂණ වී තිබීමට පුළුවන. මේ සඳහා ප්ලාස්ටික් සැත්කම් මගින් ඉතා සාර්ථක ප්‍රතිකර්ම පවතී.

 


● නාසයේ බාහිර පෙනුම අවලස්සනවීම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ඔබ දකින්නේ කෙසේද?

කෙනකුගේ නාසය මුහුණේ ඇති අවධානය යොමුවන ප්‍රධානතම අංගයකි. සුන්දර නාසයක් පිහිටීම කෙනකුගේ රූපලාවන්‍යය බෙහෙවින් වැඩිකරයි. නාසය ප්‍රධාන වශයෙන් මුහුණේ ස්වභාවයට සහ ප්‍රමාණයට ගැළපීම වැදගත් වේ. කුඩා ප්‍රමාණයේ මුහුණට විශාල පළල් නාසයක් තිබීම අවලස්සන ස්වභාවයක් පෙන්නුම් කරයි. නාසයේ ප්‍රමාණය ගැන කතා කිරීමේදී එහි දිග, පළල සහ උස ගැන සිතීම වැදගත්. එම ප්‍රමාණවල අනුපාතය ගැළපෙන ආකාරයෙන් තිබිය යුතුය. 


එසේම නාසයේ මුදුන (Dorsum of nose) තියුණුව සහ කෙළින්ම තිබීම වැදගත්. එය වක්‍රම උඩට නෙරා තිබීම හෝ පැතලි ස්වභාවය ගැනීම සුන්දර වන්නේ නැහැ. එපමණක් නොව නාසයේ කෙළවර හෙවත් නාසික අග්‍රය (Tip of nose) තියුණුව සහ සුන්දර ලෙස ඉදිරියට නෙරා තිබීම ඉතා ප්‍රියජනක නාසයක තිබිය යුතු වේ. එලෙසම නාස් පුඩුවේ (Nasal Orifice) ප්‍රමාණයට ප්‍රමාණත්මකව 
මුහුණේ පළලට සහ තොල් දෙකේ ප්‍රමාණයට ගැළපිය යුතු වේ. 


● නාසයේ මෙම අවලස්සන ස්වභාවය ප්ලාස්ටික් සැත්කම් මගින් සකස් කරන්නේ කෙසේද?
පළමුවෙන්ම කිව යුතුයි අනතුරකින් නාසයට සිදුවන අනතුරක් නැවත යථා තත්ත්වයට පත්කිරීම ක්‍රි.ව. 6 වන සියවස දක්වා දිව යන්නකි. එවකට ඉන්දියාවේ විසු  සුශ්රුත නම් වෛද්‍යවරයා අනතුරකින් විකෘති වූ නාසයකට සැත්කම් සිදුකර තිබෙන බව සඳහන් වෙනවා. නාසයේ බාහිර පෙනුම වර්ධනය කිරීමට, නැවත යථා තත්ත්වයට පත් කිරීමට විශේෂඥ දැනුම සතු වන්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ටය.
මෙය තරමක් සීරුවෙන් කළයුතු සියුම් සැත්කමක් කිවහොත් නිවැරැදිය. මෙහිදී පිටතට කැළලක් නොපෙනන ලෙස සූක්ෂමව නාසය ඇතුළත බිත්තියෙන් දමන කැපුම් මගින් නාසයේ කාටීලේජීය ව්‍යුහය නිරාවරණය කෙරෙන අතර ඉන් පසුව නාසයේ අවලස්සන ස්වභාවය නැතිකොට සුන්දර නාසයක් ප්‍රති නිර්මාණය කිරීමේ කර්තව්‍ය කළ හැකිය. 


● මෙසේ සිදුකරන සැත්කම් සවිස්තර වශයෙන් පැවසිය හැකිද?
පෙර පැවසූ පරිදි නාසයේ අලංකාර වූ පෙනුම ඇති කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු අංග කිහිපයක් ඇත. පළමුව අංගය වනුයේ නාසයේ මුදුනතයි. (Dorsum of nose) මෙය සමහරුන්ගේ උසට වක්‍ර වී වක් වූ නාසයක්  ලෙස පෙනීමට පුළුවන. (Dorsal hump deformity) මෙම ස්වභාවය සාර්ථක ලෙස නිවැරැදි කළ හැකිය. මෙහිදී නාසයේ අස්ථිමය කොටසේ උඩට නෙරා ඒමේ කාටිලේජ කොටසේ උසට නෙරාඒම ඉවත්කොට සෘජු නාසික මුදුනක් ලබාදිය හැකිය. (Dorsal hump correction) ශ්‍රී ලංකාවේ බොහෝ අයගේ නාසයේ මුදුනත අසාමාන්‍ය ලෙස පැතලි හෝ ඇතුලතට එබුණු ස්වභාවයන් පවතී. මෙය අපි Saddle nose deformity  ලෙස හඳුන්වන්නෙමු. මෙම තත්ත්වය ඇති කෙනකුගේ පර්ශ්‍ර කූඩුවේ (Rib cage) සුදුසු තැනකින් ලබා ගන්නා කාටිලේජ එම පැතලි වූ නාසයේ මුදුනතට විශේෂ ක්‍රම මගින් ඇතලු කිරීමෙන් එම තත්ත්වයට ප්‍රතිකාර කළ හැකිය.  (Nasal augmentation) මෙමගින් පැතලි වු නාසය උස් වූ සහ සෘජු අලංකාර නාස බවට පත්කළ හැකිය.


මීට අමතරව නාසික අග්‍රය පැතලි ස්වාවයක් ගැනීමත් නාසයේ මැද බිත්තියේ ඇති යම් කිසි ඇදවූ ස්වභාවය නිවැරැදි කළ හැකිය. මේ සඳහා නාසයේ මැද බිත්තියෙන් ලබා ගන්නා කාටිලේජ ඉතා සූක්ෂම ලෙස නාසයේ මැද බිත්තිය කෙළින් කිරීමටත් (Septoplasty) නාසික අග්‍රය අලංකාර ලෙස ඉදිරියට නෙරාඑන ලෙස සැකසීමටත් යොදා ගත හැකියි. 


● මෙම සැත්කම් සඳහා කෘත්‍රිම ප්ලාස්ටික් කොටස් භාවිත කරන්නේ නැද්ද?
බොහෝ දෙනා විස්වාස කරන්නේ ප්ලාස්ටික් සැත්කම් යනු ප්ලාස්ටික් සිරුරට ඇතුලුකර සිදුකරන සැත්කම් ලෙයසි. සත්‍ය වශයෙන් සිලිකොන් වලින් සාදන ලද අවයව කොටස් භාවිතකිරීමෙන් මෙම සැත්කම් කළ හැකියි. එහිදී ශරීරයේ පර්ශ්‍ර කූඩුවෙන් කාටිලේජ ලබා ගැනීම කරන්නේ නැත. නාසයේ මුදුනතට නාසයේ කෙළවරට සාදන ලද සිලිකොන් කෘත්‍රිම අංග  සැත්කමකින් නාසයට ඇතුල් කළ හැකියි. මෙය සමහර ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් සිදු කළත් දැනට ලෝකයේ මෙය ඉතා අඩුවෙන් සිදුකෙරෙන බව කිව යුතුයි. 


පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන්ගේ නාසයට සිලිකොන් කොටසක් ඇතුල්කර සිදුකළ සැත්කම ඒවා භාවිතයේ ඇති අනිටු විපාක ඉතා මැනවින් පැහැදිලි කරයි. මයිකල් ජැක්සන් තමාට අවශ්‍ය මුහුණේ ස්වභාවය එමගින් ලබාගත්තත් එම සිලිකොන් කොටස නාසයෙන් ඉවතට පැමිණීම නිසා ඔහුගේ නාසයේ ස්වභාවය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි තත්ත්වයට පත්වූවා. මෙමගින් දැඩි කල කිරීමට හා මානසික අවපීඩනයට ලක් වූ ඔහු දිගින් දිගටම අන්තරාගත ඖෂධ එන්නත් කර ගැනීමට පෙළමුණා. අවසානයේ ඔහුට ජීවිතයෙන් පවා සමුගැනීමට පවා සිදුවිය. එබැවින් සිලිකොන් යොදා ගැනීමෙන් කරන සැත්කම් සාර්ථකව කළහැකි වූවත් අනිටු විපාක ඉතා ඛේදනීය විය හැකිය. 


● මෙම සැත්කම්වල වෙනත් අතුරු ආබාධ තිබේද?
කෙනකුගේ ශරීරයේ කාටිලේජ ලබාගෙන කරන සැත්කම් වලින් අතුරු ආබාධ ඇතිවීම ඉතාම දුර්ලභ බව කිව යුතුයි. වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා සිහිනැති කිරීමේදී ඇතිවන අවදානම් තත්ත්වය ද ඉතාමත් අඩු බවද මෙහිදී සඳහන් කළ යුතුය. 


● සැත්කමක් නොකර නාසයේ පෙනුම වර්ධනය කළ හැකියද?
ඇත්තෙන්ම මෙය කළ හැකියි. දැනට මුහුණේ පෙනුම වෙනස් කිරීමට Fillers හෙවත් පිරවුම් භාවිත කෙරෙයි. මෙය කෘත්‍රිම ද්‍රව්‍යයක් නොවේ. අපේ ශරීරයේ ව්‍යුහාත්මක සංඝටකයක්  (Hyaluronic acid) භාවිත කෙරෙයි. මෙම Fillers එන්නත් මගින් නාසයේ වැඩි දියුණු කළ යුතු ප්‍රදේශවලට එන්නත් කොට සාර්ථක ලෙස මෙය සිදුකළ හැකිය. එහෙත් එම (Hyaluronic acid) සංඝටකය ශරීරයෙන් කෙමෙන් අවශෝෂණය වී මාස හයක් පමණ ගතවනවිට නැවත එන්නත් කිරීමට සිදුවේ.


ඔබ ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධව යම් දැනුමක් ඇති කෙනෙක්නම් මේද පටක එන්නත් කිරීමෙන් මෙය සිදුකළ නොහැකිදැයි සිතෙන්නට පුළුවන. න්‍යායාත්මකව එය කළ හැකි විය යුතු වුවත් ප්‍රායෝගික එසේ නොකෙරේ. ප්‍රධාන වශයෙන්ම මේ සඳහා හේතු වනුයේ එන්නත් කළ මේද පවන නැවත ශරීරයට අවශෝෂණය වීම අසමමිතිකව සිදු විය හැකි නිසා එමඟින් නාසයේ නව විකෘතිතාවයන් ඇතිවිය හැකි වීමය. එබැවින් මෙ ක්‍රමය එතරම් සාර්ථක නොවන බව කිව යුතුයි. 

 

සටහන:- සුසාර සංජීව


 

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Next

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

Realted Post

Leave a comment