පොල් වතුරෙන් රූපලාවන්‍ය සත්කාර
සමටත් කෙස් කලඹටත් පොල් වතුර භාවිත කළ හැකිද?
පොල් වතුර පානය කිරීමෙන් පමණක් නොව, ඇතැම් සාම්ප්‍රදායික බාහිර සත්කාර සඳහා ද පොල් වතුර භාවිත කළ හැකියි. විශේෂයෙන් සම සහ හිස්කබල සඳහා සරල සත්කාර කිහිපයක් නිවසේදී අත්හදා බැලිය හැකි බව ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත පවසයි.
කෙසේ වෙතත්, ඕනෑම ස්වභාවික ද්‍රව්‍යයක් සමට හෝ හිස්කබලට යෙදීමට පෙර එය තමන්ගේ සමට ගැළපේදැයි පරීක්ෂා කිරීම වැදගත්ය.
ස්වභාවික ටෝනර් එකක් ලෙස
මුහුණ සේදීමෙන් පසු නැවුම් පොල් වතුර ස්වල්පයක් පුළුන් කැබැල්ලකට ගෙන මුහුණ මත මෘදුව ආලේප කළ හැකියි. එය ස්වභාවිකව වියළෙන්නට හැරිය හැකියි.
සමේ කැසීම, දැවිල්ල හෝ රතු වීමක් ඇති වුවහොත් එය වහාම සෝදා ඉවත් කර නැවත භාවිත නොකිරීම සුදුසුය.
සමේ පැහැය සඳහා
පොල් වතුර ස්වල්පයකට කස්තුරි කහ සහ කඩල පිටි මිශ්‍ර කර මුහුණේ ආලේප කළ හැකියි. වියළුණු පසු මෘදුව සෝදා ඉවත් කරන්න.
සතියකට වරක් පමණ මෙවැනි සත්කාරයක් කිරීම ප්‍රමාණවත් වේ. සංවේදී සමක් ඇති අය මුහුණට යෙදීමට පෙර කුඩා ප්‍රදේශයක පරීක්ෂා කිරීම වැදගත්ය.
හිරු රශ්මියෙන් දැවිල්ල ඇති සමට
හිරු රශ්මියට නිරාවරණය වීමෙන් සමේ දැවිල්ලක් හෝ අපහසුතාවක් ඇති වූ විට පොල් වතුර ස්වල්පයක් ආලේප කිරීමට ඇතැම් අය භාවිත කරති.
කෙසේ වෙතත්, දැඩි sunburn තත්ත්වයක්, බිබිලි ඇතිවීමක් හෝ වේදනාවක් තිබේ නම් නිවසේ සත්කාරවලට පමණක් සීමා නොවී වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.
සමේ මෘදු බව රැකගැනීමට
ඉදුණු අලිගැටපේර මදයට පොල් වතුර ස්වල්පයක් මිශ්‍ර කර සම මත ආලේප කළ හැකියි.
ස්නානය කිරීමට පෙර විනාඩි 20ක් පමණ තබා පසුව සෝදා ඉවත් කළ හැකියි.
සමේ කැසීම් හා පළු සඳහා
කහ කුඩු ස්වල්පයකට පොල් වතුර මිශ්‍ර කර සමේ කුඩා ප්‍රදේශයක ආලේප කිරීම ඇතැම් සාම්ප්‍රදායික සත්කාරවල දක්නට ලැබේ.
විනාඩි 20ක් පමණ තබා සෝදා ඉවත් කළ හැකි වුවත්, සමේ ආසාදනයක්, තුවාලයක්, දැඩි කැසීමක් හෝ පළු ඇතිවීමක් තිබේ නම් මෙවැනි සත්කාර මත පමණක් රඳා නොසිට වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.
කෙස් කලඹට පොල් වතුර
පොල් වතුර හිස්කබල සහ කෙස් කලඹ සඳහා ද ඇතැම් සත්කාරවල භාවිත කළ හැකියි.
හිස්හොරි සඳහා
පොල් වතුරට දෙහි යුෂ බිංදු කිහිපයක් එකතු කර හිස්කබලේ ආලේප කළ හැකියි.
විනාඩි 30ක් පමණ තබා පසුව සෝදා ඉවත් කරන්න.
හිස්හොරි දිගින් දිගටම පවතින්නේ නම් හෝ හිස්කබලේ රතු වීම, තුවාල වීම හෝ දැඩි කැසීමක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.
කන්ඩිෂනර් එකක් ලෙස
ෂැම්පු කර හිසකෙස් සෝදා අවසන් වූ පසු පොල් වතුරින් හිසකෙස් සෝදා විනාඩි 10ක් පමණ තබා ඇල් වතුරෙන් සෝදා ඉවත් කළ හැකියි.
මෙය හිසකෙස් මෘදු කර ගැනීමට උපකාරී වන සරල බාහිර සත්කාරයක් ලෙස භාවිත කළ හැකියි.
අකලට හිසකෙස් ගැළවීම සඳහා
පොල් වතුරට අවශ්‍ය ප්‍රමාණයට උළුහාල් දමා පෙඟෙන්නට හැර හොඳින් අඹරා හිස්කබලේ ආලේප කළ හැකියි.
මෘදුව සම්බාහනය කර විනාඩි 20ක් පමණ තබා මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා ඉවත් කරන්න.
හිසකෙස් අසාමාන්‍ය ලෙස හෝ අධික ලෙස ගැළවෙන්නේ නම් එයට හේතුව පෝෂණ ඌනතා, හෝමෝන වෙනස්කම්, හිස්කබලේ රෝග හෝ වෙනත් සෞඛ්‍ය ගැටලුවක් විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.
අවසානයේ මතක තබාගන්න
මෙවැනි බාහිර සත්කාර සඳහා පොල් වතුර භාවිත කරන විට හැකි තරම් නැවුම්, ස්වභාවික පොල් වතුර භාවිත කිරීම සුදුසුය.
පොල් වතුර තමන්ගේ සිරුරට හෝ සමට නොගැළපෙන බවක් දැනුණහොත් භාවිතය නතර කරන්න. සමේ හෝ හිස්කබලේ පවතින රෝගයකට මෙවැනි සත්කාර වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට භාවිත නොකළ යුතුය.
විශේෂයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, පීනස වැනි තත්ත්වයන් පවතින අවස්ථාවල පොල් වතුර භාවිතය සම්බන්ධයෙන් තමන්ගේ සිරුරේ ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීම වැදගත්ය.
සටහන - මහේෂානි මීගහපොල
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

Leave a comment