මුහුණටත් කලින් වයසට යන දෑත්

 

හොඳින් පිරිසුදු කරගෙන තෙත මාත්තු කරගත් දෑත්වල මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කිරීමෙන් දෑත්වල තෙතමනය රැකගැනීමට පුළුවන 

 

 

වයසටත් කලින් දෑත් වයසට යෑමේ ගැටලුව වැඩිපුරම තිබෙන්නේ කාන්තාවන්ට ය. බොහෝ විට වයස අවුරුදු තිහ පසු වූ විට මුහුණ, අත් පා පැහැපත් ලෙස තිබුණත් දෑත්වල ඇඟිලි සහ මතුපිට තරුණබව නොපෙනීම බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවකි. එහෙත් කාන්තාවක් විදියට තරුණ පෙනුමට ලස්සනට ඉන්න නම් මුහුණට වගේම තමන්ගේ දෑත්වලටත් අවධානයක් දිය යුතුය. විශේෂයෙන් රැකියාවක් කරන කාන්තාවක් නම් සෑමවිටම තවත් අයෙකු ඉදිරියේ වැඩ කටයුතු කරන විට නිතර තමන්ගේ දෑත ප්‍රදර්ශනය වන නිසා පියකරු දෑතක් තබා ගැනීම හොඳ පෞරුෂත්වයක් ගොඩ නඟා ගැනීමටද හේතු වේ. එසේනම් වයසට කලින් දෑත් වයසට යන්නේ කොහොමද? ඒ සඳහා මොකද කරන්නේ කියලා දැනගනිමු.
 


දෑත් ඉක්මනින් වයසට යන්නේ ඇයි? 
කාන්තාවන් නිවෙසේ සහ මුළුතැන්ගෙය තුළ ජලය සමග කරන වැඩ ප්‍රමාණය වැඩි ය. විශේෂයෙන් නිතර ජලයෙන් දෑත් සේදෙන විට වියළීම තවත් වැඩි වේ. ඒ වගේම දෑත, අත්ල ඇඟිලි මතුපිට ඉතා සියුම් නිසා විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු සබන්, ෂැම්පු වර්ග නිතර පාවිච්චි කිරීමෙන් දෑත්වල තිබෙන තෙතමනය ඉවත් වී රළුවීම, වියළීම, ඉරිතැළීම, රැලි වැටීම සිදු වේ. මේ තත්ත්වය විෂබීජ නාශක දියර භාවිතයෙන්ද සිදුවීමට පුළුවන. ඒ නිසාම තරුණ බොහෝ දෙනකුගේ මුහුණ සහ සිරුරේ හොඳ පියකරුබවක් දකින්නට ලැබුණත් දෑත්වල ඒ පියකරුබව දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. 

 


ඒ වගේම වයසට යන විට දෑත් වියපත්වීම ස්වාභාවික ය. එහෙත් වයසට යන විට මුහුණ රැලි වැටෙන ස්වභාවය අවම කර ගැනීමට බොහෝ දෙනෙක් විවිධ සත්කාර කරති. එහෙත් මුහුණට දෙන සැලකිල්ල දෑත් වලටත් දෙනවා නම් වයසට යනවිට දෑත් රැලි වැටීමේ තත්ත්වය අවම කරගැනීමට අපහසු නැත. දෑත් සඳහා වෙනම සත්කාර කිරීමට කාලයක් නැතිනම් දිනපතා මේ සුළු සත්කාර හෝ සිදු කරන්න. 

 


කළ හැකි සත්කාර 
පිළිවෙළකට නිය වවා තියන හෝ නිය පිළිවෙළකට කපා ඇති ප්‍රියමනාප අත් දෙකක් දිහා ඕනෑම කෙනෙක් දෙපාරක් බලන්න අමතක කරන්නේ නැත. ඒ සඳහා මූලිකම දේ වන්නේ දෑත් ඉතා පිරිසුදුව තබා ගැනීමයි. 

 


දෑත් පිරිසුදු කරන හැටි 
දෑත් පිරිසුදු කරගැනීමට විවිධ සැර රසායන සංඝටක අඩංගු සබන් වර්ග ෂැම්පු වර්ග කිසිසේත්ම යොදා නොගත යුතුය. ඒ සඳහා නිතරම භාවිතා කළ යුත්තේ හොඳ  චය අගයක් සහිත දෑත් සඳහාම නිපදවා තිබෙන ප්‍රමිතියෙන් උසස් දෑත් සේදුම් කාරකයකි.

 

උපදෙස් - 
චාන්දනී බණ්ඩාර

 

ඒ වගේම දෑත් තෙත් කරන සෑම විටකදීම අමතක නොකළ යුතු දෙයක් තිබේ. එනම් පිරිසුදු පැනල් රෙදි කඩකින් දෑත්වල වතුර හොඳින් තෙත මාත්තු කිරීමයි. මෙය වැඩි දෙනෙක් ඒ තරම් උනන්දුවක් දක්වන්නක් නොවේ. එහෙත් සම අධික ලෙස වියළීම, අඳුරුවීම අවම කර ගැනීමට නම් මේ පුරුද්ද ඉතා වැදගත් වේ. 


එසේ හොඳින් පිරිසුදු කරගෙන තෙතමාත්තු කරගත් දෑත්වල හොඳමොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කිරීමෙන් දෑත්වල තෙතමනය රැකගැනීමට පුළුවන. ඉතාමත් කාර්යබහුල කාන්තාවක් නම් දවසේ විටින් විට මේ ක්‍රමය අනුගමනය කිරීම පහසු නැත. ඔබ එවැනි කාර්යබහුල කෙනකු නම් රාත්‍රියේ වැඩ නිමවී නින්දට යන විට පහසුවෙන්ම කරන්නට පුළුවන් සත්කාර කිහිපයක් තිබේ. 


උයන පිහන කටයුතු අවසන් වූ පසු මුලින්ම හැකියාවක් තියනවානම් දෙහි ලෙල්ලක් රැගෙන හොඳින් වලයාකාරව දෑතේ සම මතුපිට සහ නිය අතුල්ලා පිරිසුදු කරන්න. 


ඉන්පසුව නැවත දෑත් සෝදන දියරයකින් මෘදුව දෑත් සෝදාගෙන හොඳින් තෙත මාත්තු කරගන්න. 


දැන් තෙත මාත්තු කරගත් දෑත වියලෙන්නට කලින් දෑත් සඳහා සුදුසු මොයිස්චරයිසින් ක්‍රීම් එකක් හොඳින් ආලේප කරගෙන මාරුවෙන් මාරුවට විනාඩි පහක් පමණ ඇඟිලි තුඩුත් සමඟ දෑත සම්බාහනය කරගන්න. නිදාගැනීමට ඇඳට ගිය පසුවද ඔබට මෙය කළ හැකිය. කාර්ය බහුල කෙනකු නම් මේ ක්‍රම හෝ දිනපතා කිරීමට පුරුදු විය යුතුය.


ඊට අමතරව කාලය තිබෙන වෙලාවට සතියකට දෙවරක් හෝ දෑත්වල කියුටිකල් ප්‍රදේශ හොඳින් පිරිසුදු කරගෙන, දෑතේ මැරුණු සම ඉවත් කරගත යුතුය. මැරුණු සම ඉවත් කර ගැනීම සඳහා හොඳ ප්‍රමිතියක් ඇති ස්ක්‍රබ් එකක් හෝ නිවසේදී සාදාගත හැකි කෝපි ස්ක්‍රබ් (කෝපි ස්වල්පයකට රතු සීනි ස්වල්පයක්, දෙහියුෂ ටිකක් එකතු කරගන්න) භාවිත කළ හැකිය. පසුව හොඳින් පිරිසුදු කරගත් දෑතේ කලින් පරිදිම හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න. එමෙන්ම නිය ආලේපන ගල්වා ඇත්නම් ඒවා පරෙස්සමින් ඉවත් කර පසුව ඔලිව් තෙල් ටිකක් නිය මත ගල්වා හොඳින් සම්බාහනය කිරීමෙන් නැවත නිය ප්‍රදේශයේ ප්‍රාණවත්බවක් ඇති කරගත හැකිය.


දිනපතා කළ හැකි සත්කාර කරන අතරතුර, මේ විදියට සතියකට වරක් හෝ මැරුණු සම ඉවත් කරගෙන පිරිසුදු කරගත හැකිනම් පැහැපත් සුමුදු දෑතක් හිමිකරගැනීම සිහිනයක් නොවේ. 
 


සටහන - නයනා උදයංගනී


                   

 

 

     
      

 

සෝමසිරි මැදගෙදර Read Previous

සෝමසිරි මැදගෙදර

සෝමසිරි මැදගෙදර Read Next

සෝමසිරි මැදගෙදර

Realted Post

Leave a comment