යන කෙස් නවත්වන මන්තරේ


නිරෝගී හිසකෙස් රුවට ලස්සන කරන  ආභරණයක් වගේම මානසික සුවය ගෙන එන්නත් හේතුවක්. එහෙත් වර්තමානයේ නිරෝගී කෙස් කලඹක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. හිසකෙස් ගැලවීයාම සහ අකලට සුදුවීම වැඩි දෙනෙකුට ඇති ගැටලූවක්. කෙසේ වුවත් ඔබට නිරෝගී ලස්සන කෙස් කළඹක්  ඕනෑ නම් මුලින්ම තිබෙන කෙස් කලඹට ආදරේ කළ යුතුයි. එබැවින් කෙස් කලඹට ආදරේ කරන්නේ කොහොමද කියල කතා කරමු.  

ඔබේ හිසකෙස් මොන වගේද? 

හොඳ නිරෝගී හිසකෙස් තිබීම ගැහැනුු පිරිමි දෙපාර්ශ්වයටම වැදගත්. කෙස් කලඹක් නිරෝගී යැයි කියන්නෙ කොහොමද? ඔබේ හිසකෙස් මත තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන ස්වභාවයක් ගන්නවා නම්, හිසකෙස් අග පැළී නැතිනම්, පීරන විට කැඩෙන්නේ නැතිනම්, හිසකෙස් හොඳ දීප්තිමත් කළු පැහැයකින් යුතු නම්, ඔබට තිබෙන්නේ නිරෝගී කෙස් කලඹක්. එහෙත් හිසකෙස් තුනී නම්, අග පැලෙනවා නම්, හිසකෙස් ගානබවින් අඩු නම්, හිස් කබලේ කෙස් අඩු නම්, ඔබේ කෙස් කලඹ නිරෝගී නොවන බවත් එයට පෝෂණය අඩු බවත් තේරුම් ගැනීම වැදගත්.

අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවෙන්නේ ඇයි?

ඔබ නොසිතුවත් හිසකෙස් ගැලවී යාමට හේතු බලපානවා. ඒ නිසයි ඔබ හිසකෙස්වලට මොනතරම් ප‍්‍රතිකාර කළත් හරි ප‍්‍රතිඵලයක් නොලැබෙන්නේ.  සිතේ සතුට සහ මානසික නිදහස්බව හිසකෙස්වල නිරෝගීතාවට සෘජුවම බලපාන බව දන්නවාද? ඔබ ඉන්නේ පීඩනයකින් නම්, හරියට නින්දක් නැතිනම්, නිතර කල්පනා කරනවා නම්, මනස නිදහස් නැත්නම් මේ තත්ත්වය අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාමට හේතුවක් වෙන්න පුළුවන්.
ඒ වගේම ඔබ නිතර හිසකෙස්වලට යොදන හෙයා ස්පේ‍්‍ර වර්ග, කොණ්ඩ මොස්තර සඳහා භාවිතා කරන නොයෙකුත් ජෙල් වර්ග, හිසකෙස්වලට නොගැළපෙන ෂැම්පු භාවිතය, ක්ලෝරීන් ජලය ආදී හේතු නිසාත් හිසකෙස්වලට සහ හිස් කබලට සිදුවන හානිය සුළුපටු නැහැ. 
අධික අව් රශ්මියට නිරාවරණයවීමත් හිසකෙස් පලූදු වෙන්න ප‍්‍රධාන හේතුවක්. නෑමෙන් පසු තෙත කොණ්ඬේ ගැටගසාගෙන සිටීම, විදුලි උපකරණ මඟින් තෙත කොණ්ඩය කෘත‍්‍රිම ලෙස වියළීම ආදියත් හිසකෙස් හානීවීමට බලපානවා.

වැරදි තෙල් සත්කාරය

තෙල් සත්කාරය නිරෝගී කෙස් කලඹක් වෙනුවෙන් කළ යුතුම ප‍්‍රතිකාරයක්. එහෙත් හුඟදෙනකුට මේ ගැන තිබෙන්නේ වැරදි අවබෝධයක්. ඒ නිසා වැඩි දෙනෙක් හිසකෙස්වල තෙල් ආලේප කරන්නේ නෑමට කලින්. එහෙත් ආයුර්වේදී ක‍්‍රමයට අනුව නම් ඒ ක‍්‍රමය වැරදියි. ඊට අනුව නම් දිගුවන් නිරෝගී කෙස් කලඹකට තෙල් සත්කාර කරන්න  ඕනෑ ස්නානය කර කොණ්ඩය වියැළුණු පසුවයි. එහිදී හිස් කබලට තෙල් දමා නිවැරදි ක‍්‍රමයට සම්බාහනය කිරීම වැදගත්. 
මොනතරම් හොඳ ආයුර්වේදී තෙලක් වුණත් හිසෙහි ගල්වන්න  ඕනෑ ඩබල් බොයිල් ක‍්‍රමයට තෙල් රත්කිරීමෙන් පසුවයි. හිසකෙස් වර්ධනය ඉක්මන් වෙන්න එය හේතුවක්. ඒ වගේම හිස් කබලට තෙල් වැඩිපුර දැමීමෙන් හිසකෙස් වර්ධනය වෙන්නෙ නැහැ. හිසකෙස් කියන්නේ අජීවී කොටසක් නිසා හිසකෙස් අගට තෙල් දැමීමෙන් කේශ මූලය වර්ධනය වන්නෙත් නැහැ. දැමිය යුතු තෙල් ප‍්‍රමාණය එක් එක් අයගේ හිසකෙස්වල ස්වභාවය මත තෙල් වෙනස්වනවා.

නිවෙසේදීම ප‍්‍රතිකාර 

ආමන්ඞ් මේස හැදි  4 ක්
බිත්තර 1 ක්

සාදන ආකාරය

මුලින්ම ආමන්ඞ් තෙල් තේ හැඳි 4 ක් පිරිසුදු භාජනයකට දමා ඉටිපන්දමක් පත්තු කර ඒ ආධාරයෙන් මඳක් රත් කරන්න. ඉන්පසු බිත්තරය එම රත් වූ තෙල් සමග හොඳින් මිශ‍්‍ර කරන්න. 
හිසකෙස් කොටස් කර පිරා හොඳින් ගැට ඉවත් කර මිශ‍්‍රණය සුමුදුව හිසකෙස්වල ආලේප කර විනාඩි 45කට පමණ පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා පිරිසුදු කරන්න. ඉන්පසු ෂැම්පු දමා සෝදා හැර කන්ඞ්ෂනර් දමන්න. ෂැම්පු හිස් කබලට කෙලින්ම දාන්නේ නැතිව අල්ලට ගෙන එයට වතුර බිංදු කීපයක් කවලම් කර ගලවන්න. සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ග මිලදී ගන්න. 
හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක්  පොතු  සහ ඇටේ ඉවත් කර පිරිසුදු භාජනයකට දමාගන්න.  එයට පිරිසුදු පොල් තෙල් මේස හැඳි 4 ක් එකතු කරන්න.  ක‍්‍රීම් එකක් වෙනතුරු හොඳින් ගෑරුප්පුවෙන් ගසාගෙන හිසේ ආලේප කරන්න. විනාඩි 45කට පසු හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඒ සඳහා  ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කරන්න. 
සුදු කැකුළු සහල් මිටක් ගෙන හොඳින් සෝදා රැයක් පෙෙඟන්න හරින්න. පසුදා  එම පෙඟුණු සහල්වලට ගා ගත් පොල් මිටක් දමා  බ්ලෙන්ඩර් කරගන්න. මඳ වශයෙන් ක‍්‍රීම් එකක් ආකාරයෙන් ගෙන හිස හොඳින් ගැට හැර පීරාගෙන එම මිශ‍්‍රණය ගල්වා විනාඩි 30කට පසු සෝදා ෂැම්පු දමා පිරිසුදු කරන්න. මෙසේ සේදු හිසකෙස් සඳහා මඳක් කන්ඩිෂනර්  කිරීම ප‍්‍රමාණවත්. සුදු හාල් සහ පොල් සත්කාරය ඉතාම සාර්ථක ප‍්‍රතිකාරයක් වන අතර,  මේ සත්කාරය සතියකට එක්වරක් හෝ කිරීමෙන් බොහෝ හිසකෙස් ප‍්‍රශ්නවලට නිවැරැදි විසඳුමක් ලබාගත හැකියි.     

සටහන - නයනා උදයංගනී
                   

වයසට යන්න බයවෙන්නෙපා Read Previous

වයසට යන්න බයවෙන්නෙපා

සිරිකත Fashion Read Next

සිරිකත Fashion

Realted Post

Leave a comment