ලස්සන වෙන්නත් ඩොලර් ඕනැද?


 

රූපලාවන්‍ය අවශ්‍යතාව නැති කෙනෙක් නොමැති තරම් ය. ගැහැනු පිරිමි භේදයක් නැතිව හැමෝටම ලස්සනට, නිරෝගීව ඉන්න ජීවිතේ අත්‍යවශ්‍යම අංගයක් බවට රූපලාවන්‍ය පත්වී අවසන් ය. තමන්ගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවලට වගේම, ආත්ම විශ්වාසයෙන් දවසේ වැඩ කටයුතු කරන්න එයින් ලැබෙන්නේ හොඳ සහයෝගයකි. එහෙත් රටේ තිබෙන ඩොලර් ගැටලුව හමුවේ අනෙක් ක්ෂේත්‍රවලට වගේම රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත් විශාල බලපෑමක් එල්ල වී ඇතිබව රහසක් නොවේ. එයට හේතුව මේ වන විටත් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ආලේපන සහ උපකරණ මෙරටට ගෙන්වීම අවම කර තිබීමයි. එයින් හානිය සිදුවන්නේ සේවාදායකයන්ට පමණක් නොවේ. වසර ගාණනාවක් රූපලාවන්‍ය ක්ෂේත්‍රය ජීවන වෘත්තිය කරගත් විශාල පිරිසකට එය පහරක් වී තිබේ. මේ මොහොතේ පවතින රූපලාවන්‍ය උපකරණ සහ ආලේපනවල හිඟකමට මුහුණ දෙන්නේ කොහොමද? තිබෙන දේ රැකගෙන ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? ඒ ගැන කතා කරන්නයි මේ සූදානම.


නවීන ක්‍රම අත්හරින්න පුළුවන් වෙයිද? 
හැඩවැඩ වෙන්න, රුව ලස්සන කරගැනීම අලුත් දෙයක් නොවේ. බුදු හිමියන්ගේ කාලයේ පටන්ම කාන්තාවෝ, තමන්ගේ සිරුර පැහැපත්ව, නිරෝගීව තබාගැනීම වෙනුවෙන් දැක්වූයේ විශේෂ උනන්දුවකි. ජීවිතේ සතුටින් ගත කරන්න, ආත්ම තෘප්තියකින් ජීවත් වෙන්න, රූපලාවන්‍යය ජීවිතේ අත්‍යවශ්‍යම කොටසක් වී තිබේ. එය මොනතරම් ජීවිතයට සමීප වී ඇත්දැයි කීමට හොඳම උදාහරණය අපේ කුඩා කාලයයි. බොහෝ මවුවරුන් දරුවන් පුංචි කාලයේ නාවන විට, වෙනිවැල්, කස්තුරි වැනි ස්වභාවික ඔසු යොදාගන්නේ දරුවාගේ නිරෝගීකම වගේම සම පැහැපත් කරගැනීමටය. ඒ වගේම තවත් සමහරු ඖෂධීය තෙල් වර්ග ආලේප කර දරුවන්නේ අතපය අවයව හැඩ කිරීමට උත්සාහ ගනිති. 
එහෙත් පවතින සමාජ ක්‍රමයත් සමග මේ සියල්ල වෙනස් වෙමින් දියුණු වෙමින් ඇවිත් මීට දශක ගණනාවකට කලින් තිබුණු බොහෝ ක්‍රම නවීන ක්‍රමවලට වෙනස් වී ඇත. වෙනස්වෙන නවීන ක්‍රම සමග ජීවත්වීමට සිදුවීම සාමාන්‍ය ය. එහෙත් එක්වරම ඒ අවශ්‍යතා තමන්ට අවශ්‍ය පරිදි නොලැබෙන විට රූපලාවන්‍ය ශිල්පීන් පමණක් නොවේ ඔවුන්ගේ සේවදායකයිනුත් අසරණ වී ඇත.  

 


රූපලාවන්‍ය උපකරණ හිඟය බලපාන්නේ කොහොමද?
ඕනෑම යුවතියකගේ ජීවිතේ සුන්දරම දිනය ඇය මනාලියක් වන දිනයයි. ඇය මේ සඳහා රූපලාවන්‍ය ශිල්පියා සමග බොහෝවිට සාකච්ඡා කරන්නේ විවාහයට වසරක පමණ කාලයක් කලිනි. එහිදී ඇයට අවශ්‍ය දේවල්, හැඩ ගැන්වෙන්න අවශ්‍ය විදිය පිළිබඳ සාකච්ඡා කරයි. බොහෝ වෙලාවට ශිල්පියා ඒ සඳහා මුදලින් යම් කොටසක් ද ලබාගනී. ලබාගන්නවා. එහෙත් දැන් රටේ පවතින තත්ත්වයත් සමග සේවාදායකයාගේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුකිරීම ශිල්පීන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවකි. විශේෂයෙන් බොහෝ ආලේපන සහ උපකරණ හිඟයත්, මිල අධික වීමත් නිසා කලින් පොරොන්දු වූ මිල ගණන්වලට රූපලාවන්‍ය සේවය ලබාදීමේ ගැටලුද තිබේ. 


රැවුල කැපීම සඳහා යොදාගන්නා දැලි පිහියට භාවිතා කරන බෙහෙතේ සිට සියලුම රූපලාවන්‍ය කටයුතුවලදී යම් අපහසුතාවකට මුහුණ දීමට සිදුවී තිබේ. ඒ නිසා මේ මොහොතේ ශිල්පීන් වගේම රූපලාවන්‍ය ආලේපන භාවිතා කරන ඕනෑම කෙනෙකු තමන් සතුව තිබෙන උපකරණ ඉතාමත් ප්‍රවේසමෙන් වගේම ආලේපන වර්ග අපතේ නොයන විදියට පාවිච්චි කිරීමට උත්සාහ කිරීම නුවණට හුරුය.

 


දැනට ඇති දේ රැකගන්න හැටි  

අදහස් දැක්වීම - ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
සමන්ත ගුණසේකර


බොහෝ රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන අපේ රටේ නිෂ්පාදය නොකරන නිසා ඒවා පිටරටින් මෙරටට ගෙන්වා ගනී. එහෙත් මේ වන විට එහි ගැටලුවක් තිබෙන නිසා තමන් සතුව තිබෙන සම්පත් රැකගැනීම ගැන වෙනදට වඩා උනන්දුවක් දැක්වීම අවශ්‍ය ය. උදාහරණයක් ලෙස කියනවා නම් රූපලාවන්‍ය ආලේපන අතර යුවතියන් නිතර පාවිච්චි කරන ආලේපන ලෙස තොල් ආලේපන, නිය ආලේපන, ෆවුන්ඩේෂන් ක්‍රීම් වර්ග, ඇස් අලේපන, සම පිරිසුදු කිරීම සඳහා යොදාගන්නා ආලේපන වර්ග හැදින්විය හැකිය. 


එහෙත් මීට මාස කිහිපකට කලින් තිබූ තත්ත්වයට වඩා දැන් තිබෙන්නේ වෙනස්ම වටපිටාවකි. සමහර ආලේපන වර්ග වෙළඳපොළේ තිබුණත් මාසයක් දෙකක් ඇතුළත ඒවායේ මිල දෙගුණ තෙගුණ වෙයි. කෙසේ වුවත් නොදැනුවත්වම බොහෝ වෙලාවට ආලේපන අපතේ යෑමද සිදු වේ. උදාහරණයක් ලෙස හිසකෙස් වර්ණ ගැන්වීමේදී, ඒ සඳහා අවශ්‍ය දැනුම, අත්දැකීම තිබේ නම් ඒ සඳහා අවශ්‍ය කරන ආලේපන ප්‍රමාණය ගැන යම්කිසි දැනුමක් රූපලාවනය ශිල්පියාට තිබිය යුතුය. එවිට නාස්තිය අවම වේ.  එහෙත් ඒ පිළිබඳ අවබෝධයක් නොමැතිව අනව්‍ය ලෙස ආලේපන වර්ග වැඩිපුර යොදාගැනීමෙන් අපතේ යාමක් සිදු වේ. විශේෂයෙන් පුළුන් කෑල්ලක් වුනත් පාවිච්චියට ගත යුත්තේ අපතේ නොයන විදියට ය. අවශ්‍යම ප්‍රමාණය නැතිනම් ඒ වෙනුවට, ටිෂු පේපර් එකක්, පිරිසුදු කපු රෙදි කැබැල්ලක් වුවත් පාවිච්චි කිරීමට පුළුවන.


එපමණක් නොවේ සමහර විට ක්‍රීම් වර්ග පාවිච්චි කිරීමේදී වුවත් කෙලින්ම ඇඟිලි තුඩු බෝතලය තුළට දමා ආලේපන ඉවත ගනී. එයින් ආලේපන වර්ග සංයුතිය වෙනස්වීමටද පුළුවනි. ඒ වගේම තොල් ආලේපන පාවිච්චි කිරීමෙන් පසු එහි කොපුව තදින් වසා නොතිබීම, ක්‍රීම් ආලේපනවල පියන් හැරදමා තිබීම, අයි ලයිනර්, පැනසල් ආදියේ කොපු තදින් වසා නොතැබීම වැනි සුළු වැරදි නිසා කල් ඉකුත්වීමටත් පෙර ආලේපන ඉවත්කිරීමට සිදු වේ. එහෙත් මේ මොහොතේ ඒ ගැන හොඳ අවධානයකින් එවා රැකගන්න උත්සහ කළ හැකි නම් අපහසු මොහොතේදී වුවත් පහසුවෙන් රූපලාන්‍ය කටයුතු කරගැනීමට හැකියාව තිබේ. 


 


සටහන නයනා උදයංගනී



   
   
           

           
            
  

අම්මයි  බබයි දෙන්න ම අවදානමේ  වැදෑමහේ ගැටලු Read Previous

අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු

ලග්න පලාඵල Read Next

ලග්න පලාඵල

Realted Post

Leave a comment