ලස්සන වෙන්න ගිහින් මත්වෙන්න වෙයිද?

 


හැමතිස්සෙම සැලොන් යන දියණිය ගැන විමසිල්ලෙන් ඉන්න 

ලස්සන කියන්නේ ගැහැනු ළමයෙකුට ආභරණයක්. ඒ බාහිරින් විතරක් නොවෙයි. රූපයෙන්, කතා බහෙන්, සමාජය සමග කරන ගනුදෙනුවලදී නිරන්තරයෙන් තමන්ගේ ගෞරවය, සමාජ තත්ත්වය ආරක්ෂාවෙන විදියට හැසීරීමෙන් ඒ ලස්සන තවත් වැඩිවෙනවා. ඒ සඳහා අත්වැලක් වෙන රූපලාවන්‍ය කියන්නේ ලෝකයේ ජනප්‍රිය වගේම වැදගත් වෘත්තියක් ලෙස හදුන්වන්න පුළුවනි. 


එහෙත් පසුගිය දිනවල රූපලාවන්‍යාගාර හරහා යුවතියන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්වලට සම්බන්ධවීම් ගැන විවිධ පුවත් අසන්නට ලැබුණා. ඕනෑම ක්සේත්‍රයක උසස් සේවයක් සපයන බොහෝ පිරිස් අතර තමන්ගේ සේවාව අයථා ලෙස පරිහරණය කරන වෘත්තිකයින්ද ඕනෑ තරම් සිටිනවා. ඒ නිසාම වෘත්තියක් ලෙස රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් අතරින් කිහිපදෙනකුගෙන් ඒ ගැන විමසා බලන්න සිරිකත අප අදහස් කළා. 


දියණියක් කෙදිනක හෝ දවසක මවක්, බිරිඳක්, ලෙස සමාජයේ මුලික වගකීමක් දරන භූමිකාවක් දරයි. ඒ නිසාම පවුලෙන් පමණක් නොව ඇයට සමාජයෙන්ද හොඳ ආරක්ෂාවක්, රැකවරණයක් හිමිවිය යුතුයි. එය සමස්ථ සමාජයේම වගකීමක්. විවිධ මත්ද්‍රව්‍යවලට රසිගතව බොහෝ ගැහැනු ළමයින් ඇබ්බැහි වී සිටීම මේ වන විටත් සමාජයට රහසක් නොවෙයි. ඒ නිසා මවුපියන් විදියට තමන්ගේ දියණියන් යන එන, ගනුදෙනු කරන ස්ථානවල ආරක්ෂිතබව තහවුරු කර ගැනීමට අමතක නොකළ යුතුයි. 

 


නීතියෙන් බුරුලක් දෙන්න හොඳ නෑ 

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී සුවිනීතා කොතලාවල


පසුගිය දිනවල ඇතැම් රූපලාවන්‍යගාර තුළින් ගැහැනු ළමයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරගැනීම් පිළිබඳ කතාවක් මාධ්‍යයෙන් දැනගන්න ලැබුණා. මේ නිසා මවුපියන්ට තමන්ගේ දියණිවරුන් රූපලාවන්‍යාගාර වෙත යාමේදී වෙනදට වඩා වැඩි අවධායක් යොමු කළයුතු බවට විවිධ කතාබස් ඇතිවුණා. නමුත් රූපලාවන්‍ය කියන්නෙත් අනෙක් වැදගත් වෘත්තීන් වගේම ඉහළ පිළිගැනීමක් තිබෙන ක්ෂේත්‍රයක්. බහුතරයක් සිටින්නේ තමන්ගේ සේවාව උසස් ලෙස ලබාදෙන්න උත්සහ කරන වෘත්තිකයන්. මේ වන විටත් මේ ක්ෂේත්‍රය අපේ රටේ උසස් වෘත්තියක් බවට පත්වෙලා තිබෙන්නෙත් ඒ නිසාමයි. 


මේ අතරේ තමන්ගේ ව්‍යාපාරය ඇතුළෙ නීති විරෝධී දේවල් කරගෙන යන තැනැත්තන් ඕනෑම ව්‍යාපාරයක, වෘත්තියක ඉන්න පුළුවන්. නමුත් ඒකෙන් පහර වදින්නේ හැමෝටම. එහෙම බලද්දි සමාජයේ අවදානමක් නැති තැනක් නැහැ. ඒ නිසා මුලින්ම මේ මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ කොහෙන්ද? ඒ දේවල්වලට දරුවන් යොමුවෙන්නේ කොහොමද කියලා හොයල බලන එක සමස්ත රටේම වගකීමක්. විශේෂයෙන් අපේ රටේ කාන්තාවන්ට තියෙන්නේ වෙනම ගෞරවයක්. ඒ නිසා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් තදින්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම වුනාම ඕනෑම ක්ෂේත්‍රයක විශ්වාසයෙන් වැඩකරගෙන යෑම පහසුවෙනවා.


 


තමන්ගේ වගකීමෙන් එහා ගනුදෙනු එපා 

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී නයනා කරුණාරත්න


රූපලාවන්‍ය ශිල්පියෙක් කියන්නේ තවත් කෙනෙක් ලස්සන කරන, සුන්දර කරන ශිල්පියෙකුට. නමුත් ඒ උතුම් වෘත්තිය ඇතුළෙ යම් පුද්ගලයෙක් තරුණ දියණියන්, කාන්තාවන් අනවශ්‍ය කටයුතුවලට සම්බන්ධ කරගන්නවා නම්, පොළඹවනවා නම් එය දඩුවම් ලැබිය යුතු වරදක්. මොකද මේ ක්ෂේත්‍රය ලෝකයේ ඉහළ පිළිගැනීමක් තිබෙන වෘත්තියක්. ඒ වගේම මම විශ්වාසයෙන් කියනවා අපේ රටේ බහුතරයක් සිටින්නේ එයට උසස් සාධාරණයක් ඉටුකරන වෘත්තිකයන් පිරිසක්. 


සේවාදායකයෙක් විදියට අපි රූපලාවන්‍ය ආයතනයකින් සේවාවක් ගැනීමට යනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබීම වැදගත්. ඕනෑම ශිල්පියෙක් තමන්ගේ රූපලාවන්‍යගාරය ඇතුළෙ සිදුවන සියලුම කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතුයි. සාමාන්‍යයෙන් ගැහැනු පිරිමි වශයෙන් වෙන්කර නැතිනම් ඕනෑම කෙනෙක්ට මේ ස්ථානයකට යෑමට අයිතිය තිබෙනවා. නමුත් අවශ්‍ය දේ පමණක් ලබා ගැනීම සහ ලබාදීම සේවාදායකයාගේත් ශිල්පියාගේත් වගකීමක්. අදාල සේවයට අමතරව කිසිම දෙයක් අඩුම තරමේ විටමින් එකක් හෝ වෙනත් ඖෂධයක්වත් නිර්දේශ කිරීමේ අයිතියක් රූපලාවන්‍ය ශිල්පියෙකුට නැහැ. එහෙම අනවශය නිර්දේශයක් කිරීම. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති විරෝධී කටයුත්තකට යොමු කරවීම මරණීය දණ්ඩනය හිමිවිය යුතු වරදක් ලෙසයි මම දකින්නේ. රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අතීතයේ හොඳ සමාජ පිළිගැනීමක් තිබුණේ නැහැ. නමුත් අදවන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙලා. ඒ නිසා මේ ක්ෂේත්‍රයට පැමිණෙන නවකයින්ගෙන් වගේම සෑම කෙනකුගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ ඒ තුළින් තමන්ගේ අවංක සේවාව පමණක් ලබාදෙන්න කියලයි. 


 


රූපලාවන්‍යය ආශිර්වාදාත්මක රැකියාවක් 

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර


නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ලෝකයේ සෑම තැනකම සිදුවන්නක්. මොකක් හරි වරදක් සිදු වුනාම නීතිය ක්‍රියාත්මකවීම වෙනුවට සිදුවන්නේ ඒ වටා තිබෙන මුළු පද්ධතියටම පහර එල්ල කිරීමයි. එය අපේ සමාජ රටාවේ තිබෙන වරදක්. රූපලාවන්‍යගාර නමින් කරගෙන යන ගණිකා මධ්‍යස්ථාන පවා සමාජයේ තියෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් සැලෝන් එකක නමක් දාගෙන ඒ ඇතුළෙ වෙන වෙන ව්‍යාපාර කරගෙන යන පුද්ගලයින් ඉන්න පුළුවන්. එහෙම දේවල් ලෝකයේ ඕනෑම ආයතනයක සිදුවෙන්න බැරි නැහැ.  ඒ කොහොම වුනත් මෑත කාලයේ බිහිවෙන රූපලාවන්‍ය ශිල්පීන්ට මේක හොඳ පාඩමක්. මොකද ශිල්පියෙක් විදියට නමක් තියාගන්න නම් සමාජයේ ගෞරවය දිනාගන්න නම්, හැඩගැන්වීම පමණක් ඉගෙනගත්තට මදි. තමන් තමන්ගේ වටිනාකම ගෞරවාන්විතව ගොඩනඟා ගන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න ඕනෑ. 


නගරයකට ගියාම ඕනෑ තරම් රූපලාවන්‍යගාර බොහෝ දැකගන්න පු`ඵවන්. එහෙත් තමන්ට අවශ්‍ය සේවාව සපයා ගැනීමේදී විශ්වාසයෙන් යුතුව එය කර ගැනීමට සුදුසු පුද්ගලයා තොරා ගැනීම සේවාදායකයාගේ වගකීමක්. විශේෂයෙන් මවුපියන්ටත් මෙහිදී විශාල වගකීමක් තිබෙනවා. සත්කාර කර ගැනීමට යාමේදී පමණක් නොවෙයි, දරුවන් රූපලාවන්‍ය සම්බන්ධයෙන් යම් ස්ථානයකට ඉගෙන ගැනීමට හෝ පුහුණුවීමට යනවා නම්, එම ස්ථානයට ගිහින් ඒ ගැන සොයා බැලීම, එම ස්ථානයේ සිදුවන වැඩ කටයුතු ගැන විමසිලිමත්වීම මවුපියන්ගේ වගකීමක්. 


වෛද්‍යවරයෙකුගෙන් පස්සේ මිනිස් සිරුරත් සමග ඉතාමත් සමීපව කටයුතු කරන කෙනා රූපලාවන්‍ය ශිල්පියායි. සල්ලි මත්තේ දුවන සමහර පිරිස් මුදල් සොයන්න මේ ක්ෂේත්‍රය ආයුධයක් කරගෙන තිබෙනවා. එ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් මේ ගැන සොයා බැලිය යුතුයි. 


කොහොම වුනත් රූපලාවන්‍ය ක්ෂේත්‍රය කියන්නේ ආශිර්වාදාත්මක රැකියාවක්. මේ වෘත්තියට පමණක් නොවේ ඕනෑම වෘත්තියකට මුවාවෙලා කෙනෙක් නීති විරෝධි දෙයක් කරනවා නම්, හෝ ඒ ගැන සැකයක් තියනවානම් ඒවා මොනයම් විදියකින් හෝ එළිකරන එකත්, නිසි දඬුවම් ලබාදීමත් සමාජ වගකීමක් කියලයි මම හිතන්නේ.



එක රැයෙන් පොහොසත් වෙන්න හැදුවොත් ගමන කෙටියි 

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී චාන්දනී බණ්ඩාර


රූපලාවන්‍යාගාරයක් ඇතුළත කිසිම ශිල්පියෙකුට හෝ සේවාදායකයකුට තමන්ගේ රජෙකාරි අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ අයිතියක් නැහැ. ඒ වගේම සැලෝන් එකක් කරන කෙනෙකුට හොඳට සල්ලි තියනවා කියලා බොහෝදෙනෙක් හිතනවා. නමුත් මේ ක්ෂේත්‍රය තුළ ඒ ආර්ථික නිදහස ගොඩනඟාගන්න විශාල කැපකිරීමක් කරන්න ඕනෑ. අද මම යම් තැනක සිටිනවා නම් ඒ වසර ගණනාවක කැපකිරීමක් සහ උත්සාහයක ප්‍රතිඵලයක්. සමහර පිරිස් මේ හරහා ඉක්මනින් මුදල් උපයාගන්න උත්සාහ කරනවා. යම් කෙනෙක් මේ වෘත්තියට ආව අලුතම විශාල මුදලක් උපයනවා නම් ඒ ගැන සොයා බලන්න ඕනෑ. මොකද මේ වෘත්තිය එක රැයින් පොහොසත් වෙන්න පු`ඵවන් වෘත්තියක් නොවෙයි. 


ඒ වගේම සැලෝන් එකක් භාවිතා කරනවිටදී දියණියට නම් මවුපියන්ගේ සොයා බැලීමත්, බිරිඳට නම් සැමියාගේ ආරක්ෂාවත් වැදගත්. සුන්දර වෙන්න කාන්තාවෝ බොහොම ඇලුම් කරන නිසා විවිධ රැවටීම්වලට හසුවීමට තිබෙන ඉඩකඩ වැඩියි. 


“මේ බෙහෙත් එක පාවිච්චි කළොත් සති තුනෙන් කෙට්ටු වෙන්න පු`ඵවන්.” 


“මේ විටමින් එක බිව්වොත් ඉක්මනටම සම සුදු කරගන්න පු`ඵවන්.” 


මේ වගේ දෙයක් අහන්න ලැබුණොත් ඉක්මනින්ම එය අත්හදා බලන්න විශ්වාස කරන්න කාන්තාවෝ පෙලඹෙනවා. යම් ශිල්පියෙක් ඒ විදියේ මොනයම් හෝ නිර්දේශයක් කරනවා නම් ඒ ගැන සම්පූර්ණයෙන්ම සොයාබලා භාවිතා කිරීමේ අයිතිය තිබෙන්නේ සේවාදායකයාට. ඒ නිසා ආලේපනයක් හෝ භාවිත කරනවා නම් ඔබේ රූපලාවන්‍ය ශිල්පියා නිර්දේශ කළ පමණින් එය භාවිත නොකර ඒ සඳහා ඇති ප්‍රමිතිය, වෛද්‍ය නිර්දේශ මේ සියල්ල සොයාබලා පාවිච්චි කරන්න ඕනෑ. ඕනෑම වෘත්තියක් තුළ නොමනා විදියට මුදල් උපයන පිරිස් සිටින්න පු`ඵවන්. නමුත් හරි දේ තෝරාගන්න වගකීම ගැන අවදියෙන් සිටීම හැමෝගෙම වගකීමක්.



රූපලාවන්‍ය ආලේපනවල මත්ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන්ද?

රූපලාවන්‍ය විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර


මත්ද්‍රව්‍ය අලෙවි කරන හෝ එවා පාවිච්චි කරන වැඩි දෙනෙක් ඒ සඳහා හොයන්නේ කීපදෙනෙක්ට ආරක්ෂිතව එකතු වෙන්න පුළුවන් ස්ථානයක්. ඒ නිසා ඒකට පහසුම ක්‍රමය විදියට රූපලාවන්‍යගාර තෝරාගෙන අනවශ්‍ය කරයුතු කරගෙන යන පිරිස් ඉන්න පුළුවන්. නමුත් රූපලාවන්‍ය නිෂ්පාදන අතර සම නිරෝගී කරගන්න, පාවිච්චි කරන බොහෝමයක් ඖෂධවල අඩංගු වෙන්නේ මල්ටි විටමින් වර්ග පමණයි. කෙනෙක් එවැනි විටමින් වර්ගයක් හෝ ඔසුවක් පාවිච්චි කරනවා නම් ඒහි අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ සොයා බලා පාවිච්චි කළ යුතුයි.  


වෛද්‍ය විද්‍යාවට අනුව නම් සමේ ලස්සන වැඩි කරන ඔසුවල මත්වෙන ද්‍රව්‍ය අඩංගු වන්නේ නැහැ. භාවිතයට නිර්දේශ කර ඇති මත් ඖෂධ වර්ග බොහෝවිට නිර්දේශ කරන්නේ යම්කිසි මානසික ආබාධ සහිත පුද්ගලයින්ටයි. මත්වීම සඳහා මේ පෙති වර්ග අනවශ්‍ය ලෙස මාත්‍රාවකින් තොරව භාවිතයට ගන්න අය සිටිනවා. එවැනි භාවිතයන් වෛද්‍ය විද්‍යාව කිසිසේත්ම නිර්දේශ කරන්නෙ නැහැ. මේ වගේ දේවල් රූපලාවන්‍යගාර ඇතුළත භාවිතා වෙන්නේ නැහැ. කවුරු හරි එහෙම දෙයක් කරනවා නම් එය සම්පූර්ණයෙන්ම නීති විරෝධියි.     

   
 


නයනා උදයංගනී   



 
    
   
             

       
            

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Previous

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Next

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

Realted Post

Leave a comment