හැඩට පේන්න මේ විදියට තෝරගන්න

 

 


ගැහුනු ළමයින්ට වගේම කාන්තාවන් වැඩි දෙනකුට තමන්ට ගැළපෙන නිවැරදි බ්‍රා විලාසිතාව තෝරා ගැනීමේදී විවිධ ගැටලු ඇති වේ. තමන්ගේ සිරුරට ගැළපෙනම බ්‍රා විලාසිතාව තෝරා ගැනීම ඉතා වැදගත් වන්නේ එය නිවැරදි ව තෝරා නොගතහොත් එයින් වෙනත් අපහසුතා රාශියක් ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිවීම ය. ඒ වගේම තමන්ගේ සිරුර හැඩට තබා ගැනීමට වගේම හොඳ පෞරුෂත්වයක් පෙන්වීමටත්, ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමටත් සිරුරේ හැඩයට ගැළපෙන බ්‍රා විලාසිතාව තෝරාගැනීම ගැන අවබෝධයක් සහ දැනීමක් තිබිය යුතුය.

ඔබේ තෝරා ගැනීම ගැළපෙන්නේ නැද්ද?
බොහෝ කාන්තාවන් වයසත් සමග යට ඇඳුම් විලාසිතා ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. ඒ නිසාම සමහර අවස්ථාවල මෙවැනි යට ඇඳුම් භාවිතා කිරීමේදී තමන්ගේ සිරුරේ හැඩයට ගැළපෙන තෝරා ගැනීම් කිරීමට උනන්දුවන්නේ සීමිත පිරිසකි. උදාහරණයක් විදියට කියනවා නම් පපු ප්‍රදේශය මහත අය බොහෝවිට පපු ප්‍රදේශය ලිහිල්වීම වළක්වා ගැනීමට ඉතා තදට සිටින සේ බ්‍රා විලාසිතා තෝරාගනී. එහෙත් එයින් වෙනත් රෝගාබාධ වුවද ඇතිවිය හැකිය. එසේත් නැතිනම් මස්පිඬු පිටතට නෙරාඒම, ඉලස්ටික් බෑන්ඩ් පටියට තෙරපීම නිසා ගැටිති මතුවීම, ඒ නිසා සම අවපැහැ ගැනීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. 


පැඩඩ් බ්‍රා හැමෝටම ගැළපෙනවද?
දැන් වෙළඳපොළේ ඉතා අලංකාර වර්ණවලින් සහ සිත් ඇඳගන්නා සුළු මෝස්තරවලින් විවිධ බ්‍රා විලාසිතා තිබෙන නිසා එවැනි විලාසිතා තෝරාගැනීමට කාන්තාවන් දක්වන්නේ වැඩි උනන්දුවකි. එහෙත් ඒවා ඔබේ සිරුරේ හැඩයට ගැළපෙනවද? ඔබේ අත්‍යවශ්‍යතාව ඉටුවෙනවද යන්න සිතා බැලිය යුතුය. විශේෂයෙන් ඒ අතරින් පැඩඩ් යෙදූ බ්‍රා විලාසිතාවලට වැඩි ජනප්‍රියත්වයක් හිමි වී තිබේ. එහෙත් තමන් තෝරාගත් පැඩඩ් විලාසිතාව තමන්ගේ පියයුරුවල ප්‍රමාණයට, සිරුරේ හැඩයට නොගැළපෙනවා නම් එයින් ඔබේ බාහිර ස්වරූපයට වගේම මානසික සුවයටද බාධාවක් ඇති වේ. 


වඩාත් පිරිපුන් පපු ප්‍රදේශයක් ඇති කාන්තාවක් පැඩඩ් බ්‍රා විලාසිතාවක් තෝරාගන්නවා නම් කළ යුත්තේ ගනකමින් අඩු ඉතා තුනී ලේයර් එකක් සහිත බ්‍රා එකක් තෝරාගැනීමයි. පැඩඩ් බ්‍රා විලාසිතාවල ගනකම එකිනෙකට වෙනස් වූ විවිධ හැඩයේ විලාසිතා වර්ග වෙළෙඳපොළේ මිලදී ගැනීමට තිබේ. පපු ප්‍රදේශය තරමක් විශාල කෙනෙක් නම් ගනකම වැඩි පැඩඩ් බ්‍රා විලාසිතා තෝරා ගැනීම නොකළ යුතුය. එහෙත් සිහින් පපු ප්‍රදේශයක් තිබෙන කාන්තාවක් ගනකමින් වැඩි පැඩඩ් විලාසිතාවක් තෝරා ගැනීමෙන් සිරුරේ හැඩයට වැඩි ආකර්ෂණීයත්වයක් ඇතිකරගත හැකි වේ. 


නිවැරදි බ්‍රා විලාසිතාව මොකක්ද? 

උපදෙස් - මුතුහාරී අත්තනායක
B.Des(Hons) විලාසිතා නිර්මාණවේදය සහ නිපැයුම් ප්‍රවර්ධනය පිළිබඳ උපාධිධාරිනී


බ්‍රා විලාසිතාවක් මිලදී ගැනීමට යාමේදී මුලින්ම කළ යුත්තේ ඔබේ අවශ්‍යතාව කුමක්ද පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමයි. උදාහරණයක් ලෙස පපුවේ ප්‍රමාණය අඩුකර පෙනුවීමටද? එසේත් නැතිනම් පපුවේ ප්‍රමාණය තරමක් වැඩිකර ගැනීමටද? පියයුරු තදින් ඔසවා තබන විලාසිතාවක්ද? යන්න අවශ්‍යතාවට මුල්තැන දිය යුතු වේ. ඒ අනුව ඔබේ අවශ්‍යතාව පපුව තදින් ඔසවා තබමින් ප්‍රමාණය අඩුකර පෙන්වන විලාසිතාවක් නම් තෝරාගත යුත්තේ Push-Up Bra හෝ Minimizer Bra  විලාසිතා වර්ගයි.


කැමති වර්ණයද? ගැළපෙන වර්ණයද?
බ්‍රා විලාසිතා තෝරා ගැනීමේදී වර්ණ තේරීමද වැදගත් වේ. විශේෂයෙන් විවිධ ඇඳුම් වර්ගවලට ගැළපෙන ලෙස කළු වර්ණය හැරුණු විට බේජ් වර්ණ දෙක තුනක් හෝ  (Beige colour) ඔබේ ඇඳුම් අල්මාරියේ තිබිය යුතුමය. සුදු පැහැති ඇඳුමට බොහෝ දෙනෙක් සුදු වර්ණයේම බ්‍රා වර්ග තෝරා ගනී. එහෙත් එය නිවැරදි නැත. සුදු වර්ණයෙන් සිදුවන්නේ මතුපිට සුදු වර්ණය තවත් දීප්තිමත් කිරීමයි. ඒ නිසා ඇඳුමට යටින් විනිවිද පෙනෙන ස්වභාවය තවත් වැඩි වේ. එබැවින්  සුදු පැහැති ඇඳුම් විලාසිතා සඳහා වඩාත් හොඳින් ගැළපෙන්නේ බේජ් වර්ණයි.


තමන්ගේ සිරුරේ ප්‍රමාණයටම ගැළපෙන බ්‍රා විලාසිතාවක් තෝරා ගැනීමේදී බොහෝ දෙනෙක් පපුවට පහළින් තමන්ගේ කඳ වටේ ප්‍රමාණයට බ්‍රා බෑන්ඩ් එකේ මිනුම තෝරා ගනිති. එය ගැටලුවක් නැත. එහෙත් වැඩි දෙනෙක් කරන වරදක් වන්නේ මුලින්ම එය අවසන් හක් එකට නැතිනම් රඳවනයට දමා මිනුම ගැනීමයි. එය නිවැරදි නැත. නිවැරදි ක්‍රමය වන්නේ ඔබ තෝරා ගත යුත්තේ සිරුරේ බඳ වටා ප්‍රමාණය පළමු රැඳවුමට සිරවීමටයි. කාලයත් සමග බ්‍රා එක ඇදෙන විට ඔබට අවසාන රැඳවුම භාවිතා කර නැවත තදට සිටින සේ පාවිච්චි කිරීමට හැකියාව ලැබෙයි. එසේ නොමැතිව මුල් අවස්ථාවේම අවසාන රඳවනයට මිනුම ගතහොත් කාලයක් යන විට නැවත භාවිතා කිරීම අපහසු විය හැකිය.


බ්‍රා විලාසිතාව තෝරා ගැනීමේදී මේ පුංචි පුංචි දේවල්වලට අවධානය ලබාදෙන්න පුළුවනි නම්, තමන්ට ගැළපෙන හොඳම විලාසිතාව තෝරා ගැනීමට අපහසු වන්නේ නැත.

 


නයනා උදයංගනී 


             
 
            

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය Read Previous

ව්‍යවාසිකාවක වගේම ආණ්ඩුකාරවරියක ලෙස ජීවිතය දිනූ ඇය

අපි නිදහස්ද Read Next

අපි නිදහස්ද

Realted Post

Leave a comment