හිසකෙස් රැකගන්න හොඳම තෙලක් ගෙදරදීම පදම් කරගන්න පුළුවන්

 

වර්තමානයේ අපේ ජීවන රටාවේ සිදු වී තිබෙන වෙනස්කම් නිසා හිසකෙස් සම්බන්ධ ගැටලුවලට බොහෝ දෙනෙක් මුහුණ දෙනවා. හිස්කෙස් හැලී යාම, අකලට හිස කෙස් පැසීම, කැඩී යාම, හිසකෙස්වල ප්‍රාණවත්භාවයක් නොමැතිවීම ආදිය වර්තමානයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුබවට පත් වෙලා තියෙනවා. 


නිසි පෝෂණය නොමැතිකම, රසායන ද්‍රව්‍ය බහුල හිසකෙස් ආලේපන වර්ග භාවිතය ආදී වැරදි ජීවන රටාව නිසා හිසකෙස් සම්බන්ධ බොහෝ ගැටලු ඇතිවෙන්න පුළුවන්. අතීතයේ අපේ මුතුන් මිත්තන් හිස්කෙස් ලස්සනට සහ නිරෝගීව තබාගන්න විවිධ ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කළා. විවිධ ස්වාභාවික ඖෂධ වර්ග කැටිවුණු තෙල් නිවසේදීම සකසාගෙන ආලේප කරන්නත් ඔවුන් පුරුදුව සිටියා. මෙය ඔවුන්ගේ හිසකෙස් නිරෝගීව තබාගන්න පමණක් නොව සිරුරේ අනෙකුත් රෝග මෙන්ම මානසික රෝග සඳහාද ගුණ දෙන ප්‍රතිකර්මයක් වුණා. 


වර්තමානයේ බොහෝ දෙනා තෙල් ගාන්න අකමැති වුණාට සතියකට වරක් දෙවරක් හෝ තෙල් සත්කාරයක් කරගන්න පුළුවන් නම් හිස්කෙස් සම්බන්ධ ගැටලු බොහෝමයක් අවම කරගන්න පුළුවන්.


වර්තමානයේ වෙළෙඳපොළේ සුවඳවත් විවිධ තෙල් වර්ග විකිණීමට තිබුණත් ඒවා බොහෝමයක්ම කෘත්‍රිම රසායනික අඩංගු ඒවා නිසා මෙවැනි තෙල්  විවිධාකාරයෙන් හිස් කබලට වගේම හිසකෙස්වලටත් අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා හිසේ ගල්වන තෙල් නිවසේදීම සකසා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. 

 


තෙල් පදම් කරන හැටි 
නිවෙසේදී හිසේ ගැල්වීමට ඖෂධීය තෙල් වර්ග සැකසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. නිවෙසේදී තෙල් සැකසීම පාරම්පරික වෛද්‍යවරුන් හඳුන්වන්නේ තෙල් පදම් කිරීම නමිනුයි. ඒ කියන්නේ තෙල් නියම පදමට සකසා ගන්න ඕනෑ කියලයි. 


ගෙදරදීම ඖෂධීය තෙලක් සකසා ගන්න නම් පිරිසුදු පොල් තෙල් ටිකක් මුලින්ම ඕනෑ කරනවා. මැටි හෝ තඹ භාජනයක තෙල් ටික පදම් කරගන්න (සකසා ගන්න) ඕනෑ. කුරුඳු දරෙන් තෙල් ටික රත් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. පාරම්පරික වෛද්‍යවරුන් තෙල් සකසන්නෙ නැකතකට. දැන් නම් නැකත් බලා තෙල් පදම් කරන්නේ නැති තරම්. තෙල් සකසන විට වැඩි ගින්දරේ තෙල් රත් කරන්න සුදුසු වන්නේ නැහැ. නෙළුම් මලක ප්‍රමාණයට ගින්දර තිබීම ප්‍රමාණවත්. එලෙස මද ගින්දරේ තෙල් රත් කරගන්න ඕනෑ. 


මේ ක්‍රමවලට නියම පදමට සකස් කරගන්න මෙම ඔසු තෙලෙන් හිසකෙස් සම්බන්ධ ගැටලු රාශියක් මග හරවා ගන්න හැකිවෙනවා. අප අවට වටපිටාවේ තිබෙන කොළ වර්ග කීපයක් භාවිතා කර ඖෂධීය තෙල් වර්ගයක් නිවසේදීම හදාගන්න හැටි බලමු.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය 
මේ සඳහා අවශ්‍ය වන්නේ බුලත් දලු, වෙරළු දලු සහ කතුරුමුරුංගා කොළ. මේ කොළ මිට බැගින් ගෙන හොඳින් සෝදා වතුර බේරෙන්න තබන්න. වතුර හොඳටම වේළුණු පසු බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. වතුර මිශ්‍ර වෙන්න දෙන්න එපා. ඉන්පසු පිරිසුදු රෙදි කඩකින් මේ ටික හොඳින් මිරිකා ගන්න ඕනෑ. 


දැන් පිරිසුදු පොල් තෙල් ටිකක් තඹ හෝ මැටි භාජනයකට දමා ඊට උඩින් කොටා පෙරාගත් කොළ යුෂ එකතු කර බුබුළු දමනතුරු මඳගින්නේ රත් කරගන්න. ගින්දර වැඩි වුවහොත් තෙල් කරවෙන්න පුළුවනි. එයින් තෙල්වල ඖෂධීය ගුණය නැතිවෙන්න පු`ඵවන්. 
බුලත් දලු, වෙරළු දලු සහ කතුරුමුරුංගා කොළවලට අමතරව එයට කීකිරිඳිය කොළ, මගුල් කරඳ කොළ, ගොටුකොළ සහ කරපිංචාත් එකතු කරගන්න පුළුවන්. මේ හිස්කෙස් වර්ධනයට, හැලී යාම නවත්වන්න, හිස්කෙස් තුනීවීම වළක්වන්න, හිස කෙස් ශක්තිමත් කරන්න මේ ප්‍රතිකාරය ඉතාම සුදුසු වන අතර එයින් ඔබේ හිසෙහි සහ ගතෙහි නිරෝගීකම ආරක්ෂා කරගන්න වගේම හිස ආශ්‍රිත රෝග රැසක් සමනය කරගන්න හැකිවේවි.

සටහන - නයනා උදයංගනී 


                

CHUTNEY Read Previous

CHUTNEY

CHUTNEY Read Next

CHUTNEY

Realted Post

Leave a comment