අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව

සිහින දකින කාන්තාවන් අතරින්, එම සිහින සැබෑ කරගනිමින් සාර්ථකත්වය කරා පියනගන දිරිය කාන්තාවන්ගේ කතාවන් අපූරු ය. කේක් නිර්මාණ ශිල්පිනියක, උපදේශිකාවක මෙන්ම 'Cakes by Rumi' ආයතනයේ හිමිකාරිනිය වන රුමේෂිකා ලියනගේ මහත්මිය ඇගේ ගමන සිරිකත Online දිරිය සිරිකත වැඩසටහනේදී අපිත් සමග මෙලෙසින්  අදහස් පළ කළා. 

රුමේෂිකා, කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල ප්‍රධාන වශයෙන්ම වෙඩින් කේක් ඕඩර්ස් (Wedding Orders) එක්ක ගොඩක් කාර්යබහුලයි. සාර්ථකව ඒ වැඩකටයුතු කරගෙන යනවා.


කොරෝනා කාලේ නිකන්ම ගෙදර ඉඳන් අත්හදා බලපු දෙයකින් තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ ආරම්භය සහ අභියෝග ගැන මතක් කළොත්?

ඔව්, මම මීට කලින් කළේ නර්සිං (Nursing) රැකියාව. බබා ලැබුණට පස්සේ රැකියාවෙන් අයින් වෙලා ගෙදර නතර වෙන්න වුණා. ඒ දවස්වල තිබුණු ආර්ථික අපහසුතා එක්ක මොනවා හරි කරන්න ඕනේ කියලා හිතුණා. කොරෝනා කාලේ ගෙදර ඉඳන් නිකමට වගේ කේක් එකක් හදලා බලලා තමයි පටන් ගත්තේ.

ඇත්තටම මගේ මුල්ම කේක් එක හැදුවේ දුවගේ උපන්දිනේට. ඒත් ඒ මුල්ම කේක් එක උපරිමයෙන්ම අසාර්ථක වුණා! අයිසිං වැක්කෙරෙද්දි දුව කිව්වේ 'අම්මිගේ ලාවා කේක් එක' කියලා. හැබැයි මම එතනින් අතහැරියේ නැහැ. දිගටම උත්සාහ කළා.


කේක් නිර්මාණය කියන්නේ ප්‍රගුණ කරන්න ඕනේ විෂයක්. ඔබ ඒ ගැන ඉගෙන ගත්තේ කොහොමද?

මුලින්ම විශාරි මිස් ළඟට ගියේ ස්පැචියුලා එකක්වත් අල්ලන්න තේරෙන්නේ නැතුව. මිස් මට මුල සිටම හැමදේම කියලා දුන්නා. ඊටපස්සේ 'Sugar Flowers' ඉගෙන ගන්න ශකී මිස් ළඟට ගියා. ක්‍රිෂාන් සර්ගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද 'Cakes by Rumi' කියන්නේ මෙතන තියෙනවා නම් ඒ ගුරුබවට පින්සිද්ධ වෙන්නයි. ඊට අමතරව මගේ යාලුවෝ හරහා තමයි ව්‍යාපාරයේ ප්‍රචාරය ගොඩක්ම සිදු වුණේ.


වර්තමානයේ අමුද්‍රව්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ හමුවේ ව්‍යාපාරයේ ප්‍රමිතිය (Quality) පවත්වා ගන්නේ කොහොමද?

කේක් කියන්නේ පුංචි බබාලා පවා කන දෙයක්. මගේ බබාලත් මම හදන කේක් කනවා. ඒ නිසා වෙළඳපොළේ තියෙන හොඳම ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය විතරයි මම පාවිච්චි කරන්නේ. අමුද්‍රව්‍ය ගණන් යද්දී කේක්වල මිල වැඩි කරන්න වෙනවා තමයි. හැබැයි කොලිටිය අඩු කරලා අඩුවට දෙනවාට වඩා, හොඳම දේ පාරිභෝගිකයාට දෙන එකයි වැදගත්. හොඳම ප්‍රචාරය ලැබෙන්නේ සතුටු වන පාරිභෝගිකයාගේ කටින් කට යන ආරංචියෙන්

කාන්තාවකට තමන්ගේම කියලා ව්‍යාපාරයක් තිබීම සහ ස්වාධීන වීම කොච්චර දුරට වැදගත්ද?

අද කාලේ පවුලක එක්කෙනෙක්ගේ ආදායමෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි. කාන්තාවකට තමන්ගේම කියලා ආදායමක් තියෙද්දී දරුවන්ට අවශ්‍ය දේ අරන් දෙන්න, දෙමාපියන්ට සැලකීමට, මහත්තයාට බරක් නොවී පවුලට ශක්තියක් වෙන්න පුළුවන්. ඒකෙන් ලැබෙන ආත්මඅභිමානය සහ සතුට කියලා නිම කරන්න බැහැ. ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් රෙදි මහන, කේක් හදන, කෑම හදන වගේ රැකියාවල් ඕනෑතරම් තියෙනවා.

ග්‍රාමීය මට්ටමේ ඉන්න, ව්‍යාපාරයක් පටන් ගන්න රිස්ක් එකක් (Risk) ගන්න බය කාන්තාවන්ට ඔබ දෙන උපදෙස මොකක්ද?

අද කාලේ Social Media කියන්නේ ලොකු මුදලක් වියදම් කරන්නේ නැතුව ව්‍යාපාරයක් ප්‍රචාරය කරන්න තියෙන හොඳම ටූල් එකක් (Tool). ග්‍රාමීය කාන්තාවන්ට වුණත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හරහා හොඳ Customer Base එකක් හදාගන්න පුළුවන්. වයස් භේදයක් නැතුව ඕනෑම කෙනෙක්ට කැපවීම තියෙනවා නම් මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න පුළුවන්.

අවසාන වශයෙන්, වැටෙන තැන්වලින් නැගිටින්න උත්සාහ කරන දිරිය කාන්තාවන්ට කියන්න තියෙන්නේ මොනවාද?

ජීවිතයේ ප්‍රශ්න, වැටෙන තැන් ඕනෑතරම් එන්න පුළුවන්. ඒත් එතනම වැටිලා ඉන්නේ නැතුව 'මම නැගිටිනවා' කියලා හිතාගෙන ඉදිරියට යන්න. පවුලේ වැඩයි, බබාලගේ වැඩයි එක්ක මේ හැමදේම Balance කරගන්න එක ලෙහෙසි නැහැ. ඒ නිසා ගෙදර අයගේ සහයෝගයත් කාන්තාවකට ඉතාම වැදගත්. තමන්ගේම කියලා තැනක් හදාගත්තාම පවුලෙනුත්, සමාජෙනුත් ලැබෙන ගෞරවය කාන්තාවකට ලොකු ආභරණයක්.

උත්සාහය, කැපවීම සහ නිවැරදි ඉලක්කය ඇත්නම්, ගෙදර සිටම සිය සිහින ජයගත හැකි බව රුමේෂිකා ලියනගේ අපට සැබැවින්ම පසක් කර දෙන්නීය.

සටහන - කසුනි විජේසිංහ 

වැඩසටහන - සිරිකත  Online දිරිය සිරිකත වැඩසටහන ඇසුරින්

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Previous

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස් Read Next

යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස්

Realted Post

Leave a comment