ගිහි දිවියේ රංගන ශිල්පිනියක් වූ ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වූ ඇය මේ වන විට පැවිදි දිවියට ඇතුළත්ව සිටින්නීය. ඇය ධර්ම මාර්ගයේ ගමන් කරමින් සමාජයට මෙහෙවරක් කරන මහබාගේ ධම්ම සතිමා මෙහෙණින් වහන්සේය. මේ ඇයත් සමග අපි කළ සංවාදයක සටහනයි.
- මෙහෙණින් වහන්සේගේ ගිහි ජීවිතයේ නම මොකක්ද?
නීතා සමරනායක
- මෙහෙණි සසුනට ඇතුළුවෙන්න තීරණය කළේ ඇයි?
ජීවිතය ගැන කලකිරීමකින් ගත්ත තීරණයක් නොවෙයි. මම තරුණ කාලයේ සිටම ධර්මය පිළිබඳ කරුණු කාරණා සොයාගෙන ගියා. පොඩි කාලයේ අහනවනේ අනාගතයේ කවුද වෙන්න කැමති කියල, එතකොට මම කියන්නේ මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙනවා නැත්නම් රංගන ශිල්පිනියක් වෙනවා කියලා. මට රංගන ශිල්පිනියක් වෙන්නත් ලැබුණා. 2016 මම මගේ රංගන ජීවිතෙන් ඉවත් වුණා. ඉන්පසු 2021 අවුරුද්දේ මම පැවිදි වුණා. ඒ වන විට මගේ දරුවන් දෙදෙනාම විවාහ වී සිටියා.
- පවුලේ අයගෙන් විරුද්ධත්වයක් තිබුණේ නැද්ද?
දුවගෙ නම් අකමැත්තක් තිබුණෙ නැහැ. පුතා මුලදී අකමැති වුණා. නමුත් දැන් ඔහු තේරුම් අරගෙන ඉන්නෙ. දරුවන්ගේ තාත්තා නම් මුල ඉඳලම දන්නවා මම මේ තීරණය ගන්නවා කියලා. ඉතින් මට ඔහුගෙන් ප්‍රශ්නයක් වුණේ නැහැ.
- පැවිදි ජීවිතයට ඇතුළත් වීමෙන් පසුව අභියෝග වලට මුහුණ දෙන්න වුණාද?
මෙහෙණින් වහන්සේලාට මුහුණ දෙන්න වෙන බරපතළ ගැටලු ගොඩක් තිබෙනවා. නමුත් මට ඒ එක ගැටලුවක්වත් ඇතිවුණේ නැහැ. මම පැවිදි වුණේ පංචන පාලි ගුරු මෙහෙණින් වහන්සේ ළඟ. අවුරුදු තුනක් මම ඒ ආරාමයේ සිටියා. මට ඇත්තටම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ නමුත් මම ඇසුරු කරන කතාබහ කරන සමහර මෙහෙණින් වහන්සේලාට හුඟක් ප්‍රශ්න තියෙනවා.
- මෙහෙණින් වහන්සේලාට තිබෙන ගැටලු මොනවාද?
ගොඩක් අඩුපාඩු සමග ජීවත්වන මෙහෙණින් වහන්සේලා සිටිනවා. ඉන්න තැනක් නැහැ. හරියට දාන වේලක් ලැබෙන්නෙ නැහැ. බෙහෙත් ටික ගන්න විදිහක් නැහැ. ඒ වගේම කාන්තාවන්ටම ආවේණික ස්වාභාවික ක්‍රියාවලියන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ගන්න විදිහක් නැහැ. මුදල් අපහසුතා තිබෙනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මෙහෙණින් වහන්සේලාට මුදල් මොකටද ? නමුත් මුදල් යොදා කරගන්න තිබෙන අවශ්‍යතා කොපමණ තිබෙනවාද? මෙවැනි ගැටලු ගොඩාක් තිබෙනවා. මේ කාලය වන විට මෙහෙණි සසුන රඳා පවතින්නේ බොහොම අසීරු තැනක. මෙහෙණින් වහන්සේලා පිළිබඳ කිසිම තැනකින් අනුග්‍රහයක් කතා බහක් ඇතිවෙන්නේ නැහැ.
- මෙහෙණි සසුනට එන්න එපා කියලද? ඔබ මේ කියන්නෙ?
මා ළඟ මහණ වෙන්න හුඟදෙනෙක් අහලා තිබෙනවා. ගිහි ජීවිතයක් ගත කරගෙනම ධර්ම මාර්ගයේ යන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ට ඉන්න තැනක් හදාගෙන මෙහෙණි සසුනට ඇතුළුවෙන්න. නැත්නම් අසරණ වෙන්න වෙනවා. ඒ වගේම මම කැමති නැහැ මහණ වෙලා ඉගෙන ගන්නවට. ඒ දේවල් අවශ්‍ය නම් ගිහි ජීවිතයේදී කර ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතය කලකිරිලා මහණ වෙන්න එපා. ගිහි ජීවිතයේ පැවිදි ජීවිතයේ ප්‍රශ්න එකිනෙකට වෙනස්. නමුත් ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයේ ප්‍රශ්න බරපතළයි.
- මෙහෙණි සසුනට ඇතුළුවීම ගැන අද තියෙන්නේ මොනවගේ හැඟීමක්ද?
මේ වන විට මගේ අදහස් ටිකක් වෙනස් වෙලා. යම්කිසි ධර්මතාවයක් නිසා මම පැවිදි වුණා. දිගටම ධර්මාවබෝධය කරගෙන යනකොට මට තේරුණා ඇඳුමෙවත් කොණ්ඩුවත් වෙන කිසිම දෙයකවත් නෙමෙයි ධර්මාවබෝධය තිබෙන්නේ. මගේ හිත පිරිසුදු නම් ඒ ඇති. ඉතින් මගේ හිත මම පිරිසුදු කරගෙන ඉන්නේ, ඒ තුළ මම සතුටින් ඉන්නවා.
ඉෂංකා ජයසූරිය
Leave a comment