පළමු ගීතයෙන්ම රසිකයන් අතරට ගිය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය
අද වන විට ගායන ලෝකයේ විවිධාකාර හැඩයෙන් මතුවන ගීත වගේම ගායිකාවන්ද බිහිවීම බොහෝ සෙයින් සුලභයි. නමුත් රසිකයන් අතරට ගොස් ගායන ක්ෂේත්‍රයේ රැඳෙන්නට වරම් ලැබෙන්නේ එයින් අතලොස්සකට පමණයි. එලෙස රසික හදවත් වල නමක් රැන්දූ අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් ගැනයි මෙවර සිරිකතෙන් අපි සොයාගෙන ගියේ.
"මම මනෝරි කාංචනා උග්ගල්ලගේ. මගේ උපන්ගම පැල්මඩුල්ල ප්‍රදේශයේ මිදිගම්මුල්ල කියන සුන්දර ගම්මානය. අධ්‍යාපනය ලැබුවේ පාතකඩ බෞද්ධ විද්‍යාලයෙන් වගේම පැල්මඩුල්ල ගන්කන්ද මහා විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත්වුණා. මගේ මුල්ම වෘත්තීය වුණේ සංගීත ගුරුවරියක් ලෙස කටයුතු කිරීම. ඒ වගේම පසුව රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියක් ලෙසද සේවය සිදුකළා. මම දැනට අධ්‍යාපන පරිපාලන සේවයේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරේ සිය රාජකාරිය සිදු කරනු ලබනවා. ඒ අතර හමුවන පුංචි විවේකයේදී තමයි මම ගායන ක්ෂේත්‍රයට යොමු වුණේ. සංගීතය සඳහා යොමු වෙන්න පවුල් පරිසරය බොහෝ සෙයින් පිටුවහලක් වුණා. මගේ මවට ලස්සනට ගීත ගායනා කිරීමේ හැකියාව වගේම මගේ පියාටත් ලස්සනට කවි ගායනා කිරීමේ හැකියාවක් තිබුණා. සැළලිහිණිය, සුදෝ සුදු වැනි කවි පුංචි කාලේ සිට මට කටපාඩම් වෙලා තිබුණා. මේ හැකියාව වර්ධනය කරගන්න මවගෙන් පියාගෙන් ලොකු දායකත්වයක් ලැබුණා. ඒ වගේම පාසලේදී සංගීතය ඉගැන්වූ ලාලනී ජයසිංහ ගුරුතුමිය සහ ලයනල් රන්වල, ප්‍රේමදාස මුදුන් කොටුව, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය ප්‍රදීප් රත්නායක, සුනිල් එදිරිසිංහයන් , විශ්ව විද්‍යාල ගුරුභවතුන්, එකී මෙකී නොකී ව විශාල පිරිසක් මගේ මේ කලාදිවියට ගුරුහරුකම් වගේම ශක්තියක් වුණා.
මා ගැයූ මුල්ම ගීතය වනුයේ "සත්රුවන් වැසි"එහි සංගීතය නිර්මාණය කරන ලද්දේ ආචාර්ය රෝහණ වීරසිංහයන් අතින්.
2010 වසර දී "බෝසත් පාරමී" සංයුක්ත තැටිය වෙනුවෙන් මගේ පළමු සංගීත නිර්මාණය වන"රන්වැලි සෑය"ගීතය නිර්මාණය කළා. ඒ සඳහා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් කටහඬ මුසු කළා. ඒ සඳහා විශාල ලෙස ප්‍රතිචාර ලැබුණා. සංගීත ශිල්පිනියක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ වරම් ලැබීමට එය මට විශාල පිටුවහලක් වුණා.
මීට අමතරව මම විසින්ම සංගීත නිර්මාණය කරන ලද ගායන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ සෙයින් සිටිනවා. ඉන්දික ලියනගේ, සංඛ එදිරිසිංහ, මංගල ප්‍රියන්ත, විශාඛා ඕපාත, කමනි ලසන්තිකා වැනි බොහෝ පිරිස් ඒ අතර සිටිනවා. මම දැනට ගීත 16කට පමණ ගී තනු සහ සංගීතය නිර්මාණය කර තිබෙනවා. ඒ අතරින් සුනිල් එදිරිසිංහයන් ගයන රන්මැලි සෑය, අම්මා සහ ස්වර්ණ දිවාකර ගීතය සුවිශේෂයි.
2022 වසරේදී ,"රජුන් එපා මින් මතුවට"ගීතය එළිදැක්වුවා. එහි පද රචනය රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්ය පූජ්‍ය කිරඹ සුමංගල හිමියන්ගෙනි. සංගීතය මගේ අතින් තමයි නිර්මාණය වෙන්නේ.
මෙය ජනතා ගීතය බවට පත් වුණා. මේ සඳහා විශාල රසික පිරිසක් මා වටා රොක් වුණා. මේ ගීතය සඳහා තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මෙරට පමණක් නොවේ විදේශ රටවල ජීවත්වන ලාංකීය රසිකයන්ගෙන්ද විශාල ප්‍රතිචාර ලැබුණා. එයට පසුව නිර්මාණය වුණ පූජ්‍ය කිරඹ සුමංගල හිමියන්ගේ නිර්මාණයක් වූ "නවෝදය හිරු ඇවිදින්"ගීතයටත් ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා. මේ දිනවල මගේ අලුත්ම ගීතය වන '"ගුරුගෙදර අම්මා"කියන ගීතයටත් මම හිතනවා යහපත් ප්‍රතිචාර ලැබෙයි කියලා.
විශිෂ්ට ගණයේ නව නිර්මාණ වලින් රසිකයන් ඉදිරියටත් පිනවන්න තමයි මගේ ඉදිරි අරමුණ වන්නේ. සංගීත ලොවට අලුතින් එකතු වෙන්න සිටින දරුවන්ට මම කියන්නේ තමන්ගේ හැකියාව මුලින්ම හඳුනාගන්න. ඉන්පසු එය වැඩිදියුණු කරගන්න උත්සාහ ගන්න. එවිට මුළු මහත් ලෝකයාම ඔබට ආදරය කරාවි."
මහේෂානි මීගහපොල.
Leave a comment