පැරා යන සිහිනයට දුප්පත්කම හරස් කපනවා - ධාවන ශූරී සඳුනි ස්වර්ණමාලිගේ කතාව
ඇය මෙලොව එළිය දකින්නේ වම් අතේ වැළමිටෙන් පහත කොටස නොමැතිවය. නමුත් ඇය වයසින් වැඩෙද්දි තමන්ට අහිමි වූ අතේ අඩුව නොසලකා හරිමින් ජීවිතය ජයගැනීමට ඉටා ගත්තාය. අද වන විට ඇය දෛවයට සරදම් කරමින් මලල ක්‍රීඩිකාවෙන් ජය කෙහෙළි නංවමින් සිටින අතර අාබාධිත අතේ වැළමිට හන්දියේ සහයත් ලබාගනිමින් ගෙදරදොරේ වැඩපල කිරීමට අමතරව මවුපියන්ගේ ගොවිතැන් වැඩවලටත් සහය දෙමින් ඌවපරණගම සඳුනි ස්වර්ණමාලි දෑත් ඇති කාටත් ලබාදෙන්නේ කදිම ආදර්ශයකි.
ඇයගේ වයස අවුරුදු 22 කි. පාසලේ 06 වන පංතියේදි ගුරුවරුන්ගේ මග පෙන්වීම මත දිවීම හා දුර පැනීම වැනි මලල ක්‍රීඩාවලට ඇය යොමු වී ඇත. එසේ මලල ක්‍රීඩාවට යොමු වූ ඇය අද වන විට ජාතික ආබාධිත මලල ක්‍රීඩා තරගවලින් මීටර් 100 මීටර් 200 හා දුර පැනීම යන ඉසව් ත්‍රිත්වයෙන්ම ජාතික ශුරතාව හිමිකරගෙන සිටින්නීය. පියා සමග එක්ව එළවළු වගාවේද නියැළෙන්නීය. ඇය සිරිකතට මෙසේ පැවසුවාය.
‘‘මගේ අප්පච්චී ජේ.ඇම්. චන්ද්‍රසිරි බණ්ඩාර. අම්මා කේ.ඇම්. ඉන්ද්‍රාකුමාරි. මගේ මල්ලි කල්හාර. මගේ මවුපියන් ගොවිතැන් කරන අතර අම්මා පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මම දැනට ඌවපරණගම ආබාධිත සංගමයේ ලේකම්වරිය ලෙසටත් කටයුතු කරනවා.
මුල් කාලයේදි මගේ අතේ අඩුව නිසා මගේ වැඩකර ගැනීමට නොහැකිව මානසිකව පීඩාවට පත්ව සිටියා. නමුත් මවුපියන්ගේද සහාය ඇතිව මම ක්‍රමයෙන් ඊට මුහුණ දිමට හුරුපුරුදු වුණා. අනෙක් සම වයසේ ළමුන් සමග දුව පැන සෙල්ලම්ද කළා. එනිසාම මගේ වම් අතේ පහළ කොටසේ අඩුවිම එතරම්ම දැනුණේ නැහැ.
මම කුමාරපට්ටිය රාජකීය විදුහලට ඇතුළත්ව ඉගෙනීම සිදු කළා. පාසලේ ගුරුවරු හා ළමුන් මට හුඟක් උදව් කළා. මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලින්ද ඉහළින් සමත් වුණා. අම්මා අසනීපවීමත් සමග ගෙදර වැඩි වැඩ කොටසක් මට පැවරුණා. මම ඒ සියල්ල කරන්නෙ සතුටින්. ඒවගේම තාත්තටත් ගොවිතැන් කටයුතුවලට උදව් වෙනවා.
සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් 2016 හා 2017 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන ලද ජාතික ආබාධිත මලල ක්‍රීඩා තරගාවලියෙන් මීටර් 100 මීටර් 200 දුර දිවීම හා දුරපැනීම යන තරග ත්‍රිත්වයෙන්ම පළමු ස්ථානය හිමිකර ගත්තා පමණක් නොව දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයත් මට හිමිවුණා.
මේ වසරේ දියගම රාජපක්ෂ ක්‍රීඩා පිටියේ පැවති තරගයෙන් මීටර් 100 තරගයෙන් දෙවැනි ස්ථානයත් දුර පැනීමේ තරගයෙන් දෙවැනි ස්ථානයත් හිමිවුණා.
මලල ක්‍රීඩා තරගවලට ඉදිරිපත්ව පදක්කම් 17ක් හා සහතිකපත්‍ර 46 ක් හිමිකර ගැනීමට මට හැකිව තිබෙනවා. මෙතෙක් පැමිණි ගමනට මවුපියන්, මගේ පාසල් ගුරුවරුන්, ක්‍රීඩා පුහුණුකරු ප්‍රසාද් විජේතුංග හා ඌවපරණගම ප්‍රාද්ශීය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරි මංජුල ජයසිංහ යන මහත්වරුන් ලබාදෙන සහය මිල කරන්න බැහැ. මගේ ඉලක්කය ආසියානු ආබාධිතයන්ගේ තරගය පැරා ඔලිම්පික් තරගවලට ඉදිරිපත්ව ජයගැනීමයි.
මම ආබාධිතයි කියා කිසිවිටෙක පසු බසින්නෙ නෑ. ඉදිරියටම යනවා.’’ යැයි දහසක් බලාපොරොත්තු දල්වාගෙන අය කියන්නීය.
ඇයගේ පුහුණුකරු මෙන්ම වැලිමඩ ක්‍රීඩා නිලධාරී ප්‍රසාද් විජේතුංග පැවසුවේ මෙවන්නකි.
ඇය ඉතාමත් දක්ෂ අභියෝගවලට නොබියව මුහුණදෙන ක්‍රීඩිකාවක්. එහෙත් ඇය පෝෂණ ඌණතාවලින් පෙලෙනවා. පවුලේ ආර්ථික තත්ත්වය ඒ සඳහා අහිතකර ලෙස බලපානවා. මේ නිසාම ඇය එක දිගට පුහුණුවීම්වල යෙදෙන්නෙත් නැහැ ඇයට පුළුවන් ලෝක පැරා ඔලිම්පික් හා ඉන්දියාවේ පැවැත්වෙන ආබාධිත මලල ක්‍රීඩා තරගවලින් රන් පදක්කම් රටට ගේන්න. ඇගේ ක්‍රීඩා ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට වගකිවයුතු අය ඇයට ස්ථිර අාදායමක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසා දෙනවා නම් එය ඇයගේ අනාගතයට විශාල සහායක්.’’ යැයිද ඔහු පැවසුවේය.


- වැලිමඩ කේ.ආර්.රාජමන්ත්‍රි
Leave a comment