කාන්තාවන් අතර බහුලව පවතින පියයුරු පිළිකා

කාන්තා සිරුරේ පිහිටා තිබෙන ආකර්ෂණීයම සහ වටිනාම දෙයක් තමයි පියයුරු කියන්නේ. අද මේ කතා කරන්න සූදානම් වන්නේ පියයුරුවල හට ගන්නා රෝග සහ පියයුරුවල නිරෝගී භාවය කාන්තා ඔබ රැකගත යුත්තේ කෙසේද යන්නයි. 

පියයුරු වල හටගන්නා රෝග ගැන කතා කිරීමේදී පියයුරු පිළිකාවලට මූලික තැනක් හිමිවෙනවා. 
පිළිකාවලට ගොදුරුවන කාන්තාවන්ගෙන් 25% ක් පමණ පියයුරු පිළිකා වලින් පෙලෙන අතර වසරකට පියයුරු රෝගීන් දෙදාහක් පමණ අලුතින් හඳුනා ගැනීමක් සිදුවනවා. වයස අවුරුදු 40 ත් 60 අතර වයසේ කාන්තාවන් අතර මේ තත්ත්වය සුලභයි.

පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් සහිත හේතු

  • පවුලේ ඉතිහාසය: මව හෝ සහෝදරියකට පියයුරු පිළිකා වැළඳී තිබේ නම්
  •  ඩිම්බකෝෂ පිළිකා  පවුලේ සාමාජිකයෙකුට වැළඳී ඇත්නම්
  •  දරුවන් නොලැබූ කාන්තාවක් නම්
  •  පළමු දරු ප්‍රසූතිය වයස අවුරුදු 35 පසුව සිදුවී ඇත්නම්
  •  අඩු වයසින් වැඩිවියට පත්වුණු කාන්තාවක් නම්
  •  අර්ථවහරණය (ස්වභාවිකව ඔසප් නතර වීමේ ක්‍රියාවලිය) අවුරුදු 55න් පසුව සිදුවී ඇත්නම්
  •  වෛද්‍ය උපදෙස්වලින් තොරව ඊස්ට්‍රජන් හෝමෝන අඩංගු ඖෂධ භාවිතය කර ඇත්නම් 
  • අප ලබා ගන්නා ආහාරවල අඩංගු විෂ රසායන 

පියයුරුවල ඇතිවන සියලුම ගැටිති පිළිකා නොවේ. ඒ නිසා ඔබ පියයුරුවල වෙනසක් දුටු සැනින්ම අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.

ඔබේ පියයුරු වල,

  • මෑතකදී පියයුරුවල හැඩයේ වෙනසක් හෝ පැහැදිලි අසමිතික බවක් ඇති වී නම්, 
  • පියයුරුවල ගැටිත්තක් පවතී නම්,
  • ඉදිමීමක්, තුවාලයක් ඇත්නම්,
  • දොඩම් ලෙල්ලක මතුපිට වැනි සමේ වෙනස්වීමක්, තන පුඩුවේ ගිලී යාම වැනි වෙනසක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. මෙහිදී ඔබ හිතුමනාපයට අත් බෙහෙත්, ආලේපන භාවිත කිරීමෙන් මේ තත්ත්වය දරුණු අතට පත්විය හැකියි. එම නිසා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍යයි. 

ස්වයං පියයුරු පරීක්ෂාව


කාන්තා ඔබ විසින්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමෙන් පියයුරුවල යම් සුළු වෙනස්කමක් ඔබට මූලික අවස්ථාවේදීම හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. මාස් ශුද්ධිය (ඔසප් වීම) සිදුවන කාන්තාවක් නම් මාස් ශුද්ධිය අවසන් වී සතියකට පසු ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කරන්න.
මාස් ශුද්ධිය නතර වූ කාන්තාවක් නම් සෑම මසකම නිශ්චිත දිනයක් යොදා මෙම පරික්ෂාව සිදු කරන්න.

 පිය‍යුරුවල නිරෝගී භාවය සහ පියයුරුවල මනා හැඩය පවත්වා ගැනීම සඳහා පහත දෑ අනුගමනය කරන්න

  • නිතිපතා ඖෂධීය තෙල් ගැල්වීම. ඒ සඳහා ආයුර්වේදය සතු ඉතාම ගුණදායී තෙලක් ලෙස මහාමාෂ තෛලය හඳුන්වන්න පුළුවන්. 
  • පියයුරුවල පිටත දාරයෙන් ආරම්භ කර තන පුඩුව දෙසට මෘදු ලෙස තෙල් ආලේප කර සම්භාහනය සිදු කරන්න. 
  • මෙහිදී පියයුරු අවට ,පපුව සහ උරහිස් ප්‍රදේශයේත් තෙල් ආලේපනය සිදු කරන්න. මෙම ඖෂධීය තෙල් ආලේප කර සම්භාහනය සිදු කිරීමෙන් අනවශ්‍ය ලෙස පියයුරු එල්ලා වැටීම අවම කරගන්න පුළුවන්.
  • අධික තන්තු ප්‍රමාණයකින් යුත් ආහාර සහ, අඩු මේද ප්‍රමාණයක් සහිත ආහාර පිළිකා වළක්වා ගැනීම සදහා ඉතා සුදුසුයි. 
  • පිළිකා නැසීමට සුදුසු ආහාර ලෙස එළවළු සහ පලතුරු ප්‍රමුඛස්ථානය ගන්නා බැවින් හැකි සෑම විටම ඔබේ ආහාර වේලට එකතු කරගන්න.
  • වැඩිපුර ප්‍රෝටීන් සහිත සමබර ආහාර වේලක් නිතිපතා ලබා ගැනීම පියයුරුවල නිරෝගී බව ආරක්ෂා කිරීමට හේතුවක් වනවා.
  • උදාහරණ ලෙස ප්‍රෝටීන් බහුල ආහාර මස්, මාළු, කිරි ,බිත්තර, නිවිති, ධාන්‍ය වර්ග කඩල, කවුපි, උඳු යන ආහාර වගේම පියයුරු සඳහා අවශ්‍ය නිසි ව්‍යායාම සිදු කිරීමෙනුත් ඒ අවට මාංශ පේශි ශක්තිමත් කරගන්න පුළුවන්. 
  • වීර භද්‍රාසන, භූජංගාසන, ත්‍රිකෝණාසන, වෘක්‍ෂාසන, වැනි යෝගාසන සිදු කිරීමෙන් පියයුරු වල මනා හැඩය රැක ගනිමින් නිරෝගී භාවය පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා. 
  • පියයුරුවල තාරුණ්‍යය රැකගැනීම සඳහා ආයුර්වේදය සතු ඉතා සුවිශේෂී ප්‍රතිකාරද පවතිනවා. ඒ අතරින් වාජිකරණ සහ රසායන ගුණ ඇති ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් මත ඔබට භාවිතා කිරීමට පුළුවන්.

මෙලෙස කාන්තා ඔබගේ පියයුරු ආරක්ෂා කර ගැනීමෙන් එහි සුන්දරත්වය දිගුකල් රඳවා ගත හැකියි.

සටහන- මහේශානි මීගහපොල  .

අදහස් දැක්වීම- ආයුර්වේද වෛද්‍ය හසනි මහේෂිකා ලේල්වල.
නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය.
සීතාවක ප්‍රාදේශීය සභාව. 

Body  ස්ක්‍රබ් එකක් ගෙදරදීම හදමු Read Previous

Body ස්ක්‍රබ් එකක් ගෙදරදීම හදමු

සමාජයේ  Diamond හොයන Diamond Excellence Awards Read Next

සමාජයේ Diamond හොයන Diamond Excellence Awards

Realted Post

Leave a comment