වංගෙඩි පිකෝ - ලෝකෙට ගෙනියන පබසරා

තේ කර්මාන්තය අපේ රටේ අවුරුදු සිය ගණනක් පුරා මුල් බැසගෙන තිබුණද සාම්ප්‍රදායික තේ වට්ටෝරුවෙන් පිට ගොස් පානය කිරීමට පෙලඹුණේ බොහෝ සීමිත පිරිසක් වන අතර තවමත් අපේ රටේ වැසියන්ට ග්‍රීන් ටී පවා අලුත්  අත්දැකීමකි. තේ දල්ලකින් බොහෝ දෑ කළ  හැකිවග බොහෝ දෙනා නොදත්  කාරණයකි. ඒ තේ දල්ල ලෝකයක් දිනන්නට මඟ  කියන්නේ නම් සුවිශේෂී  කාරණාවකි. 

 

අත්හදා බලන ලද විවිධ තේ ප්‍රභේදවලින් දේශීය තේ නාමය ලෝකය වටා   රැගෙන යන්නට දරනලද උත්සාහය දවසින් දවස හිණි පෙත්තට නඟිද්දී ඇතිවන සතුට සුළු පටු නොවේ. සිතල මිදුණු සුන්දර හපුතලේ බොරලන්දේ පබසරා මනතුංග ද එවන් සතුටකට අරුමකම් කියන දිරිය දියණියකි.
‘අපේ ජීවත්වුණ ගම සොබාදහමේ උපරිම සුන්දරත්වයක් පිරුණු ගමක්. පුංචි කාලෙ ඉඳලම අපි ජීවත් වුණේ ඒ පරිසරයට බැඳිලා වගේ. සීතල දේශගුණයත්   එක්ක ගහකොළ පිරුණු ලස්සන ගමක්. ඒ වගේ ම හුදකලා බවක් තිබුණා. අපේ  ගෙදර ඉඳලා තව ගෙදරකට දුර මීටර් 800ක් විතර . ඒ නිසා පුංචි කාලෙ ඉඳලම  අපි හුරුවුණේ හුදකලාවේ මේ පරිසරය එක්ක ජීවිතේ විඳින්න. වටේටම තේ වතු. නිතරම දැනුණේ තේ සුවඳ. අපේ තාත්තා යුද හමුදා නිලධාරියෙක්. අම්මා විදුහල්පතිනියක්. මට ඉන්නෙ අක්කලා දෙන්නෙක් විතරයි. මගේ ලෝකය   වෙන්නේ ඒ වටපිටාව. අපේ තාත්තා වගා කළා. අපිත් නිතර දෙවේලේ ඒ වැඩවලට  උදව් කළා’’
පබසරා අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරවෙල විශාකා බාලිකාවෙනි.  උසස් පෙළ හදාරන්නේ විද්‍යා විෂය ධාරවෙනි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ඇය විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ  පන්ති සාමාර්ථයක් ද සමගිනි.
‘පාසල් යන කාලෙවත් බිස්නස් එකක් ගැන මගේ හිතේ තිබුණෙ නැහැ. කෝවිඩ් කාලෙ කැම්පස් වහපු නිසා ගෙදර හුදෙකලාවෙලා හිටියෙ.  එහෙම ඉන්නකොට තමයි හිතුණෙ මොනවාහරි කරන්න ඕන කියලා. අපේ පරිසරයට තේ කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. හැබැයි තේ බොන්නෙ එකම ක්‍රමයකට. මට ඕනැවුණා වෙනස්  ක්‍රමයකට අත්හදා බැලීමක් කරන්න. මුලින් තේ දලු අරගෙන වංගෙඩියෙ දාලා කොටලා මඳ පවනේ වේළලා කුල්ලෙන් පොළනවා. මේ විදියට තමයි තේ කොළ  නිෂ්පාදනය කළේ. ඒකට කියන්නේ ‘වංගෙඩි පිකෝ’ කියලා. මේක අපේ  රටේ   සාම්ප්‍රදායික ක්‍රමයක්’
පබසරා වංගෙඩියේ කොටා තේ  සකස්  කළ ක්‍රමය අපේ රටේ ඉංග්‍රීසි පාලන   යුගයේ තහනම් කර තිබුණි. තේ වතු ආශ්‍රිතව වැඩ කළ බොහෝ කම්කරුවන් තම  වෙහෙස නිවා ගැනිීම පිණිස තේ දලු වංගෙඩියක දමා කොටා පානය කිරීම   සිදුකර තිබුණි. මේ ක්‍රියාවලිය දිගින් දිගට තේ වතු අාශ්‍රිතව සිදුවද්දී එය තහනම්    ක්‍රියාවක් බව වතු පාලකයෝ තීරණය කර එය නවතා දැමීමට කටයුතු කර තිබුණි. එදවස නවතා දැමූ  සාම්ප්‍රදායික ක්‍රමය තුළින් සකස් කරගත් තේ අද දවසේ වැඩිපුරම පානය කරන්නේ ද ඉංග්‍රීසි ජාතිකයන් ය.
‘‘මේක ඉතාම සුළුවෙන් පටන්ගත් ව්‍යාපාරයක්. තවම මහා පරිමාණයෙන් කරන්න පුළුවන්කමක් නැහැ. මා සමග තව දෙදෙනෙක් වැඩ  කරනවා. මේ තේ නිෂ්පාදනය බොහොම පරිස්සමෙන් කළ යුතු දෙයක්. බොහෝ වෙලාවට විදේශිකයන් එනවා තේ හදන හැටි නරඹලා තේ පිළිබඳව අත්දැකීමක්  ලබාගන්න. අපි වංගෙඩියේ කොටන තැන  සිටම ඔවුන්ට කියාදෙනවා. අතීත  කතාවක් එක්කම. ඔවුන් ආසයි අපේ සම්ප්‍රදායට. අපේ දේවල්වලට’
සාම්ප්‍රදායික තේ  පානයෙන් මිදී තේ සකස් කරන පබසරා ස්වාභාවික පරිසරයෙන්  සොයාගන්නා මල්වර්ගවල පැහැය මෙන්ම එහි සුවඳඳ තේ සඳහා එක්කිරීම විශේෂත්වයකි. එය විදේශිකයන්ට මෙන්ම ලාංකිකයන්ටද අලුත් අත්දැකීමකි.
උපාධි සහතකිකයට හිමි රැකියාව ද පසෙකලා අලුත් තාලයට තේ නිෂ්පාදනය කරන පබසරා පවසන්නේ මෙවන් කර්මාන්ත අපේ රටේ ව්‍යාප්ත ​ෙවද්දි පොදුවේ   මුහුණදෙන ගැටලු ඇති බවයි. 
‘රටක් විදියට අපිට ඉස්සරහට යන්න ඕනෑ නම් කරන්න වැඩ ඕනෑ තරම්  තියෙනවා.  අපිට පුළුවන් තේ කර්මාන්තය එක්ක මීට වඩා දේවල්  කරන්න.  රජයේ රැකියා , පෞද්ගලික රැකියා සොයනවාට වඩා තමන්ටම අලුත්  දෙයක් කරන්න පුළුවන් නම් අපිට ලෝකය ජයගන්න එක මහ දෙයක්   නොවෙයි’  
අපේ  රට තුළ නොවිසඳුණු ගැටලු අතර අදටත් පෙරමුණ ගන්නේ සාමාන්‍ය  පෙළින් පසු, උසස් පෙළින් පසු, විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු තරුණ පරපුර මුහුණ දෙන රැකියා  විරහිතභාවයයි. ඒ තුළින් ඇතිවන සමාජ ව්‍යසනය සුළුපටු  නොවන අතර රටක අනාගතය ට ඒ සඳහා ස්ථීරසාර විසඳුම් පෙනෙනතෙක්  මානයකද නොවේ. ඒ නමුත් පබසරාගේ කතාව තුළින් සමාජගත කළ යුත්තේ ජීවිතය  දිනාගැනීමට නම් අවැසි නවමු අදහස්  හා උත්සාහය පමණක් බවයි.

වර්තමානයේ කාන්තාවන් භාණ්ඩකරණය වෙලා Read Previous

වර්තමානයේ කාන්තාවන් භාණ්ඩකරණය වෙලා

මෙයාව මතකද?  කාටවත් නොකියපු රැට්ටගේ රහස් රැට්ටගේ කෙල්ල කවුද? Read Next

මෙයාව මතකද? කාටවත් නොකියපු රැට්ටගේ රහස් රැට්ටගේ කෙල්ල කවුද?

Realted Post

Leave a comment