Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී. එල්. සී. (Janashakthi Finance PLC) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය පත් කර ඇත. 2026 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ. ජනශක්ති ෆිනෑන්ස් සමාගම සිය වර්ධනය, මූල්‍ය කාර්යසාධනය සහ ආයතනික පරිවර්තනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටින අවස්ථාවක මෙම පත්වීම සිදු කර ඇත.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නායකත්ව තනතුරු දැරීම සම්බන්ධයෙන් වසර 20 කට අධික පළපුරුද්දක් හිමි ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය, ආයතනික මූල්‍ය කළමනාකරණය, ක්‍රමෝපායික සැලසුම්කරණය, මූල්‍ය පාලනය, අවදානම් කළමනාකරණය සහ ව්‍යාපාර පරිවර්තනය යන ක්ෂේත්‍ර සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති වෘත්තීයවේදිනියකි. මීට ඉහත ඇය PMF Finance PLC, Softlogic Finance PLC, Abans Finance PLC, Nations Trust Bank සහ AMW Capital Leasing and Finance PLC යන සමාගම්වල ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරා ඇත.

ජනශක්ති ෆිනෑන්ස් සමාගමට එක්වීමට පෙර PMF Finance PLC හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කළ බ්‍රෝහියර් මහත්මිය, ඊට පෙර Softlogic Finance PLC හි ප්‍රධාන විධායක නිලධාරිනිය සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කර තිබේ. මෙම තනතුරු දරමින් ඇය ව්‍යාපාර පුළුල් කිරීම, මූල්‍ය හා මෙහෙයුම් කාර්යසාධනය ශක්තිමත් කිරීම, පාලන රාමු වැඩිදියුණු කිරීම සහ ආයතනික පරිවර්තනයට සහාය වීම ඇතුළු  කාර්යයන් රැසකට දායක වී ඇත.

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය: “ඉවෝන් බ්‍රෝහියර් යනු මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම, නායකත්ව පළපුරුද්ද සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධය යන සියල්ල හිමි ප්‍රවීණ වෘත්තීයවේදිනියක්. ඇයගේ පත්වීම සිදු වන්නේ ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයකදීයි. වඩාත් ශක්තිමත් සහ තරගකාරී ව්‍යාපාරයක් ගොඩනැංවීම සඳහා අප දරන අඛණ්ඩ ප්‍රයත්නය තුළ, ඇයගේ විශේෂඥ දැනුම ඔස්සේ සමාගමේ මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය සහ ක්‍රමෝපායික තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.”

නව තනතුර දරමින් ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය සමාගමේ ව්‍යාපාර සැලසුම්කරණය, අවදානම් කළමනාකරණය සහ ක්‍රමෝපායික තීරණ ගැනීම ඇතුළු අංශ රැසකට දායක වනු ඇති අතර, මූල්‍ය කළමනාකරණය සහ ආයතනික පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාද කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු ඇත.

ඉවෝන් බ්‍රෝහියර් මහත්මියගේ පත්වීමත් සමඟ සිය නායකත්ව කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කරගනිමින්, වර්ධන ක්‍රමෝපායන් ඔස්සේ මූල්‍ය ශක්තිය පුළුල් කරගන්නා අතරම සිය ගනුදෙනුකරුවන් සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් වඩාත් ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ අරමුණ වී තිබේ. 

I Will Always Love You ඩොලී පාර්ටන් Read Previous

I Will Always Love You ඩොලී පාර්ටන්

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment