අබාධය කරුමයක් නෙමෙයි - නිශා

 අබාධිත කියන දෙය ජිවිතයට බාධාවක් කරගත්තේ නැහැ

 

 

"හැම අදුරු වළාවකම රිදී රේඛාවක් පවතින අතරම එම රිදි රේඛාව දකින්නට ලැබෙන්නේ ඔබ එය දකින්නට උත්සහ කරනවානම් පමණයි. මේ කතාවට අනුව අඳුරු වළාවකින් රිදි රේඛාවක් සොයා ගිය දිරිය කාන්තාවක් අපට මුණ ගැසුනා . ඇය නමින් නිශා ශරිෆ් . දිරිය කතුන් සොයා යන සිරිකත Online මෙවර කතාබහ ඇය සමඟ. ඇය හොයාගෙන සිරිකත Online අපි පා තැබුවේ සෙංකඩගල පුරවරයට. අදවන විට දක්ෂ ඔරලෝසු කාර්මික ශිල්පිණියක් වන නිශා, ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් දැඩිව කැප වන සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද වැඩ කරනවා.

? ඔබ නමින් නිශා ශරිෆ්. ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත් ?

 මම නිශා ශරිෆ්. ඉපදුනේ ගම්පළ . දැනට මහනුවර ප්‍රදේශයේ ඔරලෝසුව කාර්මික ශිල්පිණියක් විදියට මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒ වගේම අබාධිත පුද්ගලයින් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිනියක් ලෙසත් කටයුතු කරනවා. මම ගැන සඳහන් කළොත් ජීවිතයම අත්වාරුවකට උරුම වුණු කෙනෙක් . එයට හේතුව කුඩා කාලයේ  සුසුම්නාවේ අබාධිත තත්වයක් නිසා ඉනෙන් පහළ කොටස පණ නැති වීමත් සහ ඇවිදීමට වාරු නැති විම. එයත් සමඟ මට සිද්ධ වෙනවා කුඩා කාලයේ සිටම ආබාධිත දරුවෙක් විදිහට වැඩෙන්නට.


?එලෙස ගෙවුණු කුඩා කාලය ඔබේ ජීවිතයට බලපෑවේ කෙසේද? 

කුඩා කාලයේදීම ආබාධිත තත්ත්වයට පත් වීම නිසා අනෙක් දරුවන් වගේ දුවපැන ඇවිදින්නට මට හැකියාව ලැබුණේ නැහැ. නමුත්  මම මනසින් ක්‍රියාශීලී දරුවෙක් වුණා . ඉතින් මේ තත්ත්වය නිසා  ළමා කාලය එතරම් සුන්දර වුණේ නැහැ. විටෙක ඒ පිළිබඳව පසුතැවීමක් දැනුණත් මම අබාධිත කියන දෙය ජිවිතයට බාධාවක් කරගත්තේ නැහැ . ඒ නිසාම අද ඉන්න තත්වයට ගොඩ නැගෙන්නට මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න සහ මම වගේම තවත් පුද්ගලයින්ට වාරුවක් වෙන්නත්  මට පුළුවන් වෙලා තියෙනවා.


?ඔබේ ජීවිතය වෙනස් කර ගන්න ඔබ ප්‍රගුණ කළ ප්‍රධාන ගුණාංග මොනවාද ?
 
ඔව් කුඩා කාලයේදී මට පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වූ නිසා ජීවිතයේ අඳුරු කාලපරිච්ඡේදයකට මුහුණ දෙනවා. නමුත් ජීවිතේ වෙනස් කරගත යුතුයි කියන අධිෂ්ඨානය හිතේ නිතරම තිබුණ නිසා ඒ වෙනුවෙන් වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට මා විසින් යොමු වෙනවා .ඒ සදහා මා තෝරා ගන්නේ රාගම වෘත්තීය පුහුණු ආයතනය. ඒ පිළිබඳව සඳහන් දැන්වීම පළවෙලා තිබුනෙත් සිරිකත පුවත්පතේ. ඉතින් ඒ ගමන  ජිවිතේ බොහෝ වෙනස්කමකට මුලපිරුවා වගේම වසර 19 කාලයක් හිරවෙලා ඉදපු මම සමාජය ගැන වගේම බොහො දේ පිළිබදව අවබෝධය ලබා ගන්නවා. ඒවගේම එය මාව වෙනස් පුද්ගලයෙක් බවට පත් කරනවා.

 


?සමාජ ක්‍රියාකාරිනියක් විදිහට ක්‍රියාකරන ඔබ ලාංකීය සමාජය තුළ තුල ආබාධිත පුද්ගලයින් පිළිබඳව දකින මානය පිළිබඳ දරන අදහස කුමක්ද? 

ඒ පිළිබඳ කතා කළ යුතුමයි . බොහෝ දෙනා අබාධිත පුද්ගලයින්  වෙනස් කොට සලකනවා සහ ඔවුන්ව ලේබල් කරනවා. එතැනදි ඒ වගේම අනුකම්පාව මුවාවෙන් කරන සමහර හිත් රිදීම් බොහෝමයි. ඉතින් ඒ නිසා ආබාධිත පුද්ගලයින්ට වෙන මානසික බලපෑම දරුණුයි . ආබාධිත පුද්ගලයින් නොසලකා හැරීම , ඔවුන්ව රැකබලා නොගැනීම වගේ කරුණු නිසා ජීවිතය හැරයන්නට පෙළඹෙන ආබාධිත පිරිස් බොහෝමයි. ඒ පිළිබඳව සෝචනීය අත්දැකීම් බොහොමයක් අත්විදින්නට සිදුවෙලා තියෙනවා. සමහරුන් ආබාධිත අය රැකියාවට එද්දී "බැරුව ඉද්දි කොහෙ යනවද මන්දා" වගේ අදහස් දක්වනවා සහ ඒ වගේ දේවල් අත්වීදිමට සිදුවෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබදව තියෙන්නෙ දැඩි කලකිරීමක් වගේම පිළිකුල් සහගත බවක්. එයට හේතුව ලාංකීය සමාජය තුළ ආබාධිත පුද්ගලයින්ව දකින යල්පැන ගිය දුර්වල  මානසිකත්වය සහ ආකල්පමය දරිද්‍රතාවය .

?ලාංකීය සමාජය තුල ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙල පිළිබඳව ඔබ සෑහීමකට පත්වනවාද? 

ඇත්තෙන්ම නැහැ .ආබාධිත පුද්ගලයින්ගේ ජීවිතය ,ඔවුනගේ මානසික මට්ටම ,භෞතික ප්‍රවේශය, අවශ්‍යතා ආදිය පිළිබඳව දක්වන සැලකිල්ල පිළිබඳව සෑහීමකට පත් වෙන්න බැහැ . මොකද ලාංකීය සමාජය තුළ තුල ආබාධිත බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුනට අවශ්‍ය  පොදු වැසිකිළි පහසුකම්වත් බොහෝ තැන් වල නැහැ. ඒ වගේමයි අනුකම්පාවෙන් නොවෙයි ඔවුන්ට දෛනික ජීවිතයේ ඔවුන්ගේ කාර්යයන් කරන්නට අවශ්‍ය පහසුකම් ලබා දීමයි සිදුවිය යුත්තේ. ඒ වගේමයි ගමනාගමන පහසුකම් අධ්‍යාපනය මේ සියල්ලෙන්ම ආබාධිත පුද්ගලයින් මේ සමාජය තුළ පීඩාවට ලක්වෙනවා.


?සමස්ත කාන්තාවන්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද ?

ජීවිතය මටත් අඳුරු යුගයක් තිබුණා.  ඒ කාලය තුළදී මම උත්සාහ කළේ එයින් මිදෙන්න . ඒ වගේමයි මම ඒ ආබාධිත තත්ත්වය ඇතුලෙ අසාධාරණයට ලක්වුණා. ඉතින් එවැනිම  දෙයක් තවත් අයෙක්ට  නොවෙන්න නැගී සිටින්නත් මට අවශ්‍ය වුණා. ආබාධිත තත්ත්වයේ සිටින එවැනි එවැනිම අයට මට කියන්න තියෙන්නෙ ආබාධිත තත්ත්වය තුළින් ඔබ මිදෙන්න. කාන්තාවක් නම් අභිමානවත් වෙන්න. තමන්ගේ ආබාධිත කමට ශාප නොකර ඔබ එය පිළිගන්න . මුලින්ම ඔබට ආදරය කරන්න .ඒහෙම කළොත් ඔබට පුළුවන් වේවි  ජීවිතේ වෙනස් කරගන්න. ඒ වගේමයි මම නිතරම මරණය කියන දේ මෙනෙහි කරනවා. ඒ තුළ ජීවිතය පිළිබඳ අවබෝධයත් සමාජයට යමක් ඉටු කරන්න ඕනේ කියන හැගීම තුළත් මම ඉන්නවා. ආබාධිත භාවයෙහි උරුමය කරුමයක් කර නොගත්තොත් මම හිතනවා ඔබට පුළුවන් ජීවිතේ වෙනස් කරගන්න කියලා.

 

?ලාංකේය සමාජයටත් ඔබට කියන්න දෙයක් ඇති ? 

ආබාධිත බව කියන්නේ අබාධිත පුද්ගලයාගේ හෝ සමාජය වැරැද්දක් නොවෙයි. සමාජය තුළින්ම ආකල්පමය වශයෙන් හා භෞතික වශයෙන් ආබාධිත පුද්ගලයින්ට නිසි තැන ලබා දිය යුතුයි. අනුකම්පාව නොවෙයි ඔවුන්ව ශක්තිමත් කරමින් ඔවුන්ට ද සමාජය තුළට එන්නට ඉඩ කඩ සලසා දිය යුතුයි. ඔවුනට ලේබල් නොගසා නිවැරදිව ප්‍රශ්නය වටහා ගනිමින් සමාජයක් ලෙස සමාජය තුළින්ම ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතුයි යන්න මගේ අදහස . අබාධිත පුද්ගලයින්ට වෙනසක් නොකර ඔවුන්ට  ස්වාධීනව ගොඩ නැගෙන්නට ශක්තියක් වෙන්න කියලා අවසාන වශයෙන් සියලු දෙනාගෙන් ඉල්ලනවා.

ඉතින් හුරුපුරුදු සිනාවෙන් සිරිකත Online සංවාදයට සමුදුන් ඇය දිරිය කතුන්ට ආදර්ශයක්. දෙපයට වාරු නොමැති වුවත් ජිවිතේ අදුර ජයගත් ඇය ජිවිතේ කොතරම් බාධා තිබුනත් අවසන ඒවා සියල්ල දිරියෙන්ම දිනිය යුතු බව පසක් කරනවා.

සටහන සහ ජයාරූප - ජයනි ලක්ෂිකා

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Previous

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Next

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

Realted Post

Leave a comment