කුකුළු පාලනයයි බිත්තර නිෂ්පාදනයයි නිවසේදීම

වර්තමානය වනවිට රටේ පවතින ආර්ථිකත්වය හමුවේ වගේම වසංගත කාලයේදී ලැබුණු වැඩි විවේකය හමුවේ ගෙවතු වගාවට බොහෝදෙනා යොමුවිය. සත්ත්ව  පාලනය තුළින් ආහාරවල පෝෂණීය ගුණය වැඩි කරගන්නා ආකාරය අපි පියවරෙන් පියවර කතා කිරීමට සූදානම්. 

මේ සටහන එහි මූලික පියවර පිළිබඳවයි. 

ගෙවත්තෙම සත්ත්ව පාලනයත් කරන්න පුළුවන්ද? 

සත්ත්ව පාලනයේදී සැලකිය යුතු මූලික කරුණ නම් අප ඇති කරන සතා පාලනය කිරීමට අවශ්‍ය දේවල් සපයාගත හැකිද යන්න සොයා බැලීමයි.  ගෙවතු පාලනයත් සමග සත්ත්ව පාලනය සිදු කරන විට ඒ සතාට ප‍්‍රමාණවත් ඉඩක් තිබිය යුතුයි. කූඩුවක ඇති කිරීම වගේම නිදැල්ලේ හදනවා නම් ප‍්‍රමාණවත් ඉඩක් තිබිය යුතුයි. ඊළඟට එම සතාට අවශ්‍ය ආහාරපාන ලබාදීමේ යම් ක‍්‍රමවේදයක් තිබිය යුතුයි. එවැනි දේවල් ගැන මූලික අවධානය යොමු කළ යුතුයි. ඒ හරහා ගෙවතු වගාව සමග සත්ත්ව පාලනය සිදු කළ හැකියි. 

ගෙවත්තට සුදුසු සතුන් කවුද? 

බිත්තර ලබා ගැනීම සඳහා කිකිළියන් කිහිපදෙනෙක් ඇති කිරීම ඉතා පහසුයි. බිත්තර හිඟතාවක්ද තිබෙන බැවින් එය පවුලේ පෝෂණයට ඉතා හොඳ තීරණයක් වේවි. කිසිම අමතර වියදමක්, මහන්සියකින් තොරව සතුන් නිදැල්ලේ වුවත් සැදීමට පුළුවන්. කූඩුවක දමා වුවත් ඇති කළ හැකියි. වැඩි කිකිළියන් සංඛ්‍යාවක් ඇති කිරීමෙන් බිත්තර විකුණා අමතර ආදායමක්ද ලැබිය හැකියි. 

ගෙවත්තේ වැඩි ඉඩ ප‍්‍රමාණයක් තිබේ නම් පහසුවෙන් කිරි ගවයන් ඇති කිරීමටද පුළුවන්. නිවැසියන්ට අවශ්‍ය කිරි පිරිසුදුව නැවුම්ව ලබා ගැනීමට පුළුවන්. හැකියාවක් තිබේ නම් එළකිරි යොදා යෝගට් වැනි නිෂ්පාදන නිවසේදීම කළ හැකියි. එය පවුලේ පෝෂණයට වගේම අමතර ආදායමකටත් කදිම පිළිතුරක්.

තාරාවන්ද පහසුවෙන් ඇති කළ හැකි සතුන් විශේෂයක්.  ගෙවත්තේ කුඩා පොකුණක් සාදාගත හැකි නම් තාරාවන් ඇති කිරීම ගැටලූවක් නොවෙයි. ඔවුන්ගේ බිත්තර ඉතා හොඳ පෝෂණ මාධ්‍යයක්. ඒ වගේම වටු කුරුල්ලන් ඉතා කුඩා ඉඩ ප‍්‍රමාණයක වුවත් ඇති කළ හැකියි. වටු බිත්තර පෝෂණයෙන් ඉහළ වගේම වෙළෙඳපොළේ ඉතා හොඳ ඉල්ලූමක් ද තිබෙනවා. 

මෙවැනි සතුන් ඇති කිරීමට විශාල  මුදල් ආයෝජනයක්, ඉඩකඩක් අවශ්‍ය නැහැ. 
ඊට අමතරව මුදල් ඉපයීමේ අරමුණින් විසිතුරු මසුන් ඇති කළ හැකියි. ඒ සඳහා විශාල ඉඩක් අවශ්‍ය වන්නේද නැහැ. අපිට පුළුවන් කුඩා පරිමාණ ටැංකියක මත්ස්‍යයන් ඇති කරන්න. එයත් අපට සුළු ව්‍යාපාරයක් ලෙස කරන්න පුළුවන්. 

සැලකිය යුතු කරුණු මොනවාද?

අප තෝරාගන්නා සත්ත්ව විශේ්ෂය අනුව ඒ සතාට ලබාදිය යුතු ආවේණික දේවල් තිබෙනවා. නිදසුනක් ලෙස කුකුළු කර්මාන්තය දැක්විය හැකියි. 

බිත්තර දමන කිකිළියෝ දෙතුන් දෙනෙකු ඇති කරනවා නම් නිවසේ ඉවතලන අපද්‍රව්‍ය ඔවුන්ගේ ආහාර සඳහා ගන්න පුළුවන්. ඊට අමතරව සත්ත්ව ආහාර කුඩා ප‍්‍රමාණයක් හෝ දෙනවා නම් ඔවුන්ගේ වර්ධනය හොඳින් සිදුවෙනවා. වසු පැටියෙක් හදනවා නම්ලබාදිය යුතු නිශ්චිත ආහාර තිබෙනවා. තණකොළ සහ සාන්ද්‍ර ආහාර ලබා දුන්නොත් වඩා හොඳයි. මත්ස්‍යයින් හදනවා නම් ඒ අයට නිර්දේශිත ආහාර තිබෙනවා. ඒ සඳහා වැඩි වියදමක් යන්නේ නැහැ. තමන්ට වුවත් නිෂ්පාදනය කරගත හැකියි. ඒ දේවල් නොමැති වුවහොත් සතාගේ පෝෂණය හීන වී බලාපොරොත්තු වන නිෂ්පාදනය නොලැබෙන්න පුළුවන්. සතා ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට කාලගුණික සහ අහිතකර දේවල්වලින් සත්ත්වයා  ආරක්ෂා කර ගත යුතුයි. විශේෂයෙන් කුකුළන් වැනි සතුන් රාත‍්‍රී කාලයේදී  ආරක්ෂා කර ගත යුතුයි. මෙවැනි දේවල් නිසි ලෙස විසඳීම තුළ කිසිදු ගැටලූවකින් තොරව ඉහළ නිෂ්පාදනයක් ලබා ගැනීමට පුළුවන්.

සටහන - මහේෂානි මීගහපොළ

ළතෙත් ගුණැති අම්මා Read Previous

ළතෙත් ගුණැති අම්මා

Maxi Frock Read Next

Maxi Frock

Realted Post

Leave a comment