ලස්සනට ගේහැදුවට අපිළිවෙළනම් වැඩක්නෑ

 

කෙතරම් අස් කළත් නිවෙස අපිළිවෙළට පෙනෙන ගැටලුව ඔබටත් තිබෙනවාද? අධික මුදලක් වැයකර  හදන තමන්ගේ නිවහන ඇතුළෙත් හිතට සැනසීමක් ගෙනෙන වටපිටාවක් නැතිනම් ඒ වෙනුවෙන් මොනතරම් වියදම් කළත් පලක් නැහැ. නිවස ඇතුළත අලංකාර කරන්න වැඩි වටිනාකමින් යුතු ගෘහ භාණ්ඩ මිලදී ගැනුනත් ඒවා පිළිවෙළකට තබා ගැනීමට ඔබ අපොහොසත් නම් බලාපොරොත්තුවන නිදහස් වටපිටාව පවත්වා ගැනීම තවත් අපහසු වෙනවා. ඒ කොහොම වුනත් පිළිවෙළක් නොපෙනෙන ජීවිතයක් කියන්නේ අවුල්වුණු නූල් බෝලයක් වගෙයි. ලෝකේ කොහේ ගියත් තමන්ගේ නිවහන එකම සැනසිල්ල නිසා එහි වටපිටාව පිළිවෙළකට සැලසුම් කර ගැනීම වැදගත්. ඒ පුරුද්ද ගේ දොර විතරක් නොවෙයි ජීවිතයේම පිළිවෙළකට වැඩ කරන්න ඔබට උදව් වේවි.
 

පරණ නිවසට අලුත් පිළිවෙළක්
තමන් දැනට ජීවත්වන නිවසේ වටපිටාව පිළිවෙළක් කරගන්න වැඩේ එක දවසින්, සතියෙන්, කරන්න පු`ඵවන් දෙයක් නොවෙයි. දැන්වත් ඔබ, ඔබේ නිවස පිළිවෙළකට තබාගත යුතු යැයි සිතනවා නම්, මේ එම අදහස ක්‍රියාත්මක කරන්න නිදහස්ම සහ සුදුසුම කාලයයි. ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ, පරණ නිවසක් නම් ඒ වෙනුවෙන් මාසයක් පමණ කාලයක් වැය කර නිවස ඇතුළත තිබෙන අනවශ්‍ය පොත්පත්, පරණ බිල්, කැඩුණු බිඳුණු දේවල්, භාවිතයට නොගන්නා සියලු දේවල් ඉවත දමා අස්කර ගැනීමයි. එසේ නොකර නිවසක් පිළිවෙළකට තබා ගැනීම නම් අසීරුයි.

 

 

කෙතරම් අස් කළත් පිළිවෙළක් නැත්තේ ඇයි?
ඔබත් අනිවාර්යයෙන්ම මේ වැරදි කරනවා ඇති. උදාහරණයක් විදියට එළියේ රෙදි වැලේ වේළෙන්නට දමා ඇති රෙදි, හදිසියේ වැස්සක් එන විට, ගමනක් යන්නට තිබෙන විටදී, ඉක්මනින්ම කලබලයට වැලෙන් ඉවත් කරගෙන පහසුවට සාලයේ පුටුවක් උඩ ගොඩගසන අවස්ථා ඇති. නැතිනම් කෙළින්ම කාමරයට ගෙනවිත් ඇඳ මතට හෝ කාමරයේ පුටුවක් මතට දමනවා ඇති.
ඒ වගේම සාලයේ පුටු සැටි දූවිලිවලින් ආරක්ෂා කර ගැනීමට සිතා ඇතැම් අය රෙද්දකින් පුටු වසා තබයි. සමහර අවස්ථාවල නොදැනුවත්වම කරන මෙවැනි දේවල්වලින් නිවසක අපිළිවෙළ වැඩි වශයෙන් පිටතට පෙනෙයි. 
සමහර අවස්ථාවල ගමනක් ගොස් පැමිණි විගස, වැඩි දෙනෙක්, අත් බෑගය, කුඩය වුනත් සාලයේ මේසයක් මත නැතිනම් පුටුවක් මත තබන අවස්ථා තිබෙනවා. මෙවැනි අවස්ථාවක නිවෙසට කවුරුන් හෝ අමුත්තෙකු පැමිණියහොත් නිවසේ අපිළිවෙළ වඩාත් හොඳින් ඉස්මතු වී පෙනෙන්නට පුළුවනි. නිදන කාමරයේ ඇඳ මත, පුටු මත ඇඳුම් තැන් තැන්වල දමා ඇත්නම්, තේ පානය කළ කෝප්පය කූඹින් සමග තවමත් කාමරයේ නම්, යට ඇඳුම් කාමරයේ තැන් නැත්වල දමා තිබේ නම්, මෙවැනි මොහොතක ඔබේ යහ`ඵවකු කාමරයට පැමිණියහොත් එහි තිබෙන අපිළිවෙළ සම්පූර්ණයෙන්ම ඔබේ ප්‍රතිරූපය කෙරේ බලපායි. එපමණක් නොව ඔබේ චර්යා රටාව ගැන ඔබ නැති මොහොතකදී කතාබහට වුවද ලක්විය හැකියි. නොසිතා කරන මෙවැනි වැරදි නිසා නිවෙසක පිළිවෙළ පවත්වා ගැනීම අසීරුයි. විශේෂයෙන් නිවෙසක් පිළිවෙළට තබා ගැනීමේ මූලිකම පුහුණුවීම වන්නේ අදාළ දෙය ඒ මොහොතේම එයට අදාළ ස්ථානයේම තැබීමෙනුයි.

පිළිවෙළ හදන අපූරු සැලසුම
සියලු අවශ්‍යතාවලින් සම්පූර්ණ විශාල නිවසක් වුවත් පිළිවෙළකට තබා ගැනීමට නොහැකි වන්නේ අප තුළ පුහුණුවීමක් නොමැතිකම සහ අක්‍රමවත් ජීවන රටාව නිසයි. උදාහරණයක් ලෙස ජපන් ජාතිකයන් ඉතා සීමිත ඉඩකඩක ඇති පුංචි නිවෙසක් වුවත් ආකර්ෂණීය ලෙස පවත්වා ගන්නේ ඔවුන් ජීවිතේම පිළිවෙළ පුහුණු කර තිබෙන නිසයි. ඔවුන් බොහෝ විට ඔවුන්ටම ආවේනික පිළිවෙළක් අනුගමනය කරයි. ඒ අනුව ඔවුන් මූලිකවම කරන්නේ ගන්න දෙය අදාළ ස්ථානයේම නැවත තැබීම සහ අදාල බඩු භාණ්ඩ තැබීමට නියමිත ස්ථාන නිර්මාණය කරගැනීමයි. විශේෂයෙන් එවැනි ජීවන රටාවකට පුහුණු වූ විට ඔබට සියලුම කටයුතුවලදී නොදැනුවත්වම පිළිවෙළ අත්‍යවශ්‍ය වනබව ඔබටම දැනෙයි. එවිට ඔබ ටොෆී කොළයක් වුවද අදාළ ස්ථානයට මිස නිවසේ තැනින් තැන දැමීමට පුරුදු වන්නේ නැහැ.

 

 

අපිළිවෙළ වටපිටාව පිළිවෙළ කරන රටාව 
නිවෙසට රැගෙන එන භාණ්ඩවල රැඳවුම් නිවසේ කබඩ් යට, අල්මාරි යට පොත් රාක්ක යට හෝ නිදන ඇඳ යට තබා ගැනීමට වැඩිදෙනෙක් පුරුදූ වී සිටියි. මෙයද නිවෙසක් කොපමණ අස්කළත් එහි ආකර්ෂණීයබව පිටතට නොපෙනෙන්න හේතුවක්.
සෑමවිටම එම ස්ථාන යට හිස් අවකාශයක් තිබීමෙන් නිවස තුළ පිළිවෙළක් ඇතිවෙනවා. කලබලයට ගෙනත් කාමරයේ ඇඳ මතට රෙදි දමන්නේ ඒ මොහොතේ ඔබට එය පිළිවෙළකට නවා අල්මාරියේ දැමීමට තරම් කාලයක් නැති නිසා නම්, ඔබ ඒ සඳහා කාමරය තුළ වේවැල් කූලයක් හෝ ප්ලාස්ටික් රෙදි දමන කූඩයක් භාවිතයට පුරුදු වෙන්න. එවිට හදිසියට රැගෙන එන රෙදි ඔබට නිදහස් වේලාවක නවා ගැනීම සඳහා එම කූඩයට දමා වසා තැබිය හැකියි. එවිට හදිසියේ වුවත් කාමරයට කවුරුන් හෝ පැමිණියත් බැලූ බැල්මට අපිළිවෙළක් පෙනෙන්නේ නැහැ.


ඒ වගේම තේ පානය කර අවසන් වූ සැණින්, කෑම කා අවසන් සැණින් එය පසුව සේදීමට තැන් තැන්වල තබනවාට වඩා ඒ මොහොතේම ඒවා සෝදා අදාළ ස්ථානයේම තැබීම පුරුද්දක් කරගත යුතුයි. 
මු`ඵතැන්ගේ තුළ වුවද ආහාර පිසින ගමන්ම අස්කිරීමට හැකි නම්, මු`ඵතැන්ගෙයි අපිළිවෙළද නැතිවෙනවා. සමහර ගෘහිණියන් සින්ක් එක තුළ පසුව සේදීම සඳහා ඉඳුල් භාජන ගොඩගසා තබනවා. මෙයින් අපිළිවෙළ පමණක් නොව ඉඳුල් භාජනවල දුගඳ ඇතිවීම මෙන්ම මැස්සන් වැනි සතුන් ද බෝවෙනවා.  ඒ නිසා මු`ඵතැන්ගේ පිළිවෙලට තබාගැනීම සඳහා සෑම වෙලාවකම අදාළ කාර්යය අවසන් වූ වහාම පිරිසුදු කිරීමත් පුරුද්දක් කරගත යුතුයි.


සාලයේ පුටු ආදිය දූවිලිවලින් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම් ඉදිරිපස දොර වසා තැබිය හැකියි. එසේ නොමැතිව විවිධ රෙදි වර්ගවලින් බඩුභාණ්ඩ ආවරණය කිරීමෙන් සම්පූර්ණයෙන්ම නිවසක තිබෙන පිළිවෙළ ඉවත් වී ඇසට කලබලකාරී ගතියක් ඇති කරයි.
මේ කරුණු ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. නිවෙස අස් කිරීමට වෙනම වෙලාවක් අවශ්‍ය නොවනු ඇති.

 


සටහන: නයනා උදයංගනී 


 

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු Read Previous

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Next

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

Realted Post

Leave a comment