වගකීමෙන් වැඩ කරනවානම් කිසිම ගැහැනු ළමයකුට වරදින්නේ නෑ - ප්‍රීනි ඉෂාරා

ජීවිතයේ යොවුන් වියේදීම මුහුණදුන් අභියෝග හමුවේ නොසැලෙමින් ඉදිරියට යා හැකිනම් එය ගැහැනියකට අප්‍රමාණ වූ ශක්තියකි. වගකීම් වෙනුවෙන් ආත්ම විශ්වාසයෙන් කටයුතුකර ජීවිතය දිනාගත් ඇය අද අපේ රටේ ප්‍රමුඛතම  පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක ලෙස කටයුතු කරන්නීය. ඒ  පැමිණි ගමන කටුතුඩු මතින් වීම ම ඇයට ආභරණයකි. මෙවර සිරිකත ‘ඇය’  ප්‍රීනි ඉෂාරා විතාරණ  යි.

  •  තාත්තා අහිමි ළමා විය

මගේ ගම ගාල්ලෙ එලියට් පාරෙ. අපේ පවුලෙ හිටියෙ අම්මයි, තාත්තයි, නංගියි , මල්ලියි, මමයි. මම තුන වසරෙ ඉන්නකොට තමයි අපේ තාත්තා නැතිවෙන්නෙ. එතකොට මල්ලි අත දරුවෙක්. තාත්තා නැතිවීමත් එක්ක අපේ  ජීවිත පුදුම විදියට වෙනස් වෙන්න ගන්නවා.  තාත්තා ඉන්න කාලෙ අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ ජීවත් වෙන්න. අපිට ජීවත්වෙන්න තිබුණු එකම ආදයම් මාර්ගය තමයි තාත්තගෙ විශ්‍රාම වැටුප. ඒක අපි තුන්දෙනාට උගන්නවලා ජීවත්වෙන්න හැරෙන්නවත් මදි. ඒ නිසා අම්මා ගෙදර බෝඩිමක් පටන් ගන්නවා. බෝඩිම් ළමයි හිටිය නිසා නිදහස ටිකක් අඩුවුණා. 

  • පාසල් කාලය 

මම ගියේ ගාල්ලෙ සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. පාසලේ ජනප්‍රිය චරිතයක්  මම. සංගීතය පැත්තෙන් ගොඩක් ඉදිරියෙන් හිටියා. පාසලේ බටහිර තුර්ය වාදන කණ්ඩායමේ සාමාජිකවක් වගේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක ලෙසත් කටයුතු කළා. 
මම උසස් පෙළට භාෂා විෂයන් හැදෑරුවත් මට හොඳ ප්‍රතිඵලයක් පෙන්වන්න බැරිවුණා. ඒකට හේතුව වුණේ ඒ විෂයන්වලට හොඳ ටියුෂන් ගුරුවරු හිටියෙ  ගාල්ලෙන් පිට. මට ඒ පන්තිවලට යන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒත් අම්මා පුළුවන් විදියට මාව ගාල්ලෙ පන්තිවලට යැව්වා. මම උසස් පෙළ දෙවැනි වතාවට නැවත කලා අංශයෙන් පෙනී සිටියා. ඒත් අන්තිමට නොසිතූ දෙයක් අපේ ජීවිතවල  සිදුවනවා.

  • ඒ  මොකක්ද?

උසස් පෙළ ප්‍රතිඵල එන්නත් කලින් අපේ අම්මාත් ජීවිතේ හැර යනවා. එතකොට නංගි සාමාන්‍ය පෙළවත් ලියලා නැහැ. මල්ලි අට වසරේ. මට කරන්නේ  මොනවද කියලා හිතාගන්න බැරිව හිටි කාලයක්. මට විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් නැති වුණත් විභාගය හොඳින් සමත් වෙනවා. මට ඕනැ වෙන්නෙ කොහොමහරි රැකියාවක් කරලා මල්ලිටයි නංගිටයි උගන්වන්න. මම ඒ වගකීම ගන්නවා. ජීවිතේට කොහොමහරි මුහුණ දෙනවා කියලා හිත හදාගෙන වැඩ කරනවා.

  • අඩු වයසින්ම රැකියාවකට 

මම පළමුවර උසස් පෙළ ලියලත් නිකම් හිටියෙ  නැහැ. ටියුෂන් පන්තියක කාර්ඩ් මාර්ක් කරන්න ගියා . මොන්ටිසෝරියක දරුවන්ට සංගීතය ඉගැන්නුවා.  ඒ හැමදේම කළේ අම්මට හයියක් වෙන්න. ඒත් ඒ දෙන්නම නැතිවුණාම හැම දෙයක්ම මම කරන්න ඕනැ නේද කියලා හිතුණා. නමුත් ඒ හැමදේම මම කළේ හරිම සතුටින්. ඒ නිසා මගේ යහළුවෙකුගේ මාර්ගයෙන් පෞද්ගලික ආයතනයක රැකියාවකට යනවා. මම කොහොමහරි උනන්දුවෙන්,  කැපවීමෙන්  රැකියාව කරනවා. වගකීම් දරනවා. එහෙම ඉදිරියට ඇවිත් අද  මම ඒ ආයතනයේ විධායක නිලධාරිනියක ලෙස සේවය කරනවා. ඒ ආයතනයෙන්  මගේ ජිවිතයට ලැබුණු දේ බොහෝමයි.

  • මාව රැකගත් ආදරයක්

මට තිබුණෙ පාසල් ප්‍රේමයක්. ඔහු තමයි අද මගේ සැමියා. යොහාන් ගල්වඩුගේ.  ඔහු තමයි ජිවිතේ මුහුණ දුන් හැම ප්‍රශ්නයකදිම මා එක්ක හිටපුකෙනා. අම්මා  නැතිවෙනකොට, නංගියි මල්ලියි  එක්ක තනිවෙකොට ඔහු තමයි මාවත් රැකගෙන මේ ජීවිතේ ඉස්සරහට යන්නෙ. නංගිට, මල්ලිට උගන්වන්න ඔහු  දුන් හයිය මෙතෙකයි කියන්න බැහැ. අපේ පුතාලා එසඳු  සහ යුමෙත් ගාල්ලෙ මහින්ද  විදුහලේ ඉගෙන ගන්නවා. අපි හරිම සතුටින් ජීවත්වෙනවා.

  • ජීවිතේ ආපසු හැරුණොත්

පුදුමාකර අභියෝග රැසකට මුහුණ දුන්නා. අඬපු වාර  අනන්තයි. ඒත් හැම  වෙලාවකම මට පුළුවන් කියලා මම ආයෙත් නැගිටිනවා. අම්මත් නැතිවෙනකොට මල්ලියි නංගියි ඉස්කෝලෙ පොඩි පන්තිවල. එයාලා දෙන්නගෙ පාසලේ ගුරු  දෙගුරු රැස්වීම්වලට පවා ගියේ මම. අද වෙද්දි පුදුම සතුටක් තියෙනවා. මොකද ඒ දෙන්නා මගේ අත් දෙක අල්ලන් හරි පාරෙ ගියා මිසක් අතරමග නතරවුණේ  නැහැ. නංගි රජයේ පාසලක නියෝජ්‍ය  විදුහල්පතිනියක ලෙස සේවය කරනවා. මල්ලි පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා.  ඒ දෙන්නත් අද විවාහකයි. මම දැන් අධ්‍යාපනය පැත්තෙන් අතහැරුණු දේවල් එකින් එක  දිනාගනිමින් ඉන්නෙ.  මේ වෙද්දි මම (MBA) master of Business Administration දක්වා අධ්‍යාපනය හදාරලා ඉන්නෙ.

  • ගැහැනු ළමයකුට..

හිතාගන්නවත් බැරි බොහෝ අභියෝගවලට මම මුහුණ දෙද්දි අවුරුදු විස්සක්වත්  නෑ. ඒත් මම ඒ පුංචි වයසෙදිම සියලු වගකීම් ගත්තා. අද ගොඩක් තරුණ ගැහැනු ළමයි හීන පස්සේ ඕනෑවටත් වඩා දුවනවා. අම්මලා තාත්තලා කියන  දේවල්වත් එච්චර ගණන් ගන්නෙ නැහැ. ඒක ඒ තරම් සුබ නැහැ. තමන් විශ්වාස කරලා වැඩ කරන්න.  තමන්ගේ පෞද්ගලිකත්වය  ඕනෑවට වඩා අනුන් එක්ක නොකියා ඉන්න උත්සාහ ගන්න. අවබෝධයෙන් , වගකීමෙන් වැඩ කරනවා නම් කිසිම ගැහැනු ළමයකුට ජීවිතය වරදින්නෙ  නෑ.

  • බලාපොරොත්තු...

මම තාම ජීවිතේ දිනලා  නෑ. කවදාහරි මම මේ ජීවිතේ දිනනවා. ඒ හයිය මට තියෙනවා. අම්මා කෙනෙක්, බිරිඳක්,  අක්කා කෙනක් විදියට මටත් හීන තියෙනවා.  මේ ඒ හීන එකින් එක සැබෑවෙන කාලය.  හැමෝම එක්ක හිනාවෙලා හැම වෙලාවම ඉන්න උත්සාහ ගන්න කෙනක්. රැකියාවෙන් තවත්  ඉදිරියට ගිහින් කාටවත් කරදරයක් නැතිව කාටත් වචනයකින් හෝ හයියක්වෙලා ජීවත් වෙන්න තමයි මම කැමති.

වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය හෙටයි Read Previous

වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය හෙටයි

ලොව වටා අරුම පුදුම තැන් සොයා යන චාරිකාව Read Next

ලොව වටා අරුම පුදුම තැන් සොයා යන චාරිකාව

Realted Post

Leave a comment