සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

තමා ලද දැනුමෙන්, අත්දැකීමෙන් පරම්පරා ගණනාවකට යහමඟ පෙන්වා ජීවිතය ගොඩනගා ගන්නට සවියක් විය හැකිනම් එය මහඟු කාර්යයකි.රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ දහස්ගණනක් යුවතියන්ට මං පෙත් සැදූ දිරිය ගැහැනිය ඇයයි.ඒ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී මානෙල් කොටුවෙගොඩය. මෙවර සිරිකත ‘ඇය’ වෙන්වන්නේ ඇය වෙනුවෙනි.

සොඳුරු ළමා විය..

මම ඉපදුණේ හැදී වැඩුණෙ ගම්පහ. ඒක තමයි අපේ ගම. තාත්තා දකුණෙන් කොළඹට ඇවිත් ජීවිතේ පටන්ගත් කෙනෙක්. අම්මා නම් ගම්පහ. ඇය ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා කළේ ව්‍යාපාර කටයුතු. අපේ පවුලෙ මල්ලිලා තුනයි, නංගිලා දෙන්නයි. බොහොම සතුටින් අපේ ළමාවිය එක්ක ජීවිතය ගෙවිලා ගියා.

ජීවිතය කියාදුන් පාසල

මුල්ම පාසල ගම්පහ හෝලික්‍රොස් කොන්වන්ට් එක. ඊටපස්සෙ බණ්ඩාරනායකයෙනුත් කොළඹ ස්ටැෆර්ඩ් ලේඩිස් කොලේජ් එකෙනුත් අධ්‍යාපනය ලැබුණා. හැබැයි මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි හෝලි ක්‍රොස් කොන්වන්ට් එකෙන් ලැබුණු හික්මීම මගේ ජීවිතයට ලොකු පිටුවහලක් වුණා කියන එක. මොකද අදටත් මම වැඩකට ගියාම, වේදිකාවකට නැග්ගම ගොඩක් අය කියනවා මම තමයි කැපිලා පේන්නෙ කියලා. ඇත්තටම මම බොහෝවිට එහෙම කියන්නෙ ඇයි කියලත් විමසන අවස්ථා තිබෙනවා. එහෙම වෙන්නෙ පාසලෙන් ලැබුණු පන්නරය නිසා වෙන්න ඇති කියලා මම අදටත් විශ්වාස කරනවා.

හැඩ වැඩ රෙදි මල්..

පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ගෙදර ඉන්න කාලෙ තමයි මල් හදන්න ආසාවක් ඇතිවුණේ. මේ 1970 වගේ. අපේ අම්මා ගුරුවරියක්නෙ. මම දවසක් අම්මාගෙ ට්‍රේනින් කොලේජ් එකට ගියා. එතැන තිබුණු රෙදිවලින් හදපු විවිධ මල් දැකලා තමයි ආසාවක් ඇතිවුණේ. ඊට පස්සෙ ඉගෙනගත්තා. පසුව ජපන් ක්‍රමයටත් මල් හදන්න ඉගෙන ගත්තා. මේ වෙද්දි මට අවුරුදු 18ක් විතර. මට ඕනැ වුණා මල් ප්‍රදර්ශනයක් පවත්වන්න. අද වගේ නෙමෙයිනෙ ඒ කාලෙ, කිසිම පහසුකමක් නෑ. අඩුම තරමෙ හෝල් එකක්වත් හරියට නැහැ. දැන් ටාජ් සමුද්‍ර හෝටලය එදා සමුද්‍ර ශාලාව. ඒකෙ තමයි ප්‍රදර්ශනය පැවැත්වුවේ. ප්‍රදර්ශනය සතියක් කළා. සියලුම මල් හැදුවෙ අතින්. පොප්ලින් රෙදිවලට කැඳ දාලා, පොල් කටු රත් කරලා ටූල් කරලා හැදුවා. වෙන පහසුකම් තිබුණෙ නැහැ. ප්‍රදර්ශනය බලන්න සතිය පුරාම මහ සෙනඟක් ආවා. කොළඹ අවට හැම පාසලකම ගෘහ විද්‍යාව හදාරපු සිසුවියො එක්ක ආවා. හැමෝම කිව්වෙ මල්වල සුවඳ නැති එක විතරයි කියලා.

අලුත් කලාවක්...

මේ කාලෙ මේ වගේ වැඩවලට ප්‍රසිද්ධියක් දෙන්න අද වගේ මාධ්‍ය ආයතන තිබුණේ නෑ. මට මතකයි ප්‍රදර්ශනය ගැන ශ්‍රී ලංකාදීප පත්තරේ සහ දවස නිවෙසින් කරපු කාන්තා පත්තරය ප්‍රියාවි එකෙයි මේ ගැන ගියා. ඒ අත්දැකීම් එක්ක තමයි මම පන්ති පටන් ගත්තෙ. පළමු පන්තියට මුලින්ම අය කළේ රුපියල් පහයි. මමත් මේ කාලෙ කොණ්ඩා සැකසුම්, රූපලාවන්‍ය හැමදේම ඉගෙනගත්තා. ඒවා ආයෙත් ඉගැන්නුවා. බොහොම පරිස්සමෙන් හරියට දෙයක් කරන්නයි මට ඕනැ වුණේ.

සිරිකතෙන් අලුත් වී...

මේ කාලෙ වෙද්දි වැඩමුළු පිළිබඳව කාටවත් අත්දැකීමක් තිබුණෙ නෑ.මට ඕනැ වුණා රූපලාවන්‍ය වැඩමුළු පවත්වන්න. මේ වෙද්දි සිරිකත පත්තරේ පටන් අරන් තිබුණෙ. මම ගියා සිරි රණසිංහ මහත්තයා හමුවෙන්න. ඔහු කිව්වා රූපලාවන්‍ය වැඩමුළු පවත්වන්න සිරිකත පත්තරේ අනුග්‍රහය දෙන්න කියලා. ඔහු තමයි පළමු අඩිතාලම දැම්මෙ. අපි පළමු වැඩමුළුව "සිරිකත රුචිරාණනී රූපලාවන්‍ය වැඩමුළුව" නමින් මීගමුවේ පැවැත්වූවා. අතුරුසිදුරු නැතිව සෙනග පිරුණා. ඒක තමයි ලංකාවෙ පළමු රූපලාවන්‍ය වැඩමුළුව. පස්සේ මෙය "පැහැසරණී" නමින් රට වටා ගියා.

අපේ දරුවො දහස් ගණනක් රට වටා බිහිවුණා. ඒ ගැන නම් තියෙන්නෙ කියාගන්න බැරිතරම් සතුටක්.

සොඳුරු මනාලියෝ.. 

ඉස්සර රූපලාවන්‍ය කිව්වම බොහෝ අයට අමුතු වැඩක්. අද වගේ කිසිම පහසුකමක් නැහැ. අද වගේ රූපලාවන්‍ය දේවල් පිටරටින් ආවෙ නැහැනෙ. මම පළමු මනාලිය සැරසුවෙ 1976 දි. ඇගේ මල් කලඹ ස්වාභාවික මල්වලින් හැදුවත් යෙහෙළියන්ගෙ මල් කලඹ රෙදි මල් එකින් එක හදලයි කළේ. අදත් අපේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තරය එක්ක බලද්දි සියයට 20ක්වත් දියුණුවෙලා නෑ තමයි. ඒත් අපි කණ්ඩායමක් විදියට 1996 වෙද්දි අපේ රූපලාවන්‍ය කලාව ජාත්‍යන්තරයට රැගෙන ගියා.

ගෙදර වැඩ පළමුව...

මේ හැමදේම අතරෙ විවාහවෙනවා. රටට වැඩදායි පුතාලා දෙන්නෙක් හදනවා. මහත්තයා සියනෑ විද්‍යා පීඨයේ වැඩ කළේ. මොන දේ කළත් ගෙදර වැඩ අතහැරියෙ නෑ. ලොකු පුතා පොඩි පුතා උසස් රැකියාවල නිරත වී සිටිනවා. හොඳ ලේලිලා දෙන්නෙක් එක්ක දරු මුණපුරන් ඉන්නවා. පවුල තමයි ජීවිතය. රටේ දරුවන්ට යහමග පෙන්වන අතරේ මගේ දරුවන්ටත් හරි පාර කියා දුන්නා.

උතුරායන සතුට..

මම මගේ ජීවිතේ පුදුම සතුටකින් ඉන්න කාන්තාවක්. මේ ලංකාව ඇතුළෙ කොහේ ගියත් ගෝලයෙක් ඉන්නවා. මිස් නිසා තමයි ජීවිතේ හදාගත්තෙ කියලා මහ පාරෙත් වඳින දරුවො ඉන්නවා. රෝහලකට ගියත් අර මානෙල් කොටුවෙගොඩ කියලා පෙන්වන වෛද්‍යවරු ඉන්නවා. ඉතින් මේ ජීවිතේ තව මොනවද? දවසකට එක දුරකථන ඇමතුමක් හරි එනවා දරුවකුගෙන් මිස් අලුතෙන් වාහනයක් ගත්තා, ගෙයක් හැදුවා, අදටත් උදේට බුදුන් වඳිනකොට මිස්වත් මතක් කරනවා කියලා. මට ඒ ටිකම ඇති. සම්මාන අගැයීම් සම්මාන අගැයීම් නම් එමටයි. සම්මාන වැස්සක් තරමට ලැබිලා තිබෙනවා. ඒ අතරින් සුවිශේෂී සම්මානයක් ලැබුණා 2006 වසරේ කාන්තා දිනය නිමිත්තෙන්. ඒකට හේතුව වුණේ දහස් ගණනක් ව්‍යවසායකයන් බිහි කිරීමට දායකත්වයදීම වෙනුවෙන් ජනාධිපති සම්මානය.

නිරාමිස සතුට...

මම හරිම ආසයි ඇවිදින්න. මේ වෙද්දි රටවල් 70ක විතර සංචාරය කරලා තිබෙනවා. ඒ තුළින් ලබපු අත්දැකීම් මෙතෙකැයි කියන්න බෑ. මේ වෙද්දි ගම්පහ පමණක් එක පන්තියක් පවත්වනවා. කළගෙඩිහේනේ පුංචි හෝටලයක් පවත්වාගෙන යනවා. ඒක තමයි දැන් සතුට.

අවංක ගැහැනියකවන්න...

මේ ජීවිතේ ගැහැනියකට තිබෙන්න ඕනෑ ප්‍රධාන ම දේවල් තමයි අවංකකමයි, චරිතවත් බවයි, වෙලාවට වැඩ කිරීමයි. මේ ටික නිසියාකාරව පවත්වාගන්න පුළුවන් නම් කාන්තාවකට ඉදිරියට යාම මහ දෙයක් නෙමෙයි. මොනතරම් අභියෝග ආවත් තමන්ට තමන් විශ්වාස නම් කාන්තාවට ජීවිතය ජයගන්න බැරි නැහැ

 

 

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ Read Previous

විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ

SIRIKATHA BRIDAL Read Next

SIRIKATHA BRIDAL

Realted Post

Leave a comment