තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

අනුරාධපුරයේ සිට කිලෝ මීටර් 42 ක් පමණ ඔබ්බෙන් තන්තිරිමලය රජමහා විහාරස්ථානය පිහිටා තිබේ. මෙහි ඓතිහාසික වටිනාකම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන බවට හඳුනාගෙන තිබේ. එහෙයින්ම අනුරාධපුරයට එන ගමනේදී සමහරෙකුගේ අනිවාර්ය ගමනාන්තයක් බවට තන්තිරිමලයද පත්ව තිබේ. 

එහෙත් මෙකලෙහි විහාරස්ථානය වන්දනා කිරීම සඳහා දේශීය සංචාරකයින්ගේ පැමිණීම පහත වැටී ඇති බව එහි ගැමියෝ  පවසති. මේ හේතුවෙන් එසේ පැමිණෙන වන්දනාකරුවන් වෙත එළවළු, පලතුරු, නෙළුම් මල් ආදිය විකිණූ ගැමියන්ගේ ජීවනෝපාය ද බිදවැටී තිබේ.

මතුව ඇති ජීවන අර්බුදය පිළිබඳව තන්තිරිමලය විහාරස්ථානය අසල ඕලු, නෙළුම් මල් වෙළෙදාමේ යෙදෙන “දුලාංජලි පුෂ්පලේඛා” මෙසේ පැවසුවාය. 

“මේ දවස්වල කට්ටිය වන්දනාවේ එන්නේ හරි අඩුවෙන්. ඉරිදා, සෙනසුරාදා දවස් දෙකේ විතරයි වන්දනාවේ එන කට්ටිය ටිකක් හරි එන්නේ. අනිත් දවස්වල මිනිස්සු එන්නේ හරිම අඩුවෙන්. ඉරිදා සෙනසුරාදා දවස් දෙකේ මල් විකුණලා හොයාගන්න කීයෙන් හරි තමයි මුළු සතියම ජීවත් වෙන්නේ. සමහර දවස්වලට කඩාගෙන එන මල් ටික නිකංම වේළිලා යනවා. මල් කඩාගන්න එකත් ලේසි නෑ. වැව්වල අනතුරුත් වැඩියි. මේ හැමදේමත් එක්ක දරුවන්ට කෑම ටිකක් හදලා දෙන්නෙත් හරි අමාරුවෙන්.” 
කුඩා පොල් අතු මඩු තුළට වී මහ මග වෙළෙදාමේ යෙදෙන කාන්තාවන් මෙහි සුලබය. කුඩා දරු දැරියෝද වන්දනාකරුවන්ට එලවළු, පලතුරු, මල් ආදිය විකුණා ගැනීමට වෙහෙස වෙති. සති අන්තයේ වන්දනාකරුවන් කිහිපදෙනෙකු හෝ පැමිණියද සතියේ දිනවල කිසිවෙකු නොඑන දින ද ඇති බව ඔවුහු පවසති. 

පේර වෙළෙදාමේ යෙදෙන නවෝදාගම පදිංචි ඩී. ප්‍රේමාවතී සිය ජීවිත අතෑර නොයන කම්කටොලු පිළිබඳව මෙසේ කීවාය.

“වන්දනාවේ මේ දවස්වල එන්නේ ටිකදෙනයි. ඉතිං අපිටත් වෙළෙදාමක් නෑ. සමහර දවස්වලට රෑ වෙනකන් හිටියත් රුපියල් සීයක්වත් හොයාගන්ඩ බැරි දවස් තියෙනවා. හැමදේම ගණන් හින්දා ජීවත්වෙන එක යුද්ධයක් වෙලා තියෙන්නේ. මෙහේ සමහරුන්ට අස්වැසුම දීලා තියෙනවා. මට ඒකත් නෑ.“
තන්තිරිමලේ ප්‍රදේශය මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වූවකි. වසරේ වැඩි කලක් නියඟයෙන් දැවෙන ගම්මාන රාශියකින් තන්තිරිමලය සමන්විත වේ. දෙමටමල්ගම, නෙළුම්විල, සඳමල්එළිය, තුප්පිටියාව, නවෝදාගම, මහඇහැටුවැව, ඔයාමඩුව ආදි ග්‍රාමසේවා වසම් පිරිවරා ගම්මාන 30 ක් පමණ මෙහි පිහිටා තිබේ. දෛනික ආදායම බිඳවැටීමෙන් ගැටලු රැසකට මැදිවීමට මේ කතුන්ට සිදුව තිබේ. මින් සමහරෙකුගේ බිල්පත් ගෙවා ගත නොහැකිවීමෙන් නිවෙස්හි විදුලිය විසන්ධි කර ඇත. දෛනික ආහාරවේල හෝ සපයා ගැනීම ඔවුනට ගැටලු සහගත වී තිබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමද දුෂ්කර වී ඇත.

 විහාරයට යන පාරේ පලතුරු වෙළෙදාමේ යෙදෙන ඩී.එම්. සඳමාලි පැවසුවේ මෙවැනි කතාවකි.

“මහත්තයට රස්සාවක් නෑ. එයා තිබ්බොත් කුලී වැඩ කරනවා. අපිට ගොවිතැන් කරන්ඩ කියලා ඉඩම් ඇත්තෙත් නෑ. ඉතිං කීයක් හරි හොයා ගන්ඩ ඕන හින්දා මෙතැන පලතුරු ටිකක් දාගෙන ඉන්නේ. ඒත් දැන් පෝය දවසටත් මිනිස්සු එන්නේ හරි අඩුවෙන්. ඒ එන අයත් ගොඩක් වෙලාවට අපි ළග නවත්තන්නේ නෑ. මෙහෙම ජීවත්වෙලා කවදා සතුටක් ලැබෙයි ද කියලා හිතාගන්ඩ බෑ.” 
මේ ගැමියන්ට යම් සහනයක් සැලසිය හැකිදැයි මහවිලච්චිය සහකාර ප්‍රාදේශීය ලේකම් හසිනි යසාරා හිටිබණ්ඩාරනායක මහත්මිය වෙතින් අපි විමසීමක් කළෙමු. එහිදී ඇය පැවසුවේ ඉදිරියේදී මුදල් ප්‍රතිපාදන ලැබුණහොත් විහාරස්ථානයට යන මාර්ගය දෙපස වෙළෙදාමේ නියුතුව සිටින වෙළෙදුන්ට වෙළෙද කුටි ඉදි කරදිය හැකිබවය.

 බුල්නෑව ප්‍රදීප් රණතුංග

පැරණි ගවුම් විලාසිතා වලට කැමති ප්‍රවීන රංගන ශිල්පිනී මනීෂා Read Previous

පැරණි ගවුම් විලාසිතා වලට කැමති ප්‍රවීන රංගන ශිල්පිනී මනීෂා

පැරණි ගවුම් විලාසිතා වලට කැමති ප්‍රවීන රංගන ශිල්පිනී මනීෂා Read Next

පැරණි ගවුම් විලාසිතා වලට කැමති ප්‍රවීන රංගන ශිල්පිනී මනීෂා

Realted Post

Leave a comment