ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ

මෙරට පළමු ගුවන්තොටුපළ වන්නේ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙවත් රත්මලාන ගුවන් තොටුපළයි. වර්තමානය වනවිට මෙම ගුවන්තොටුපොළ අභ්‍යන්තර ගුවන් ගමන් සහ ඒ වටා ඇති ගුවන් පියාසර පුහුණු ආයතන හට සේවය සලසයි. එම ගුවන් තොටුපළෙහි කාන්තා නියෝජනයද ප්‍රමුඛ ස්ථානයක තිබෙන බව අභිමානයෙන් කිව යුතුය. මේ කතාබහ ගලායන්නේ ගුවන් තොටුපොළ ගැන නොවේ. එහි අද වනවිට කාන්තාව අත්පත් කරගෙන ඇති ජයග්‍රහණය ගැනය. රත්මලාන ගුවන්තොටුපොළේ එවැනි සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන කාන්තාවන් අතරින් තිදෙනෙක් සමගයි මේ කතාබහ. මෙවර සිරිකත කවරය හැඩගැන්වෙන්නේද ඔවුන්ගේ රුවෙනි. 

අහම්බෙන් ලැබුණු අභියෝගය සාර්ථකව ජය ගත්තා
ඉසුරි උමායා අමරවික්‍රම

(Aerodrome Air Traffic Controller)

කොළඹ විසාකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇයගේ ගම් පළාත වන්නේද කොළඹයි. උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් මුහුණ දෙන ඇය නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දෙන්නට කැමති තරුණියක් බවයි ඇය සමග කතාකළ අපට හැඟුණේ. මේ වන විට රත්මලාන ගුවන්තොටුපළේ ගුවන් පාලන කුලුනේ ගුවන් ගමන් පාලකවරියක් ලෙස  (Aerodrome Air Traffic Controller) කටයුතු කරන ඇය අභියෝගවලට මුහුණ දෙමින් ආ ගමන ගැන අපත් සමග  කීවේ මෙලෙසය.
“මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි. තාත්තා ජීවතුන් අතර නැහැ. අක්කත් විවාහකයි. දැන් ගෙදර ඉන්නේ අම්මයි මමයි විතරයි. අක්කා සිවිල් ඉංජිනේරුවරියක්. උසස් පෙළින් පස්සේ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. 
වෘත්තීය තුළ ඇයගේ කාර්යභාර්ය ගැන දැනගන්නත් අප අමතක කළේ නැහැ. 
සෑම ගුවන්තොටුපළකටම ගුවන් ගමන් පාලක කුලුනක් තියෙනවා. ඒ කුලුනට ගියාම අපට ආසන්න ලෙස නාවුක සැතපුම් 10ක් පමණ දුර ප්‍රමාණයක් පෙනෙනවා. එම පෙනෙන දුර ප්‍රමාණයේ තිබෙන ගුවන් යානා, අපේ ගුවන් තොටුපළෙන් පිටත්වෙන ගුවන්යානා සහ අපේ ගුවන්තොටුපළ වෙතට පැමිණෙන ගුවන්යානා මෙහෙයවීම සිදුකරන්නේ රත්මලාන ගුවන්ගමන් පාලක කුලුනෙන්. ඒ වගේම හුඟක් වෙලාවට අපට හමුවෙන්නේ පුහුණු ගුවන් යානා. ඒ කියන්නේ ඉගෙන ගන්න ගුවන් නියමුවන්. එයාලා ඉගෙන ගන්න විෂයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තියෙනවා. ඒවාට අදාළ ගුවන් ගමන් පාලන කටයුතු සහ අදාල නිවැරදි තොරතුරු ලබාදෙන එක තමයි මගෙන් සිදුවෙන කාර්යභාරය.
විශේෂයෙන් ගුවන් යානා දෙකක් අතර ගැටීමක් ඇති නොවන පරිදි ඒ දෙක අතර අදාළ දුරස්ථබව තබාගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදීම සිදුකරනවා. අපිට අදාල ගුවන් සීමාවේදී ගුවන් යානා මෙහෙයවනවා වගේම මෙහෙයවීමක් සිදුකිරීමට අවශ්‍ය නොමැති අවස්ථාවල ගුවන් යානා දෙකක් අතර ගැටීමක් ඇති නොවෙන පරිදි අපි ගුවන් යානා දෙකට තොරතුරු ලබාදීම තමයි සිදුකරන්නේ.”

හුඟදෙනකුට රැකියාව ගැන සිහිනයක් තිබුණත් ඇය මේ සැබෑකරගෙන තිබුණේ කුඩා කල සිට දැකපු සිහිනයක් නම් නොවේ. ඒ පැමිණි ගමන ගැන ඇය කීවේ මෙවැනි කතාවකි.
“මේ හීනය මගේ ළඟ පොඩිකාලේ ඉඳලා තිබුණ හීනයක් නම් නෙවෙයි. හදිසියේ මට ලැබුණු අවස්ථාවක්. මම හිතන්නේ මේ රැකියාව මේ තරම් හොඳට ඉගෙන ගන්න ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ පුහුණු ආයතනය හැරුණම ලංකාවේ වෙන තැනක් නැති තරම්. ඉතින් මට ඒ වාසනාව ලැබුණා. මේ අවස්ථාවට එන්න කලින් මම මේ විෂය ගැන හුඟක් දේවල් සොයා බැලුවා. ගුවන් නියමුවරයෙකුට තිබෙන්නේ ඔහුගේ ගුවන් යානය ගැන වගකීමක් වන අතර එක් මොහොතකදී ගුවන් ගමන් පාලකවරයෙකුට එවැනි ගුවන් යානා කිහිපයක වගකීම දැරීමට සිදුවෙනවා. මට තිබුණ ලොකුම අභියෝගය තමා මොකුත්ම නොදන්න කෙනෙක් විදියට මේ විෂයට ඇවිත් මේ රැකියාව කරන්නේ කොහොමද කියන එක. කොහොම වුණත් මම පොඩිකාලේ ඉඳලම අභියෝග භාරගන්න හුඟක් කැමති කෙනෙක්. ඒ නිසාම හිතේ තිබුණු ශක්තියත් එක්ක මට ඉගෙන ගන්න ආයතනයේ ඉහළ නිලධාරීන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා.

ගුවන් තොටුපළේ සහ යානාවල ආරක්ෂාව අපේ අතේ
තනුෂි දමිල්කා

Airport and Aviation senior security Screener

වයස අවුරුදු 22 දී පමණ සේවයට බැඳෙන ඇයගේ සේවා කාලය මේ වනවිට වසර 19කි. දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක් වන ඇය තම පවුල් ජීවිතය මෙන්ම රැකියාවද සමබරව රැගෙන යමින් සිටින දක්ෂ කාන්තාවක් බව කිව යුතුය. අවදානමක් සහ වගකීමක් සහිත රැකියාවක නියැළෙන ගමන් යහපත් ප්‍රීතිමත් පවුල් ජිවිතයක් රැගෙන යාම කාන්තාවකට හිමිවන විශාල අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැත. 

“මගේ ගම මාතර. විවාහ වුණාට පස්සේ දැන් ඉන්නේ කටුනායක. මට මේ රැකියාව හම්බවෙන්නේ අහම්බයක් විදියට. ආවට පස්සේ තමයි මේ හැමදෙයක්ම ඉගෙනගෙන පුහුණුවීම් කාලය අවසන් කරලා රැකියාවට එන්නේ. මුල් කාලය හරිම අමාරුයි. මේ තනතුරට ගැසට් කරලා තියනවා දැකලා මමත් ඉල්ලුම්පත්‍ර දැම්මා. බලාපොරොත්තු නොවුණු විදියට මට මේ අවස්ථාව ලැබුණත් දුර වැඩි නිසා ගෙදරින් නම් ඒ තරම් කැමති වුණේ නැහැ. නමුත් මගේ කැමැත්ත නිසා අන්තිමට පවුලේ අය මට සහයෝගය දුන්නා” 
තනුෂි ඇගේ කතාව ආරම්භ කළේ ඒ විදියට යි. 
“මගේ තනතුර ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක පරීක්ෂක.  ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව නීති විරෝධී මැදිහත්වීම්වලින් ආරක්ෂා කරගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණවෙලා තියෙන්නේ. රත්මලාන ගුවන් තොටුපළේ පමණක් නොව ලංකාවේ සියලුම සිවිල් ගුවන් සේවාවට අදාල සියලුම ගුවන් තොටුපළවල ආරක්ෂාව තහවුරු කිරීම තමයි අපගේ වගකීම. එහිදී අපගේ මූලික රාජකාරිය වන්නේ ඇතුළුවීම සහ පිටවීම් පාලනය කිරීම. ඒ වගේම ගුවන් මගීන්, කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ ශරීර පරීක්ෂා කිරීමත්, ඔවුන් රැගෙන යන බඩු බාහිරාදිය පරීක්ෂා කර ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට තහවුරු කරගැනීම අපේ රාජකාරියේ කොටසක්.
ගුවන් යානා ආරක්ෂා කිරීමේ වගකීම සහ ගුවනින් රැගෙන යන  Cargoවලට ආරක්ෂාව සැපයීමේ වගකීමත් අපට පැවරෙනවා. තවද ගුවන් යානාවල විශේෂ පුද්ගලයින්  (special passengers)යන අවස්ථාවල ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපි බැඳී සිටින නීති පද්ධතියක් තියෙනවා. අපි නිතරම වැඩ කරන්නේ ඒ නීති රාමුව තුළයි.”
අවදානම වගේම වගකීම් බහුල වෘත්තියක නියැළෙන කාන්තාවක් විදියටත්, මවක් සහ බිරිඳක් ලෙසත් ජීවිතේ සමබරව රැගෙන යන්නේ කෙසේදැයි අපි ඇයගෙන් විමසුවෙමු.
“මොනතරම් වගකීම් තියෙන රැකියාවක් කළත් මම හිතනවා මගේ අතින් පවුලේ වගකීම් යුතුකම් මඟ හැරෙන්නේ නැහැ කියලා. මගේ සැමියාත් රැකියාවක් කරනවා. විශේෂයෙන් ඔහුගෙන් වගේම ඔහුගේ මවගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපේ රාජකාරි සේවා මුර ක්‍රමයට ක්‍රියාත්මක වන නිසා සැලසුම් සහගතව දරුවන්ගේ කටයුතු සහ පවුල් ජීවිතය සමබරව රැගෙන යාමට මට අවස්ථාව ලැබී තිබෙනවා. ඇත්තටම කියනවා නම් ජීවිතය ජයගන්න කාන්තාවට ලොකු ආත්ම විශ්වාසයක් ධෛර්යක් වගේම යහපත් මානසිකත්වයක් අවශ්‍යයි. ඇත්තටම ඒ පිළිබඳව මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.” 

තමන්ගෙ හීනවලට යන්න දෙපාරක් හිතන්න එපා
ශෙහානි ගුණරත්න

Pilot

ඇය වෘත්තීය ජීවිතය අරඹන්නේ වෛද්‍යවරියක් ලෙසය. එහෙත් දැන් ඇය ගුවන් නියමුවරියක් ලෙස සේවය කරමින් සිටින්නී ය. කුමන වෘත්තියක නියැ`ඵෑනත් තමන් ගැඹුරින්ම ආදරය කරන වෘත්තිය තුළ ජීවත්වෙන්න ලැබීම සැබවින්ම භාග්‍යයකි. එහෙත් ඒ භාග්‍යය තමන් සතුකර ගැනීමේ ආත්ම විශ්වාසය සහ ශක්තිය ඇත්තේ තමන් ළඟමබව අපට ඇයගේ කතාව පසක් කරයි. වෛද්‍ය වෘත්තියට සමුදී, ගුවන් නියමුවරියක් ලෙස සේවයට එකතුවෙන ඇයගෙන්ම අපි ඇගේ කතාව අහමු.

“මගේ ගම රත්මලාන. පවුලේ හැමෝම පස්දෙනෙක් ඉන්නවා. මගේ තාත්තත් ගුවන් නියමුවරයෙක්. තාත්තා අවුරුදු 15ක් ගුවන් හමුදාවේ සේවය කරලයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එකට එකතු වුණේ. දැන් ඔහු විශ්‍රාමිකයි. අම්මා ගුරුවරියක්. මට ඉන්නේ අක්කා කෙනකුයි අයියා කෙනෙකුයි. අයියත් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ කැප්ටන් කෙනෙක්. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මටත් ගුවන් පියාසර කිරීමට ආසාවක් තිබුණා. ඒක මට තිබුණු ලොකු හීනයක්. නමුත් මගේ තාත්තට ලොකු ආසාවක් තිබුණා කවදාහරි මාව වෛදවරියක් කරන්න. ඒ නිසා මම ඒ පැත්තට යොමුවුණා. මගේ ඇතුළතින් මම ආදරය කළේ ගුවන්නියමු රැකියාවට. ඒ නිසා මම වෛද්‍ය වෘත්තියට සමුදීලා මේ ක්ෂේත්‍රයට ආවා. මොකද මට ඒ අවස්ථාව ගන්න බැරි වුණොත් ඒ ගැන මුළු ජීවිත කාලෙම දුක්වෙන්න වෙයි කියලා මම නිතරම හිතුවා. ඒ නිසා තමයි අභියෝග හුඟක් මැද මම ඒ තීරණය ගත්තේ. මම කරන්නේ මේ විෂයට අලුතින් එකතුවෙන අය පුහුණු කිරීම. ඒ කියන්නේ ගුවන් නියමුවරයෙකු ලෙස පුහුණුවීමේදී ඔවුන්ට අවශ්‍ය වන ප්‍රායෝගික සහ ලිඛිත පුහුණුව ලබාදීම සිදුකරනවා. ළමයින්ගේ පුහුණුවීම් සිදුකෙරෙන්නේ කොහොමද වගේම එයාලගේ විභාග සහ පන්ති පැවැත්වීම පිළිබඳවත් සොයා බලනවා. 
මම මුහුණ දුන්න ලොකුම අභියෝගය තමයි මේ ෆීල්ඩ් එක ඇතුළට පැමිණීම. විශේෂයෙන් වෛද්‍යවරියක් විදියට ඉඳලා ඒකෙන් අයින්වෙලා මේ ක්ෂේත්‍රයට එද්දි හුඟක් අය කිව්වා මේක කරන්න එපා ඒක ලොකු වැරැද්දක් කියලා. ඒ තීරණය ගන්න කාගෙන්වත් කිසිම දිරිගැන්වීමක් ලැබුණෙ නැහැ. නමුත් මගේ කැමැත්ත නිසා මම ඒ තීරණය අරන් ෆීල්ඩ් එකට ඇවිත් ඒ ගැන ඉගෙන ගත්තා. ඒ නිසා මට සෑහෙන බයකුත් තිබුණා මට ඇවිත් මේක කරගන්න බැරිවෙයිද කියලත්. නමුත් මට මං ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මම ආස නැහැ ජීවිතේ පසුතැවීමක් තියාගෙන ජීවත් වෙන්න. ඒ නිසාම මට මේ තීරණය ගන්න පහසු වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මගේ ළඟින් හිටිය යාළුවන්ගෙන් මට මේ ගමන යන්න ලොකු සහයෝගයක් ලැබුණා. ඉදිරියේදී මට තියෙන ලොකුම හීනය තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එකට සම්බන්ධවීම. තාත්තයි අයියයි දෙන්නත් ඒකේ සේවය කරපු නිසා මටත් ලොකු ආසාවක් තියනවා. ඉතින් මම කියන්නේ කාන්තාවක් විදියට ඔබටත් හීනයක් තියෙනව නම් ඒ වෙනුවෙන් කැපවෙන්න. කවුරු මොනවා කිව්වත් විශ්වාසයෙන් තමන්ගේ ගමන යන්න. ජයග්‍රහණය හිමිවෙනවා. 

ඡායාරූප : ඉන්දික මල්ලවආරච්චි

 

උපන් දිනෙයි අලුත් වෙනසයි Read Previous

උපන් දිනෙයි අලුත් වෙනසයි

වසත් සිරිය 2024 Read Next

වසත් සිරිය 2024

Realted Post

Leave a comment