එදා බක්මහේ තාලේ - ගමේ ලස්සනම කාලේ

බක්  මහට උදාවන සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ගම්බිම්වල කිරි ඉතිරෙන, කැපූ අස්වනු ගෙට ගන්නා, මුළු ගමම මල්වර වන මාසයයි. මේ සශ්‍රීක මාසය පැරණි මුතුන් මිත්තත් හැඳින්වූයේ කෝණ මාසය කියලයි. අටුකොටු පිරී බතබුලතින් ගම් දනව් සරුසාර වෙන කාලයට කෝණ කුරුල්ලා හඬන්නේ ගමටම අවුරුදු ඇවිත් කියන පණිවුඩය දෙන්නයි. සොබාදහම හා එකට එකතුවෙමින් සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපූරු නැකත් සහ චාරිත්‍ර විධි බොහෝමයක් නිර්මාණය වී තිබේ. ෙජ්‍යාතිෂානුකලව අතීතයේදී      මේවා හැඳින්වෙනුයේ 
සුබ මුහුර්ත ලෙසයි.   රටක  පොදු  ජනයා මුඛ පරම්පරාගතව පවත්වාගෙන එන භාවිතාවන් මඟින් ඕනෑම රටක  සැබෑ ජනශ්‍ර්‍රැති උරුමය  පවත්වාගෙන යනවා. නමුත් අවාසනාවකට අපේ රටේ නූතන පරපුරේ බොහෝ දෙනෙක් සිංහල දෙමළ නෑදෑකම හා බැඳුණු සහජීවන අලුත් අවුරුද්ද සම්ප්‍රදාය තුළ පවතින සැබෑ අර්ථයන් ගැන එතරම්ම දැනුවත්වීමක් නැහැ.

මේ චාරිත්‍රය ගැන ඔබ දැනගෙන හිටියද?

වැවේ සංහිඳේ පුල්ලෙයාර් පිදීම හා කිරි ඉතුරුම් මංගල්ල කරලා  දෙවියන් උදෙසා     අක්කියාල පුදනවා...

මහ කන්නයේ මහ අස්වනු නෙළාගෙන අලුත් අවුරුදු කෑමට අවසර ගැනීමක් හැටියට  පළමු අස්වැන්න දෙවියන් උදෙසා පූජා කරනවා. පුල්ලෙයාර් දෙවියන් උදෙසා. මේ කිරි ඉතුරුම් චාරිත්‍ර සියල්ල දෙමළ දේව පිළිවෙත්. සිංහල දෙමළ මනුෂ්‍යත්වය සිහිකිරීම හා එහි වටිනාකම  තමයි මේ පූජාවන්ගේ අර්ථ ගැනෙන්නේs සාමූහිකව ගැමියන් අලුත් අවුරුද්දට පෙර කෙම්මුර දොහක වැවේ සංහිඳේ  පුල්ලෙයාර් දෙයියන්ට කිරි  උතුරනවා. එයින් පස්සේ  පරණ අවුරුදු දා සංහිඳට ඇවිත් සෑම ගෙදරකම ඇත්තන්  පවුලේ සැමට සෙත් උදාවේවා කියලා  අලුත් අවුරුද්දට වරම් ගැනීමක් හැටියට  කිරි උතුරනවා. මේ තමයි  හැබෑ සිංහල දෙමළ අලුත් අවුරුදු සිරිත්. එයින් ගොඩනැගී තියෙන්නේ  සොබාදහම හා බැඳුණු සහජීවන මනුෂ්‍යත්වය්‍ි.
නමුත් මේ දේවල්  අපේ දරුවන්ගේ පෙළපොත්වලවත් සඳහන් වන්නේ නැහැ. ඒ නිසා දරුවන්ට ඒ ගැන අවබෝධයක් ගොඩනැගෙන්නේ නැහැ. තවමත්  ගොවිතැන් හා බැඳුණු වී ගස වටා එතුණු  ගොවි ප්‍රජාවගේ ජනශ්‍රැති උරුමයක් මේ රටේ පවතිනවා. එහෙම එකේ අලුත් අවුරුදු පිළිවෙත නොදන්නා මහ ජාතිය වන අපි සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා උදම් ඇනීම බොරු මිථ්‍යාවක් කියලා හිතෙනවා.

කිරි ඉතිරවීම 

කිරි ඉතිරීමේ චාරිත්‍රය අතීතයේදී සිදුවුණේ පට්ටිකිරි ඉතිරවීම ලෙසින්. පට්ටිකිරි ඉතිරවීම කියන්නේ ගව පට්ටියේ ඇති එළදෙනකගෙන් දොවාගත් කිරි ඉතිරවීමක්. අතීතයේදී අපේ රජවරුන් මෙහි මූලිකත්වය ගත්තා. මෙහිදී පළමු නැකත ලෙස සිදුකර තිබෙන්නේ පට්ටිකිරි ඉතිරවීම. දුරුතු, නවම් මාසවලදී අපේ ඇත්තෝ තමන්ගේ කුඹුරු යායේ, හේන්යායේ අස්වනු කපා අවසන් වී, භවබෝග නිවසට රැගෙන එනවිට මේ සශ්‍රීක ක්‍රියාව සිදුකරනවා , ඒ අනුව අලුත් ඉපනැල්ලට, සුබ දිනයක කිරි උතුරවා සියලු දොස් දුරුවන්නට සතහට සෙත්පතා අලුත් අවුරුදු ආරම්භයට පදනම සකස් කරගත්තා.
ඉන් අනතුරුව සූර්යාගේ ගමන් මඟ කේන්ද්‍ර කරගෙන ඒ ඒ සුබ සහ අසුබ මුහුර්තයන්ට අනුව ගමේ නැකැත් රාලගුරු විසින් නැකැත් සීට්ටුව සාදනු ලබනවා. අපේ මේ සංස්කෘතිය නිර්මාණය වී තිබෙන රටාව සමග ජ්‍යොතිෂ්‍යානුකූලව මීළඟ නැකත ලෙස තෙල් වළං ලිප තැබීමේ නැකත උදාවෙනවා. ඉතින් අපේ අම්මලා මේ වෙලාවට පේවිලා නැකතට තෙල් වළං  ලිපේ තියලා ඒවා රත්වෙනකොට පිටි කැවිලි, කොණ්ඩ කැවුම්, අතිරස ආදී කැවිලි පෙවිලි බොහෝමයක් හදා ගන්නවා. ඔය අතරේ තාත්තත් එළියේ පහළියේ කෙසෙල් කැනක් වළදාලා සුවඳට ඉදවගන්න දුම්ගහනවා. ඉතින් මේ පලතුරු සුවඳ, කැවිලිපෙවිලි සුවඳ ගේ හැමතැනම පැතිරෙනවිට අවුරුදු කුමාරයා තමන්ගේ නිවසට පැමිණෙන බව අපේ ඇත්තෝ විශ්වාස කළා. මේ කාලයේම තැන් තැන්වල රබන් ගැසීමටද පටන් ගන්නවා. මුළු ගම්මැද්දටම අවුරුදු ආ බව දැනුම් දෙන්න රබන් ගහනවා. රබන් හඬ සමඟින් මුළු ගම ම නව වසර සතුටින් ආරම්භ කරනවා.

සොබාදහම හා බැඳුණු අපූරු චාරිත්‍රයක්  

අලුත් අවුරුද්දේ අපේ නැකැත් අතර තවත් අපූරු නැකතක් තියනවා. එනම් නව සඳ බැලීමයි. නව සඳ බැලීමේ චාරිත්‍ර‍යේදි හා හා පුරා කියලා ඉස්සර වෙලාම මිදුලට බහින්නේ තාත්තා. ඒ අනුව පවුලේ හැමෝම සඳ බලලා මේ සඳුට ගෞරව කරනවා. සඳ එළියට වෙලා ටික වේලාවක් සිටිනවා. මේ ස්වභාවධර්මයා සමග තිබූ අසිරිමත් බැදීම නිසාම අපේ හෙළ මුතුන් මිත්තන්ට නිරෝගී දිවි පෙවෙතක් ලැබී තිබුණා. දුර අතීතයේ පටන් අපේ මුතුන් මිත්තෝ හේනකුඹුරු වපුරා ගැනීමට වගේම ජන ජීවිතයේ නොයෙකුත් අවස්ථා සඳහා චන්ද්‍ර මාස සම්ප්‍රදාය යොදාගත්තා.

 මොකද්ද මේ නොනගතය

නොනගත වෙලාවට අපේ හෙළ ඇත්තෝ එළියට පහළියට බහින්න ගියේ නෑ. ඒ වෙලාවට ඔවුන් තමන්ගේ ආගම දහම සිහිකළා. නොනගත වේලාවේදී එළියේ අහිතකර හිරුකිරණ පවතින නිසා ඒ වෙලාවට එළිපහළිවීම නුසුදුසුබව පැරන්නන් සඳහන් කරනවා. අතීතයේදී නම්, බොහෝ පිරිස් එම වේලාවේ පන්සල්වලට යන්නට එළිබහින විටදී සුදු රෙදි කඩකින් හිස හා ඇඟ ආවරණය කරගෙන, මුහුණ පහතට යොමුකරගෙන ගමන්ගෙන තිබෙනවා. අහිතකර කිරණින් ආරක්ෂා වීමට ඔවුන් එසේ සිදුකර තිබෙනවා. 

අවුරුදු උදාවේදී මොකද කරන්නේ?

අලුත් අවුරුදු වටා එතී තිබෙන්නේ සොබාදහමේ ශක්තියයි. ශක ජ්‍යොතිෂවේදී පදනම අනුව පුරාණයේදී නම් අලුත් අවුරුදු උදාවන මොහොතේ පවුලේ සියලු දෙනාම ගෙමිදුලට බහිනවා. එසේ සිදුකරන්නේ අවුරුදු උදාවන විට ඒ මොහොතේ පවතින නව හිරු කිරණේ යහපත් ශක්තීන් ලබාගැනීම අරමුණු කරගෙන. 

ලිපි ගිනි මෙළවීම 

ඒ වගේම අපේ චාරිත්‍ර අතර තවත් වැදගත් නැකතක් විදියට ලිපගිනි මෙළවීමද සඳහන් කරන්න පුළුවන්. ආදී එඬේරාට උයා පිහාගන්නට වර්තමානයේ මෙන් ලයිටර්, ගෑස්, ආදී පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් ලිපගිනි මොළවන වෙලාවට කලින්ම සම්පූර්ණයෙන් ලිප් බොක්ක පිරිසුදුකර අලු සියල්ල ඉවත්කර ගන්නවා. දැන් කාලයට අනුව ගෑස් ලිප නම් එය කලින්ම පිරිසුදු කර තබාගන්න ඕනෑ. අතීතයේදී නම් මේ කටයුත්ත සිදු කළේ එළිමහනේ අලුත් ලිපක. මේ වෙලාවට පියා විසින් ස්වාමි දියණියට ලිප පත්තු කිරීම සඳහා ගින්දර ගෙනත්දීම සිදු කළා. ගින්දර හොඳින් ඇවිළිලා කිරි උතුරවා ගත්තාට පස්සේ ගෙදර අම්මා රස පදමට ලුණු මිරිසක් එක්ක කිරිබතක් හදාගන්නවා. අපි ගොවි සමාජයක් නිසා වැඩඇල්ලීම සහ ගනුදෙනු කරන නැකැත් වෙලාවෙදී පළමුවෙන්ම වැඩ ඇල්ලීම සිදුකරනවා.

අම්මා මුළුතැන්ගෙට යද්දි තාත්තා කුඹුරට යනවා 

ගනුදෙනු කරන නැකතේදී ගෙදර අම්මා කෑම පිසින වැඩ කටයුතු සිදුකරනවිට, තාත්තා මන්න, උදැල්ල, කැත්ත, පොරව වගේ උපකරණයක් අරගෙන හේනට පැළට ගිහින් ගහක් කොළක් හිටවනවා. ඔන්න මේ වෙලාවේ අම්මා තම දූවරු හා ලේලියන් එකතුකරගෙන ඇඹුල් කැත්ත පාවිච්චි කරලා මුළුතැන්ගේ වැඩකටයුතුවලට මුල්තැනදීලා එ්වා ක්‍රමනුකූලව සකස් කරනවා. 

ළිඳත් එක්ක ගනුදෙනු 

අද වගේ එදා කාසිවලින් ගනුදෙනු කළේ නැහැ. ඒ වෙනුවට කළේ පවුලේ අම්මා නැවුම් කළයකට වතුර පුරවගෙන ළිඳට ඉඟිනි ඇට කිහිපයක් දාලා වැඳලා සොබාදහමින් නැවුම් දියකළයක් රැගෙන ඉදිරිපස දොරින් ගෙට ඇතුළු වෙන එක. ඒ වගේම වසර පුරා නිරෝගීමත් ජීවිතයක් උදෙසා විශේෂයෙන් සිදුකරන හිසතෙල් ගෑමේ මංගල්‍යයත් ජයටම සිදුකෙරුණා. රැකියා සඳහා පිටත්ව යෑම ආදි සියලු නැකැත් සොබාදහමට අනුකූලව සම්පූර්ණයෙන් ගොවි සමාජය මූලික කරගනිමින්, ගලා යන්නේ වසර පුරා ප්‍රීතිමත් නිරෝගීමත් ජීවිතයක් අපේක්ෂා කරගෙනයි.  

 

LINEN FROCKS Read Previous

LINEN FROCKS

කෑම කාමරේට පලතුරු කූඩයක් Read Next

කෑම කාමරේට පලතුරු කූඩයක්

Realted Post

Leave a comment