Dilani & Saman මුළු පවුලම සිරිකතට ඇවිත්

අනූව දශකයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ  ඩිලානි අබේවර්ධන ඉන්පසු සිනමාවේ දක්නට නොලැබුණත් ඇය සතු ජනප්‍රියත්වයේ නම් කිසිඳු අඩුවක් නැහැ. මේ වන විට ඇය පදිංචිව සිටින්නේ ඇමරිකාවේ. ඇය මේ වන විට  මිත්තණියක් . ඇගේ ආදරණීය දියණියගේ පුංචි පුතුට අවුරුද්ද පිරීමේ උපන්දිනය පසුගිය දා පවුලේ සියලු දෙනාම එකතු වෙලා  අපූරුවට සමරා තිබුණා. ඉතිං මේ සියල්ල සමග සිරිකත අපි ඔවුන් සියලු දෙනාම පුංචි කතා බහකට එකතු කර ගත්තේ මෙහෙම.

මුලින්ම අපගේ කතාවට එකතු වුණේ සුන්දර ඩිලානිගේ ආදරණීය දියණිය කවීශා කාවින්දි. උපාධිධාරිනියක් වන ඇය මේ වන විට රැකියාවක නිරත වෙනවා. කවීශාද නිළියක් ලෙසින් මෙරට කලාවට සිය දායකත්වය ලබා දී තියෙනවා. කවිශා අතගත් ඔහු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය. ඩිලානි සහ සමන් සිය පුතු කවිඳු සමග නිව්​ෙයා්ර්ක්හි වාසය කරද්දී කවීශා ශෙහාන් මේ වන විට පදිංචිව සිටින්නේ කැලිෆෝනියාවල.

"බබාට අවුරුද්දක් වෙලා. හිතාගන්න බැහැ මෙච්චර ඉක්මනට අවුරුද්දක් ගෙවුණේ කොහොමද කියලා. අම්මා කෙනෙක් වුණාට පස්සේ ජිවිතේ හිටියට වඩා සුන්දරයි. හැබැයි වගකීම් වැඩියි" පුංචි පුතුගේ  උපන්දින සැමරුමත් එක්ක කවිශා කතාව ආරම්භ කළේ එහෙම.
"ශෙහාන්ගෙන් ලොකු සහයක්‌ ලැබෙනවා. මම  රස්සාව කරන නිසා ශෙහාන් තමයි වැඩිපුරම බබාව බලාගන්නෙ. එයාට පුහුණුවීම් සහ තරග තියෙන වෙලාට මම රස්සාව කරන ගමන් බබාව බලා ගන්නවා. බබා මට වඩා එකතු ශෙහාන්ට". 
පුංචි පුතුගේ සිනා මැද ගෙවෙන සුන්දර කවිශා ශෙහාන් ආදර කතාව ආරම්භ වෙලා තිබ්බේ මෙහෙම.
"ෆේස්බුක් එකෙන් තමයි ශෙහාන්ව දැනගත්තේ. මුලින්ම Hi කියලා මැසේජ් එකක් ආවා. පස්සේ නිකං විස්තර කතා කළා. 
එයා මුලින්ම කැමැත්තක් පෙන්නුව වෙලේ මට එහෙම කැමැත්තක් තිබ්බේ නැති නිසා මාස කිහිපයක්ම රිප්ලයි කළේ නැහැ. ඔහොම ඉන්නකොට දවසක් එයා මාව බලන්න ඇමරිකාවට ආවා. ක්‍රිකට් බෝර්ඩ් එකෙන් දවස් 5ක නිවාඩුවක් අරගෙන එයා මාව බලන්නම මෙහෙම ඇවිල්ලා තිබ්බ. එ්කෙන්ම මට තේරුණා එයා මට කොච්චර කැමතිද කියලා. එදා ඉඳලා අද වෙනකල් ගෙවෙන හැම තත්පරේකදිම එයා මට කොච්චර ආදරේ ද කියලා පෙන්නනවා".
කවීශගෙ පුංචි පුතුට දැන් අවුරුද්දක්. දෙන්නා තුන්දෙනා වුණු දිනය ගැනත් මේ අස්සේ අහන්න අපි අමතක කළේ නැහැ. 
"බබා ලැබුණ වෙලාවේ දැනුණ දේ වචනවලින් විස්තර කරන්න බැහැ. මම ලේබර් රූම් එකේ පැය 50ක් වගේ හිටියා. නොර්මල් ගන්න බැරුව සිසේරියන් සැත්කමක් කරන්න සිදු වුණා. ඒක ලොකු වේදනාවක්.  ඒත් අම්මා ළඟ හිටපු නිසා ලොකු හයියක් ලැබුණා".
පුතෙක් ඉන්න අම්මෙක්ට බලාපොරොත්තු ගොඩක් තියෙන්න පුළුවන්. බබාගේ අනාගතේ ගැනත් කවීශා කිවුවේ මෙහෙම.
"එයාගේ අනාගතේ එයාට කැමති කෙනෙක් වෙන්න මම ඉඩ දෙනවා. එයාගේ ජිවිතේ එයා සතුටින් ඉන්නව දකින එක තමයි මගේ ලොකුම හීනේ. හැබැයි ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් වලට යොමු වුණොත් මම ගොඩක් කැමතියි". 
 ඇය රංගනයෙන්  දායක වූ චිත්‍රපටයක් පසුගිය කාලයේදී තිරගත වුවත් ඉන්පසු ඇය කලාවට සම්බන්ධ වනබවක් අප දුටුවේ නැහැ. කිසියම් නිර්මාණයකට දායක වෙද්දී ඊට අවශ්‍ය කාලය තමන්ගේ ලබා දිය නොහැකි නිසා නිර්මාණවලට යොමු නොවූබව ඇය ඊට හේතුවක් ලෙස සඳහන් කළා. කවීශාගේ ජිවිතේ බලාපොරොත්තු අතර ඉහළින්ම තිබ්බේ හැමදාම හැම අවුරුද්දකම ශෙහානුයි බබයි එක්ක ලස්සනට නිදහසේ පවුල් ජීවිතයක් ගෙවන්න.

 

මීළගට අපගේ කතාබහට එකතු වුණේ ශෙහාන්. ශෙහාන් ජයසූරිය කියන්නේ මෙරට ජනප්‍රිය ක්‍රිකට් තරුවක්. මේ වන විට ඉන්නේ කැලිෆෝනියාවල. 
ශෙහාන්ගේ ජිවිතේ අඳුරු මතකයක් තියෙනවා. ඒ ගැන ඔහු සිහිපත් කළේ මේ විදියට. "මම කලින් කසාද බඳිනකොට මට අවුරුදු 21යි. ඒ විවාහයෙන් ලැබුණු දුව Sheni Threnaya. තේරෙන්න නැති කාලේ  ගත්ත හදිස්සි තීරණයක්. කල් යද්දී මට තේරුණා නොගැළපෙන විවාහයක් එක්ක දුක්වෙන එක තේරුමක් නැහැ කියලා. නමුත් මම මගේ දුවට උපරිමය කරනවා. දැන් එයත් කසාදයක් කරගෙන බබෙක් ඉන්නවා. නමුත් අපි දෙන්නා සහයෝගයෙන් අපේ දුවව බලනවා. දෝණි ශෙනී ඉන්නේ ලංකාවේ. මම මෙහෙ නිසා අපි නිතරම වීඩියෝ කෝල්වලින් කතා කරනවා.  මම එයාට අවශ්‍ය එයා ඉල්ලන හැමදේම යවනවා. මම ලංකාවට ගියාම එයා අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. කවීගෙයි මගෙයි පුතා ශෙනිත්. දුවගේ නමේ කෑල්ලකුත් දැම්මා පුතාගේ මැද නමට". 
දරුවෝ දෙන්නෙක්ගේ තාත්තෙක් විදියට ශෙහාන් තම වගකීම් අකුරටම ඉටු කරනවා කියලයි අපිට කිවුවේ. "තාත්තා කෙනෙක් වෙන එක ලොකු වාසනාවක්. මගේ ළමයින්ට මම මගේ ජීවිතේටත් වඩා ආදරෙයි. ඒ වෙනුවෙන් මම උපරිම මහන්සි වෙනවා". 
කවීශාගේ කතාවේදී ශෙහාන්ගේ ආදරේ ගැන කවීශා කියපු දේවල් එක්ක ශෙහානුත් සිය සහකාරිය හමුවීම ගැන සිනහවකින් යුතුව කිවුවේ මෙහෙම. "කවීශා මට හම්බ වෙන්නේ මම ජීවිතේ ප්‍රශ්න ගොඩක ඉන්න කාලේ. එයා මගේ ප්‍රශ්න සේරම දැනගෙන මට කවදාවත් වැටෙන්න දෙන්නේ නැතුව මාව හයියෙන් අල්ලාගෙන හිටියා. මේ ගමන ගැන මට මාරම සතුටුයි. 
මේ කතා එක්ක ශෙහාන් ක්‍රිකට් ගැන කියන්නත් අමතක කළේ නැහැ. "ලංකාවේ තරම් මෙහෙ ක්‍රිකට් ජිවිතේ බිසී නැහැ. වැඩි කාලයක් මට බබා සහ කවී එක්ක ගත කරන්න ලැබෙනවා. කවීගේ අම්මලා ඉන්නේ නිව්ෙ යා්ර්ක්වල. අපි ඉන්නේ කැලිෆෝර්නියාවල. මම ගියාම උදව්වට කවුරුත් නැහැ. ඉතිං ට්‍රැවල් කරද්දී කවියි බබාවයි ගෙනියන්න පුළුවන් හැම තැනටම මම එයාලව එක්කන් යනවා. එයාල මගේ ළඟ ඉන්න එක මට ලොකු ශක්තියක්. මගේ ජීවිතේ මුල් තැනේ ඉන්නේ කවී, දුව, පුතා අම්මා, තාත්තා, අක්කා.

 

 

නිව්යෝක්  හි රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඩිලානි අබේවර්ධන නම් වූ සැමට සුන්දර ඇය එදා මෙන්ම අදටත් පියකරු සිනහවකින් යුත් කාන්තාවක්. බෙහෙවින්ම කාර්යබහුල ජිවිතයක් ගත කළත් ඇය අප සමඟ දොඩමලු වෙමින්  පැවසුවේ
 "ලංකාවට එන එක ගැන හිතාගන්නවත් බැහැ. මෙහෙ පුදුමාකාර බිසී ලයිෆ් එකක් තියෙන්නේ. වෙලාව යනවා, දවස් යනවා.  දැනෙන්නේ නැහැ.’’
කොපමණකට බිසී වුණත් එළිපත්තේ තියෙන සිංහල අවුරුද්ද සැමරීමට නම් ඇය සූදානම්.
" මෙහෙ  හිටියත් අපි සිංහලකම අමතක කරන්නේ නැහැ. හැමදාම අවුරුද්දට කැවිලි හදලා අවුරුදු සමරනවා. ඒවගේම අවුරුදු උත්සව තියෙනවා. ඉතිං මේ සැරෙත් ඒවාට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා". 
පවුලේ අලුත් සාමාජිකයා චූටි හුරතල් දඟයෙක් බවත් මිත්තණියක් වීම තමන් ලැබූ භාග්‍යයක් බවත් ඩිලානි පැවසුවේ පුදුමාකාර සතුටකින්. 
කලක් මෙරට ජනප්‍රියම තරුවක් වූ ඇයගේ ජනප්‍රියත්වය අදටත් එසේමයි. නමුත් ගෙවන කාර්ය බහුල ජීවිතය නිසා කලාව අැයගෙන් මදකට ඈත් වුවත් අනාගතේදී නිර්මාණවලට දායකවීමේ බලාපොරොත්තුවෙන් ඇය පසුවෙනවා. ඉතින් ඒ සඳහා කාලයක් වෙන් කර ගැනීමේ උත්සාහයක නිරත වන බවයි ඇය වැඩි දුරටත් පැවසුවේ. ලංකාවෙන් එදා යන්න වුණු එක ගැනත් අදහසක් දක්වමින්
"දුකයි සතුටයි දෙකම තියෙනවා" යනුවෙන් පැවසූ ඩිලානි සමස්ත කාන්තාවට පණිවිඩයක් ද ලබා දුන්නේ මෙලෙසින්. 
"හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න. අපේ ජිවිතේ කොයිවෙලේ මොන පැත්තකට පෙරළෙයිද දන්නේ නැහැ. අපි ඉගෙන ගන්න දේවල් අපිට කොයිවෙලේ හරි ඕන වෙනවා. පුළුවන් හැමදේම ඉගෙන ගන්න".


ඩිලානි අබේවර්ධනයන් මෙන්ම ඇයගේ සැමියා ද මෙරට කලක් සැම සිත් වසඟ කර ගත් කලාකරුවෙක්. ඔහු සමන් පුෂ්පවර්ණ. එදා මෙරටින් යන්න ගත්ත තීරණේ ගැන ඔහුට අද දවසේදී තිබුණේ මෙවන් අදහසක්.
"ඇත්තටම එදා නම් ඒ තීරණේ ගත්තේ හිතකින් නෙමෙයි. ඒත් කාලෙත් එක්ක තේරුම් ගත්තා ඒ ගත්ත තීරණේ හොඳම තීරණයක් කියලා".
දැන් සීයා කෙනෙක් වෙලා නේද ?
"ඒක නම් කියන්න බැරි සතුටක්. බබා එක්ක ඉන්නකොට සතුටින් කාලේ ගෙවෙනවා. දුවලා ඉන්න තැනට අපිට ෆ්ලයිට් එකේ යන්නත් පැය 6ක් වගේ යනවා. ඒ නිසා නිතරම යන්න වෙන්නේ නැහැ. ඒ ගැන තමයි දුක". 
ඇමරිකාවට ගියාට පසුව ඔහුගෙන් සංගීත කටයුතු මඟහැරී තිබුණත් මිතුරු හමුවලදී වගේම සති අන්තයේ ගීත ගයා විනෝද වෙන්න ඔවුන් අමතක කර තිබුණේ නැහැ. ඒවගේම ලංකාවට පැමිණ සංගීත කටයුත්තක් කිරීමේ අදහසකුත් ඔහු සතුව තිබෙනවා. ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ගැනත් ඔහු කිවුවේ මෙවැන්නක්.
"දැන් දක්ෂ තරුණ ළමයි ගොඩක් ඉන්නවා. අපි රස විඳිනවා. අලුත් තාක්ෂණයත් එක්ක විවිධත්වයක් දකිනවා". 
ඩිලානි සමන් පවුලේ දියණිය සහ පුතු අතරට දැන් මුනුපුරෙකුත් එකතු වෙලා. ආදරේ බෙදිලා ගිහිල්ලද කියලත් අපි ඇහුවා.  
‘‘දැන් නම් ඉතින් වැඩියෙන්ම ආදරේ මගේ මුනුපුරා Kaylenට.’’ ඔහු ආදරණීය සීයා කෙනෙක් ලෙසින් පුංචි පුතුව සිඹ ගනිමින් පැවසුවේ එවැන්නක්. 
ඩිලානි අබේවර්ධනයන්ගේ පුතු කවිඳු ප්‍රේමබන්දු, දැන් වයස 18ක තරුණයෙක්. ඉතින් මේ කතාව සම්පූර්ණ වෙන්න ඔහු ගැනත් සටහනක් තබන්නම අවශ්‍යයි. කවිඳු වීඩියෝ ගේම්ස්වලට බර තරුණයෙක්. ඒවගේම කතාවට බෙහෙවින්ම ලැජ්ජාශීලියි. උපාධිය හදාරමින් සිටින ඔහු පාර්ට් ටයිම් රැකියාවකත් නිරත වෙමින් ඉන්නවා. 
 මෙන්න මෙහෙමයි ඩිලානි, සමන්, කවිඳු වගේම කවීශා සහ ශෙහාන්ගේ ජිවිත ගෙවීයන්නේ. බෙහෙවින්ම කාර්යබහුල මොහොතක සැම එකතුව ගෙන ආ විස්තරවල දිගුවක් ලෙස ඉදිරියේදීත් ඔවුන් ගැන ඔබට ලියන්න සූදානමින් අදට මේ කතාබහ මෙලෙසින් අවසන් කරනවා. 

 

 

හැඩගැන්වීම : ඩිලානි අබේගුණවර්ධන 

ඡායාරූප : රනිල් විජේරත්න 

 

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක් Read Previous

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක්

කෑම කාමරේට පලතුරු කූඩයක් Read Next

කෑම කාමරේට පලතුරු කූඩයක්

Realted Post

Leave a comment