අලුත් අවුරැද්ද ඔබට - රටට

බක් මාසය තුළ සිදුවන සූර්ය සංක්‍රාන්තිය හෙවත් හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම සිදුවන්නේ අ‍ප්‍රේල් මස 13 වැනි ශනි දින අපරභාග 9.05 බැවින් නව වසරක ආරම්භයක් හැටියට පිළිගැනීම බක් මහ උලෙළේ විද්‍යාත්මක පදනමයි.
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත් වන්නේ කුම්භ ලග්නය යි. 2024 ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙර මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය දැවැන්ත වෙනසකට ලක් වේ. විශේෂයෙන්ම වසංගත රෝග, ස්වාභාවික විපත් සමාජ ආර්ථික දේශපාලන වශයෙන් ඇතිවන නොසන්සුන්වීම් බහුලවන සමයකි. ඊට අමතරව මහජන සාමය බිඳවැටෙන කාලයකි. ලග්නයෙන් 8 වැන්නේ පිහිටි කේතු ග්‍රහයා විසින් කිසිවෙකුට එක්වර  වටහාගත නොහැකි ආකාරයේ  මතුපිටින් අභිරහස් ලෙස පෙනී යන සිදුවීම් මාලාවක් අගෝස්තු සිට නොවැම්බර් 15 අතර කාලයේදි නිර්මාණය කරනු ලැබේ. එමෙන්ම ලග්නයෙන් දෙවැන්නේ පිහිටි රාහු සහ නෙප්චූන් සංයෝගය හේතු කොටගෙන රාජ්‍ය පාලකයන් සහ වගකිව අය විසින් කරනු ලබන ප්‍රකාශ හේතු කොට ගෙන ඒ පැවති තත්ත්වය ගින්නට පිදුරු දමන්නාක් වැනි මහජන කැලඹීම් උත්සන්න කෙරෙන අවස්ථාබවට පත්වීමට ඉඩකඩ තිබේ. කෙසේ නමුත් අනාගත චිත්‍රය ව්‍යාකූල සහ තරමක අඳුරු බිහිසුණු තත්ත්වයක් පෙන්නුම් කරන නමුත් මෙම ග්‍රහ පිහිටීම් අනුව ඉතා පහසුවෙන් ඒ අඳුරු බිහිසුණු තත්ත්වය පාලනය කර ගනිමින් රටේ සුබ සිද්ධිය පිණිස කටයුතු සම්පාදනය කර ගැනීමට හැකියාව පවතී,කෙසේ නමුත් දේශපාලනමය වශයෙන් රටේ කලබැගෑනි රාශියක් මතුවීමට ඉඩකඩ පවතී.

මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ ඊශාන ගිනිකොන  සහ නිරිත යන දිසා මේ අලුත් අවුරුද්ද පුරාම විපරිත ලෙස උත්තේජනය වෙයි. 
සමස්තයක් වශයෙන් ගත් කල 2024 ඔබට සෑම අතෙකින්ම අභියෝගාත්මක වේ. ගුරු සහ යුරේනස් ලග්නයෙන් 02 වැන්නේ පිහිටීම කැපී පෙනෙයි. ගුරුවරුන්, දේශකයින් සහ අධ්‍යාපනික හෝ උපදේශනාත්මක වෘත්තීන්හි නිරත මේෂ ලග්න හිමියන් සුවිශේෂ ජයග්‍රහණ ලබා ගනී.  විපරීත අදහස් උදහස් ඉස්මතු වන හෙයින් ඒවායින් මුළාවට පත්වීමෙන් ගැලවීම පිණිස දැනුම් තේරුම් ඇති පුද්ගලයින්ගෙන් උපදෙස් ලබා ගැනීම මැනවි. කෙසේ වෙතත් ලග්නයෙන් 11 වැන්නේ ගමන් කරන බලවත් සෙනසුරු ඔබට අවශ්‍ය දරා ගැනීමේ හැකියාව සහ අභියෝග ජයගැනීමේ වෙර වීරීය මැනවින් ලබා දෙන හෙයින් ඔබ වාසනාවන්තයෙක් වෙයි.

වෘෂභ ලග්නය  නැගෙනහිර දිසාව ගුරු සහ යුරේනස් වෙතින් ඉතා බලවත් වෙයි.  ඊසාන දිසාව වූ 11 වැන්න රාහු සහ නෙප්චූන් විසින් නිර්මාණශීලී වූද ආකර්ෂණීය වූද විප්ලවකාරී වූද ජයග්‍රාහී මාවතක් සකස් කරනු ලැබේ. 

ඒ සමග ම කේන්දරයේ ආලෝක මුදුන වූ උතුරු දිසාව හෙවත් 10 වැන්න සෙනසුරු වෙතින් වඩාත් බලවත් වෙයි. මේ ග්‍රහ පසුබිම අනුව 2024 අලුත් අවුරුද්ද  වෘෂභ ලග්න හිමියන්ට විජයග්‍රාහී කාල පරිච්ඡේදයකි. ව්‍යාපාරික, දේශපාලන, සිනමා, සංගීත ආදී කලාත්මක වෘත්තීන්හි නිරත වෘෂභ ලග්න හිමියන්ට වඩාත් වාසිදායක වේ. අලුත් රැකියා ලැබීමට සහ රැකියාවේ උසස්වීම් සඳහා හොඳ අවස්ථාවක් උදාවේ. තමාගේම ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන වෘෂභ ලග්න හිමියන්ටද උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෘෂභ ලග්න හිමියන්ට ද මේ ඉතා යහපත් ආරම්භයකි. 

අභියෝගාත්මක එහෙත් ජයග්‍රාහී අලුත් අවුරුද්දකි. ලග්නයෙන් 10 වැන්නේ වූ රාහු සහ නෙප්චූන් පිහිටීම ඉතා ආකර්ෂණීය බලයක් නිර්මාණය කරයි. 
ව්‍යාපාරික, දේශපාලන, සංගීත, කලා‍ නිරත මිථුන ලග්න හිමියන් අන් අය අබිබවා  පහසුවෙන් සුවිශේෂී ජයග්‍රහණ හිමිකර ගනී. 12 වැන්නේ ගුරු  සහ යුරේනස් පිහිටීම නිසා ඔබේ රැකියාව සහ විවාහ ජීවිතය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට හේතුවක් නැත. වඩාත් පරිණතව සහ දූරදර්ශීව  තීරණ ගැනීමේ පුහුණුව ඔබට එයින් ලබා දෙයි. අලුත් විෂය ක්ෂේත්‍ර හැදෑරීමට අවස්ථාව ලබා ගනී. එහෙත් ඔබ මෙතෙක් අනුගමනය කළ ජීවන රටාව පදිංචි ස්ථානය රැකියාව සහ උසස් අධ්‍යාපන විෂය වෙනස් නොකොට දිගටම පවත්වා ගැනීමට වග බලාගන්න. එමෙන්ම නායකත්වයක් සහ හොඳ මග පෙන්වන්නකුබවට පත්වීමටත් සමාජ බලයක් සහ කැපී පෙනෙන ආකර්ෂණයක් හිමිකර ගැනීමටත් අවස්ථාව උදාකර ගනී.


මෙතෙක් පැවති ජීවන රටාව රැක ගැනීම ඔබට අභියෝගයක් සහ ජයග්‍රහණයක් වේ. 
ලග්නයෙන් 08 වැන්න වූ වයඹ දිසාවේ සෙනසුරු තව දුරටත් ගමන් කරමින් සිටින අතර එය අෂ්ටම ඒරාෂ්ටකයක්ය යන අනියත බිය සමග ජීවත් විය යුතු නොවේ. අක්මාව, වකුගඩු සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගවලින් පෙළෙන කටක ලග්න හිමියන් තම ආහාරපාන, ඇවතුම් පැවතුම් පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් වේ. ඔබේ රැකියාව හෝ ව්‍යාපාරය අතහැරීමට හෝ වෙනස් කිරීමට ඔබ තුළින් ම සහ බාහිරින් විශාල පීඩනයක් එල්ල විය හැකි නමුත් එය වෙනස් නොකොට දිගටම පවත්වා ගැනීම මත ඔබේ මුල්‍ය ශක්තිය සුරක්ෂිත වෙයි.  විදෙස් මුදල් ඉපයීම හෝ විදෙස් රැකියා හෝ විදෙස් අධ්‍යාපනය ලබා ගැනීමට අපේක්ෂා කරන කටක ලග්න හිමියන්ට මෙය වඩාත් වාසිදායක අවස්ථාවක් වේ.


ඔබේ කේන්දරයේ බටහිර වයඹ සහ උතුර යන දිසාවන් 2024 අලුත් අවුරුද්ද පුරාම බලවත් වෙයි. 07 වැන්නේ සෙනසුරු විසින් ඔබට වාසිදායක වෙළෙඳ ගනුදෙනු හෝ සමාජ සබඳතා නිර්මාණය කරයි.
 10 වැන්නේ ගුරු සහ යුරේනස් විසින් දේශපාලන, ව්‍යාපාරික,  ක්‍රීඩා, සිනමා, කලා, සංගීත ආදී ක්ෂේත්‍රයන් හි නියුතු සිංහ ලග්න හිමියන්ට සුවිශේෂ ජයග්‍රහණ ලබා දෙයි. 08 වැන්නේ රාහු සහ නෙප්චූන් ග්‍රහ පිහිටීම ඉතා සබුද්ධික ලෙස භාවිතයට ගතහොත් එය ද වාසිදායක වනු ඇත. වෘත්තීය හෝ වෙළෙඳ ගනුදෙනු ආයෝජන දේපළ සහ හිමිකම් යනාදියෙන් අනපේක්ෂිත ලාබ ප්‍රයෝජන අත්කරගත හැකිය. ගින්දර, ගෑස්, රසායනික ද්‍රව්‍ය යනාදියෙන් මෙන් ම විෂ සහිත සතුන් සහ ශාක යනාදියෙන් හැකිතාක් ඈතින් සිටීමට ද වගබලා ගැනීම මැනවි. කෙසේ නමුත් 2024 සිංහ ලග්න හිමියන්ට අභියෝගාත්මක සහ පෙරළිකාර තීරණ ගැනීමට සිදුවන ජයග්‍රාහී වසරකි.


ඔබේ ලග්නයේ නිරිත බටහිර සහ වයඹ යන දිශා බලවත් ලෙස උත්තේජනය වේ. නිරිත දිශාවේ තැන්පත් සෙනසුරු විසින් පහුගිය කාල වකවානුවේ පැවති අස්ථාවරභාවය වෙනුවට ආර්ථික සහ සමාජීය  තත්ත්වයන් සම්බන්ධ ස්ථාවරභාවයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව මැනවින් ලබා දෙයි.
 ඔබේ කේන්දරයේ බටහිර දිසාව හෝ 7 වැන්නේ තැන්පත් රාහු සහ නෙප්චූන් විසින්  ඔබේ සමාජ සම්බන්ධතා සහ  යුග ජීවිතයට හවුලේ  කරන වෙළඳ ව්‍යාපාර අැතුළු ද්විපාර්ශ්වීය ගනුදෙනු කෙරෙහි අහිතකර විපරිත තත්ත්ව නිර්මාණය කරනු ලැබේ.  යුග ජීවිතය සම්බන්ධයෙන් තමාගේ තනි මතයට අනුගත නොවී දැන උගත් අයගේ උපදෙස් මත තීරණ ගැනීම ඉතා වැදගත් වෙයි. විවාහ ජීවිතයට පිවිසීමට සිටින අය මෙන්ම විවාහ දිවියක් ගත කරන සියලුදෙනාම මේ කාලයේ තරමක් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වේ. කෙසේ නමුත් ඔබේ කේන්දරයේ වයඹ දිසාව වූ 9 වැන්නේ බලවත් ගුරු සහ යුරේනස්ගේ සංයෝගය කාලයකට පසුව උදා වූ බලවත් සංයෝගයකි. තරග විභාග යන ආදියට සුදානම් වන අයට මෙන්ම විදෙස් අධ්‍යාපනයට යාමට බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියන්ට මේ ග්‍රහ පිහිටීම ඉතා බලවත් ලෙස උපකාර කෙරේ. දරුවන් සහ ​ ෙ‍ප්‍ර්මයේ   පසුබෑමකට ලක්ව සිටි කන්‍යා ලග්න හිමියන්ට සැලකිය යුතු මට්ටමේ සාර්ථකත්වයක් ළඟා කර ගැනීමටද මේ ග්‍රහ පිහිටීම ඉවහල් වේ.


තුලා ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ දකුණ නිරිත සහ වයඹ යන දිශා පිළි‍ෙවළින්  උත්තේජනය වේ. පස්වැන්නේ වූ ත්‍රිකෝණ ස්ථානයේ  තැන්පත් වූ සෙනසුරු ඔබ තුළ බෙහෙවින්ම ආත්ම ශක්තිය, අභියෝග ජය ගැනීමේ හැකියාව මැනවින් ලබා දෙනු ඇත.
එය වෘත්තීය ජීවිතය, අධ්‍යාපනය, ‍ප්‍රේමය සහ විවාහය ඇතුළු ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි උදව් කරන්නා වූ මහත් බලයක් ලෙස වසර පුරාම ක්‍රියාත්මක වේ. විදෙස්ගතවීම්, විදෙස් මුදල් ඉපයීම හෝ සම්බන්ධ වෘත්තීන්හි නිරත තුලා ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය තමාගේ ජීවිතේ ලැබුණු දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඔබට දැනටමත් අධික මේදය හෝ  රුධිරගත සීනි, අක්මාව  හෝ වකුගඩු ආශ්‍රිත රෝගාබාධයක් වේ නම්  ඉදිරි වසර ඔබට බෙහෙවින්ම පරිස්සම්වීමට ග්‍රහචාරය විසින් උපදෙස් දෙනු ලැබේ. සෞඛ්‍යය පැත්ත කෙරෙහි තරමක අවදානමක් ඇති කරන නමුත් ඔබට උසස් අධ්‍යාපන, දේපළ හිමිකම් ලැබීම්, තරග විභාග ජයග්‍රහණ ලැබීමට මෙම ග්‍රහචාරය හේතුවිය හැකිය.  ගින්දරෙන් පරිස්සම්වීම මැනවි. 2024 ඔබට කාලයකට පසුව උදා වූ ජයග්‍රාහී වර්ෂයක් වනු ඇත.


වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ දකුණ නිරිත සහ බටහිර යන දිශා ඉතා මැනවින් උත්තේජනය වෙමින් තිබියදී 2024 අලුත් අවුරුද්ද උදා වේ. 
ස්ථාවර ආර්ථිකයක් සඳහා හොඳ ආයෝජන රැකියා අවස්ථා සොයමින් සිටි අයට ඉතාම සුබපල ගෙන දෙයි. මේ වන විට ඔබ රැකියාවක් කරමින් සිටින්නේ නම් අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් එළඹෙන කුමන බලපෑමක් මත වුවත් ඔබගේ කැමැත්තෙන් රැකියාව හැර යාම හෝ වෙනස් රැකියාවකට යොමුවීම මේ කාලය තුළ ඔබට අවාසි සහගත වනු ඇත. ප්‍රේමය සහ විවාහය  තුළ එකිනෙකා මග හැරීමේ හේතු මත අහිතකර තත්ත්වයන් උද්ගත විය හැකිය. ඒ නිසා ඔබ වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වේ. නෙප්චූන් සහ රාහුගේ සංයෝගය තරමක් විසකුරු වුවත් නෙප්චූන් ග්‍රහයා තනි වශයෙන් ගත් කල ඉතා නිර්මාණශීලී ප්‍රබුද්ධ අයෙකි. රාහුගෙන් ඇතිවන විසකුරු තත්ත්වය පිරිපහදු කොට ගැනීමට ඔබ සමත් වන්නේ නම් උසස් ගණයේ නිර්මාණශිලී හැකියාවක් සහ උසස් ගණයේ අධ්‍යාපනික හැකියාවක් ඔබ තුළින් මතු කර ගැනීමට ඉඩ කඩ පවතී. හවුල් කටයුතුවලින් වාසි ලැබේ. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. 2024 අගෝස්තු සිට නොවැම්බර් අතර කාලයේදී ඔබ  ගමන් බිමන් යනවිට පරිස්සම් විය යුතු කාලයකි.


ධනු ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ දකුණු දිශාව ගිනිකොන දිශාව සහ නිරිත දිශාව මැනවින් උත්තේජනයව තිබියදී අලුත් අවුරුද්ද උදා වනු ඇත. 

විදේශ වගේම ලංකාව තුළද උසස් රැකියා අවස්ථා ලැබීමේ භාග්‍යය හිමි වේ. රැකියා උසස්වීම් ලැබෙන කාලයකි. කේන්දරයේ දකුණේ තැන්පත් වූ රාහු සහ නෙප්චූන් යන ග්‍රහයන්ගේ සංයෝගය ඔබට වඩා හිතකරය. නෙප්චූන් විසින් ඔබ තුළ ඉතාම නිර්මාණශීලී ප්‍රබුද්ධ සිතිවිලි ඇති කරන අතර රාහු ග්‍රහයා විසින් ඒවා සමාජයේ වේගයෙන් ව්‍යාප්ත කිරීමත් ඉන් ඔබට ලැබිය යුතු ප්‍රතිලාභ ලබා ගැනීමටත් විශාල සහයක් දෙනු ලැබේ. ඔබේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා 6 වැන්නේ ගමන් කිරීම හිතකර තත්ත්වයක් නොවේ. රුධිරගත මේදය, දියවැඩියාව, අක්මා වකුගඩු රෝග ඇති ධනු ලග්න හිමියන් පරිස්සම් විය යුතු වේ. යුරේනස්ගේ ග්‍රහයින්ගේ සහ ගුරුගේ සංයෝගය හේතුකොට ගෙන ඔබට එරෙහිව එන සතුරු බලවේග පහසුවෙන් මැඬ පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සමස්ථයක් ලෙස ගත්කල 2024 ධනු ලග්න හිමියන්ට ජයග්‍රාහී වසරක්බවට පත්කර ගැනීමට හැකියාව පවතී.


කේන්දරයේ තුන්වැන්න වූ ගිනිකොණ දිසාවේ බලවත් වෙන නෙප්චූන් සහ රාහු විසින් වෙනදාට වඩා නිර්මාණශීලීභාවයක් සහ ඔබගේ හැකියාව සමාජගත කිරීමටටත් සමාජයේ වැඩි ආකාර්ෂණයක් ජනප්‍රසාදයක් සහ ජනකාන්තභාවයක් ලබා ගැනීමටත් උදව් උපකාර සලසන හෙයින් නව නිර්මාණ කරන මකරන ලග්න හිමියන්ට මේ කාලය ඉතාම වාසනාවන්ත කාලයකි. 
ඒ වගේම ක්‍රීඩා, සිනමා, සංගීත, ජනමාධ්‍ය ක්ෂේත්‍ර සහ මහජනතාවගේ අවධානයට වැඩිපුර ලක්වන ක්ෂේත්‍රයන්හි නිරත මකර ලග්න හිමියන්ට සමස්ත වසර පුරාම තම වෘත්තීය හැකියාවන්ගෙන් ඉහළ ජනප්‍රසාදයක් දිනා ගැනීමටත් හොද වෘත්තීය අවස්ථා ලබා ගැනීමටත් මෙරට සහ එතෙරින් ධනය ලැබීමටත් හොඳ පසුතලයක් නිර්මාණය වේ. උසස් අධ්‍යාපනය හදාරන්නන්ට සහ අධ්‍යාපන පර්යේෂණ කටයුතුවලට ඉතා සුබ වේ. අලුත් විෂයන් ඉගෙන ගැනිමට වාසනාව ඇති අතර තරග විභාගවලින් ජයගැනීමට හැකියාව ඇත. මෙය මකර ලග්න හිමියන්ට අසීමිත බලයක් ලැබෙන කාලයකි. එහෙත් මෙම බලය පාලනයකින්, කළමනාකරණයකින් යුතුව අවස්ථාවට උචිත පරිදි පාචිච්චි කරන්නේ නම් මතභේදාත්මක තත්ත්වයන්ගෙන් තොරව සහ අනාගතයේදි වගඋත්තර බැදීමකින් හෝ වන්දි ගෙවීමකින් තොරව සුබදායක තත්ත්වයක් උදාකරගත හැකි වනු ඇත. එම බලය ඔබගෙත් අන් අයගෙත් යහපත සදහා භාවිතා කිරීමට වග බලාගත යුතුය. සිතේ සතුට ඇතිවන කාලයකි. ගුරු ග්‍රහයාගේ පිහිටීමත් මකර ලග්න හිමියන්ට බලවත් වේ. සමාජයේ උසස් අවස්ථා, උසස් පුද්ගලයන්ගේ ඇසුර, දැනුම ලැබෙන වසරකි. සමස්තයක් ලෙස ගත්කල වෘෂභ ලග්න හිමියන් මෙන්ම මකර ලග්න හිමියන්ට ද විජයග්‍රාහී වසරකි.


කුම්භ  ලග්නයෙන් උපන් ඔබේ කේන්දර නැගෙනහිර ගිනිකොන දකුණ යන දිශාවන් විපරිත ලෙස උත්තේජනය වෙමින් තිබියදී 2024 අලුත් අවුරුද්ද උදා වේ. 
ලග්නය මත මේ මොහොතේ ක්‍රියාත්මක වන සෙනසුරු ආත්ම ශක්තිය, ස්ථාවරත්වය මැනවින් ලබා දෙන හෙයින් එය ඔබට ආශිර්වාදයක් වනු ඇත. කෙසේ නමුත් ලග්නයෙන් දෙවැන්න වූ ගිනිකොණ දිශාවේ ගමන් කරන රාහු සහ නෙප්චූන් යන ග්‍රහ සංයෝගය හිතකර සංයෝගයක් නොවේ. අාහාර විෂවීම්  වැනි දේවල්වලින් පරෙස්සම් විය යුතුය උගතුන් වැනි පාර්ශ්ව සමග කටයුතු කිරීමේදී අන් අයගේ  මුදල් සම්බන්ධයෙන් හානි පැමිණවිය හැකි බැවින් අන් අයගේ කටයුතුවලට මැදිහත්වීම හැකිතාක් වැළකී සිටීම මැනවි. කේන්දරයේ දකුණු දිශාව වූ හතර වැන්නේ ඉතා බලවත්ව ගුරු සහ යුරේනස් ගමන් කරන හෙයින් දේපළ හිමිකම් වාසනාව ඇත. ලංකාව සහ විදේශගත උසස් අධ්‍යාපනයටද සුබය.  චර්ම රෝග හටහැනීමට වගේම ඒවා ශරීරය පුරා පැතිර යාම සිදුවිය හැකි බැවින් සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ.


මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ ගිනිකොන දිශාව වූ දෙවැන්න විපරිත ලෙස උත්තේජනය වෙමින් තිබියදී අලුත් අවුරුද්ද උදා වේ. එමෙන්ම නැගෙනහිර දිශාව වූ ලග්නය මත රාහු සහ නෙප්චූන් ග්‍රහයන්ගේ පිහිටීම එක්තරා අතකින් යහපත් වන අතර තවත් පැත්තකින් අයහපත් වේ. 
මේ වසර ඔබට අභියෝගාත්මක හා දුෂ්කර ආරම්භයක් වනු ඇත. යුග ජීවිතය පිළිබඳ තීන්දු ගැනීමේදී තමාගේ තනි මතයට වඩා අන් අයගේ අදහස්වලට සවන්දීමෙන් සිදු කිරීමර යහපත් වේ. මානසික ආතතියද තරමක් වැඩිවිය හැකි හෙයින් සූරිය පිරිත හෝ අභිසම්භිධාන පිරිත සජ්ජායනා කරන්නේ නම් ඔබට එළඹීමට තිබෙන අයහපත් දේවල්වලින් මිදීමට උපකාරි වේ. ස්නායු රෝගාබාධ, කොඳු ඇට පෙල ආශ්‍රිත රෝග පීඩා ගෙනදිය හැකිය. එහෙන්ම විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මෙය උචිත කාලයක් වේ.  ලග්නයෙන්  12 වැන්නේ සෙනසුරු ගමන් කළත් එය ලග්න  ඒරාෂ්ඨක යන අනියත බිය ඇතිකරගත යුතු නැත. ඔබේ ග්‍රහචාරය තරමක් අහිතකර නමුත් ලග්නයෙන් 12 වැන්නේ පිහිටන සෙනසුරු ඔබට ඒ සියලු අභියෝග ජය ගැනීමට හැකි ශක්තිය නොඅඩුව සපයා දෙන හෙයින් අභියෝග  ජය ගැනීමේ හැකියාව පවතී.

 

MY STYLE with   ටනාෂා Read Previous

MY STYLE with ටනාෂා

MY STYLE  with  ශාලිකා Read Next

MY STYLE with ශාලිකා

Realted Post

Leave a comment