එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත ඉන්දිකා ජයසේන

ඇයට සිහිනයක් තිබිණි. ඒ අම්මා වගේම සාර්ථක ගැහැනියක්වීමටය. සාර්ථක මවක් සහ බිරිඳක් ලෙස අම්මා ගෙවූ ඡීවිතය දෙස ඇය  බලාසිටියේ සතුටිනි. ඒ අම්මා දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියකි. ඒ මීට අවුරුදු හතළිහකට, පනහකට එහා අතීතයකි. හැබැයි කේක් හදන්න ඉගෙනගන්න තැනක් කොළඹ වුණත් තිබුණේ කලාතුරකිනි. එහෙත් ඒ අම්මාඊට විසඳුමක් සොයා ගත්තාය. ඒ  සිරිකත පුවත්පත සතිපතා මිලදී  ගැනීමය. එහි පළවුණු කේක්,  අත්කම් සහ වෙනත් ආහාර වර්ග සෑදීමේ ක්‍රම ඇය අත්හදා  බැලුවාය. එපමණක් නොව ඒ සියලු පත්තර පිටු ඇය ප්‍රාණ  සමව ආරක්ෂා කළාය. දරුවන්  පාසලට ගොස් එනතුරු ඇගේ රාජකාරිය සිරිකත බලාගෙන අත්කම් නිර්මාණ කිරීමය. කේක් සෑදීමය. ඇඳුම් මැසීමය. එහෙත්  ඇයගේ නිර්මාණ හැකියාව  නිවෙසටම සිමා වූවා මිස ඉන් එහා  ලෝකයකට ගෙනයන්නට ඇය සිතුවේවත් උත්සාහ කළේවත් නැත.  

එහෙත් ඇය එක් දෙයක් කළාය. ඒ සිරිකත පත්තර පිටු ටික තම දියණිය වෙනුවෙන් ආරක්ෂා සහිතව තැබීමය. එහි ඇති නිර්මාණ හදන්නට දියණියද එක්කාසු  කර ගැනීමය. ඒ දියණිය කේක් නිර්මාණ ශිල්පිනියක් ලෙස ලොව ජයගනු ඇතැයි ඒ අම්මා එදා නොසිතන්නට ඇත. ඊට  හේතුවක් තිබේ. ඒ දියණියද අම්මා මෙන්ම ගෘහිණියක් ලෙස ඉතා නිහඬ ජීවිතයක් ගත කරන්නට මිස රට අල්ලන්නට තබා නිවෙසින්  පිටතට ගොස් රැකියාවක් කරන්නටවත් උනන්දුවක් නොදැක් වූ නිසාය. එහෙත් කෙනෙකුගේ දෛවය වෙනස්වන්නට  යන්නේ මොහොතක් විය හැකිය. ඇය අද රට නොව ලොව දන්නා කේක් නිර්මාණ ශිල්පිනියකි. 

ඇය ඉන්දිකා ජයසේන ය. 
මහරගම ඉපදී කේක්වලින්  එංගලන්තයේ විස්කම් පාන ඇයගේ කතාවයි  මේ, 

“මම කේක් හදන්න ආස කරන්න ප්‍රධාන  හේතුව මගේ අම්මා. ඇය කේක් හදනවා  බලාගෙන ඉඳලයි මමත් කේක් හදන්න  මුලින්ම යොමුවුණේ. ගෙදර ඉන්න කාලේ මම පොඩි පොඩි කේක් නිර්මාණ කළා. හැබැයි ව්‍යාපාරික මට්ටමින් නොවෙයි. කවුරුහරි කෙනෙක් ඉල්ලුවාම හදලා දුන්නා. මම කෙක් නිර්මාණ ගැන දෙහිවල සාවිත්‍රි පෙරේරා  මහත්මියගෙන් ඉගෙන ගත්තා. ඇය තමයි මට  කේක් නිර්මාණ කලාවේ මුල කියාදුන්නෙ.  ඒත් විවාහයත් එක්ක මට එංගලන්තයේ  පදිංචියට යන්න සිද්ධ වුණා. එහෙ ගියාට පස්සෙ කේක් කලාවේ අක්මුල් හොයාගෙන යන්න ආසාවක් ඇතිවුණා. ඒ අනුවයි මම කේක් කලාව ගැන මුල ඉඳලම හදාරන්න පටන් ගත්තෙ.” 

ඒ අනුව ඇය කේක් කලාව හදාරන්නට තෝරා ගන්නේ එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර්  කිංග්ස්වේ කොලේජ් ආයතනය ය. එතැනින්  කේක් කලාවේ රස තැන් සොයාගන්නා ඇය දිගු ගමනකට මුල පුරන්නී ය. ඉන්පසු බෲක්ලෑන්ඩ් සහ වේබි්‍රජ්කො ලේජ් යන  ආයතනවලින්ද ඇය වැඩිදුර අධ්‍යාපනය හදාරන්නී ය. කීර්තිමත් බි්‍රතාන්‍ය ෂුගර්ක්‍රාෆ්ට් සංවිධානය විසින් බි්‍රතාන්‍යයේ කලිනරී ෂුගර්ක්‍රාෆ්ට් විනිසුරුවරියක් ලෙස තෝරාපත් කරගත් පළමු ආසියාතිකයාවීමේ භාග්‍යය හිමිව ඇත්තේද ඇයටයි. එපමණක් නොව 2026 වසරේ ජර්මනියේ කලිනරි ඔලිම්පික් සහ එම වසරේ ලක්සම්බර්ග්න ගරයේ සූපශාස්ත්‍ර ලෝක ශූරතා  තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ සාමාජිකාවක්වීමේ අවස්ථාවද ඇයට හිමිව  තිබේ. එය ද ආසියාතිකයෙකුට පහසුවෙන් ළඟා කරගත හැකි අවස්ථාවක් නොවේ. 
ෂුගර් ක්‍රාෆ්ට් සහ කේක් නිර්මාණ තරගවල විනිසුරුවරියක් ලෙසද ඇය එරට නමක් දිනා සිටින්නී ය. වසර 1999 සිට එරට කේක් නිර්මාණ කලාවේ සාර්ථක ගමනක නියැළි  සිටින ඇය මේ වනවිට එරට සහ ජාත්‍යන්තර  කේක් තරගවලින් ජයග්‍රහණය කර ඇති රන්  පදක්කම් ගණන 37 කි. රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 12 කටද ඇය හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවටද ආඩම්බරයක් වෙමිනි. 
“ මම මේ වනවිට ෂුගර්ක්‍රාෆ්ටින් ගැන දැනුම දෙන්න ආයතනයකුත් පවත්වාගෙන යනවා. මේ වනවිටත් එහි සිසු සිසුවියන් සීයයකට වැඩි පිරිසක් මගෙන් කේක් කලාව හදාරනවා. ඒ විතරක් නොවෙයි ඕනෑම අයෙකුට මම මගේ දැනුම දෙන්න ලෝබවෙන්නේ නැහැ. අපිට ඉගෙනගන්න අවස්ථා තිබුණේ අඩුවෙන්. ඒත් දැන් දැනුම හොයාගන්න පහසුයි. ඒ නිසා මම කියන්නේ අපේ රටේ දරුවන්ටත් ලෝකයේම දැනුම හොයාගෙන යන්න. අපේ රටට වඩා ලෝකයේ කේක් කලාව හරිම දියුණුයි. නිර්මාණශීලීයි. එහි තිබෙන අවස්ථාත් වැඩියි. නිර්මාණශිලී කේක් නිර්මාණකරුවන්ට ලෝකයේ හොඳ තැනක් තිබෙනවා.” 

ඇය එංගලන්තයට ගියේ කේක් කලාවේ කෙළ පමිණි අයෙකු වන්නට නොවේ. දරුවන් බලාගෙන නිවෙසට වී සිටින්නට ය. එහෙත් ඇයගේ දක්ෂතාව විසින් ඇයව ඉහළටම ගෙන ගොස් තිබේ. ඇය විසින් ගෙළ පැලඳි පදක්කම් ඒ සඳහා කදිමට සාක්ෂි සපයයි. ඒ ගමනට ඇයට දිරිදුන් පිරිසක් සිටිති. “ මගේ සැමියා රොහාන් ජයසේන නිසයි මට එංගලන්තයට යන්න හැකිවුණේ. ඒ ගමන නිසා මගේ දක්ෂතාවයට විශාල දොරටුවක් විවෘත වුණා. ඒ වගේම මට ආදරය සෙනෙහස නොඅඩුව දෙන මගේ දුවයි, පුතයි, මගේ තාත්තයි සිහිපත් කරන්නෙ ආදරයෙන්.” 
ශ්‍රී ලංකා අධ්‍යාපන සංස්කෘතික හා සුබසාධන පදනම මගින් ඇයට විශ්ව කලා විභූෂණ සම්මානයද එරටදී පිරි නැමිණි. ඇය 
එම අවස්ථාව සිහිපත් කළේද සතුටිනි.“කේක් කලාවත් භාවනාවක් වගෙයි. විඩාබර මනසට හොඳ ඔසුවක්.” ඇය කියන්නී ය. ඇය දැන් ලහි ලහියේ සූදානම් වන්නේ ඉදිරියේ එංගලන්තයේදී පැවැත්වෙන තවත් ජාත්‍යන්තර කේක් ප්‍රදර්ශනයක විනිසුරුවරියක් ලෙස ඇයට පැවරී ඇති වගකීම ඉටු කිරීමටය.ඇයගේ දැනුම, හැකියාව එංගලන්තයට අයිති වුවත් ඇය අපට ආඩම්බරයකි. එමෙන්ම “මම මේ රටේ ඕනෑම දරුවෙකුට මගේ දැනුම දෙන්න සූදානම්” යැයි ඇයගේ පොරොන්දුව අපට ඊට වඩා වටින්නේ ය. 

MY STYLE  with  ශාලිකා Read Previous

MY STYLE with ශාලිකා

උපන් දිනෙයි අලුත් වෙනසයි Read Next

උපන් දිනෙයි අලුත් වෙනසයි

Realted Post

Leave a comment